Main Logo

Tuesday 18 September 2018

ඝරසර්ප 2 (යක්‍ෂයා පළවා හැරීම)


ඝරසර්ප 2

(යක්‍ෂයා පළවා හැරීම)



බටහිර මනෝ චිකිත්සාවේ "ආවේෂ" හා කතෝලික චින්තනයේ ආවේෂ යනු එකක් නොව දෙකක්. ඒ එකක් දෙවිධියකට හැඳින්වීමකුත් නො වෙයි. ඒ දෙක දැනුම් පද්ධති දෙකක වූ දැනුම්  දෙකක්. අප බොහෝ විට දැනුම් පද්ධති දෙකක ඇත්තේ වචනවල වෙනසක් පමණක් යැයි සිතනවා. වචන පරිවර්තනයෙන් ඒ එකක් ම ලෙස සැලකිය හැකිය කියා හිතනවා. චින්තනය හඳුන්වා දුන් මුල් කාලයෙ දී ම අප තේරුම් කළා සිංහල බෞද්ධ සංස්කෘතියේ අම්මා යනු බටහිර මදර යන්නෙහි  පරිවර්තනයක් ලෙස පෙනූන ද එ එසේ නොවන බව. සිංහල සංස්කෘතියේ අම්මලා තම දරුවන්ටත් මගෙ අම්මා කියා කියනවා.




බටහිර මනෝ චිකිත්සාව මොළය යන ඉන්ද්‍රිය යොදා ගෙන මේ "ආවේෂ" තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ඒ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ. බටහිර විද්‍යාව මනස මොළයට ඌනනය කරන්න හදනවා. එහෙත් එය කරන්න බැරි දෙයක්. බටහිර විද්‍යාව දන්නෙ නැහැ එහි කෙරෙන්නේ කුමක් ද කියා. සීමිත පරාසවල වැඩකරන හිතළුවලට කිසිම ගහණයක් මුළුමනින් ම ඌනනය කරන්න බැහැ. පොළොවට පොල් වැටීම ඊනියා ගුරුත්වාකර්ෂණයකට ඌනනය කරන්න බැහැ.



කතෝලික චින්තනයේ එසේ නො වෙයි. ආවේෂ වූ අයකු (යක්‍ෂයකු) ගැන එහි කියැවෙනවා. එහි භූතාපසරණය (exorcism) හෙවත් යක්‍ෂයා පළවා හැරීම යන අදහස තිබෙනවා. මෙය තොවිල් පවිල් කිරීම ම නොවෙයි. භූතාපසරණය කරන්නා භූතාපසාරක (exorcist). කතෝලික චින්තනයෙහි මේ බොහෝ විට පූජකතුමකු වෙනවා. භූතාපසාරක යනූ කට්ටඩි මහතා ම නො වෙයි. භූතාපසාරක යන්න  සිංහල බෞද්ධ සංස්කෘතියේ යක්දෙස්සා - කට්ටඩි මහතාටත් කතෝලික ආගමේ පූජකතුමන්ටත්  ව්‍යවහාර කරමු. එහෙත් ඒ එකක් ම නොවන බව පැහැදිලි විය යුතුයි.



ඝරසර්පයෙහි අපට මතුපිටින් පෙනෙන්නේ කතෝලික ආගමේ භූතයා (යක්‍ෂයා) පළවා හැරීම පමණයි. යක්‍ෂයා පළවා හැරිය හැක්කේ දෙවියන් වහන්සොගේ නියෝජිතයන්ටයි. දෙවියන් වහන්සේ - යක්‍ෂයා ද්වෛතය මෙහි දී වැදගත් වෙනවා. පළවා හැරීම මතුපිටින් කතෝලික චින්තනයේ පල්ලියේ සිදුවන දෙයක් ලෙස පෙනීම නිසා පඬියන් මෙහි දී සිංහල බෞද්ධයන්ගේ ඊනියා මිථ්‍යා විශ්වාසවලට පහර දීමට ඉදිරිපත් වන්නේ නැහැ. බැරි වෙලාවත් මේ භූතයා පළවා හැරීමේ කාර්යය කට්ටඩි මහතකු අතින් සිදු වුණා නම් මේ වන විට පඬියන් සිංහල බෞද්ධ මිථ්‍යා විශ්වාසවලට තොර තෝංචියක් නොමැතිව පහර දෙන්න පටන් අරන්. පඬියන් කතෝලික පල්ලියට පහර දෙන්න ඉදිරිපත් වන්නේ නැහැ. එය කාලෝ ෆොන්සේකාගේ කාලයේත් තිබුණා.



මා කතෝලික චින්තනය වෙනුවෙනුත් (ආගම නොවෙයි) පෙනී සිටිනවා. පාප් වහන්සේ මොනවා කිව්වත් අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි  චින්තනය. මෙරට කාදිනල්තුමාට සමහර විට ඒ බව තේරෙනවා ඇති. විවිධ ක්‍රිස්තියානි නිකායන් හමුවේ මෙරට කතෝලික ආගමට බුද්ධාගමේ ආරක්‍ෂාව පැතීමට සිදුවෙනවා. බටහිර මනෝ විද්‍යාව ඇතුළු බටහිර විද්‍යාව බිහි වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි. බටහිර මනෝ චිකිත්සාවත් බටහිර වෛද්‍ය විද්‍යාවත් එසේමයි. අප බටහිර දැනුම් පද්ධතිය ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. ඉන් වැඩක් ගත හැකි නම් අප එසේ කරනවා. මේ ලිපි ලියැවෙන්නේ බටහිර තාක්‍ෂණය උපයෝගි කරගෙන. මට එහි කිසිම ගැටළුවක් නැහැ. ගැටළුව ඇත්තේ පඬියන්ට. ඒ අර එක් භික්‍ෂූන් වහන්සේ නමක් ස්ත්‍රියක කර තබාගෙන ගඟින් එගොඩ වී ස්ත්‍රිය බිම තැබුවාට පසු ස්ත්‍රිය බිම තැබීමට නොහැකි වූ දෙවැනි භික්‍ෂුන් වහන්සේට මෙන්. අප විරුද්ධ වන්නේ බටහිර දැනුම් පද්ධතිය පමණක් සත්‍යය හෝ සත්‍යය කරා ළඟා වන බව කියමින් බටහිර දැනුම් ආධිපත්‍යයක් අප මත පැටවීමටයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා අප කියනවා. එසේ කියන්නේ ඒ පට්ටපල් බොරු නිසා. එහෙත් ඒ බොරු සමහර අවස්ථාවල වැඩ කරනවා. මම කියා පුද්ගලයකු ඇති බව කියන බොරුව කොතරම් වැඩ කරනවා ද?



කතෝලික පල්ලියේ පූජකතුමා අර තරුණිය සුවපත් කරනවා. ඒ දැනුම් පද්ධතියෙහි ආවේෂ සුව කිරීමේ, යක්‍ෂයා පළවා හැරීමේ ක්‍රම තියෙනවා. මා කලින් කී විධියට එය සිදුවන්නේ දෙවියන් වහන්සේ - යක්‍ෂයා ද්වෛතයෙහි. දැන් මෙතන කතෝලික චින්තනය සමග සිංහල බෞද්ධ චින්තනයත් මුසු වෙනවා. ඒ කෙරෙන්නේ ඉතාම සියුම් ආකාරයකින්. ඒ තමයි නියම සංහිඳියාව. සිිංහල බෞද්ධයනට ගරහමින් සිංහල බෞද්ධයා ඊනියා ගෝතික්‍රවාදියකු කරමින් පඬියන් කරන්නේ සංහිඳියාවක් නාමයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීම. ඝරසර්පය කතෝලික චින්තනය සිංහල බෞද්ධ චින්තනය සමග මුසු කරන ආකාරය  හෙට කියන්නම්



කමල් අද්දරආරච්චි සුපුරුදු පරිදි විශිෂ්ට රංගනයක යෙදෙනවා. මට ඔහු හමු වී ඇත්තේ එක් වරයි. ඒ වෙදහාමිනේ ගැන කොළඹ විශ්වවිද්‍යාලයහි තිබූ සම්මන්ත්‍රණයකට ඔහු පැමිණි අවස්ථාවේ. සමහර විට මේ සිද්ධිය ඔහුට මතක නැතිව ඇති. බොහෝ විට යමක් කියන තැනැත්තාට වඩා අසන තැනැත්තාට මතක හිටිනවා. කමල් මට එදා කිව්වේ තමා වෙදහාමිනේහි   රඟපාද්දී අවස්ථාව පරිදි චරිතය විකාශය වත් ම තම කටහඬ ද වෙනස් කළ බවයි. මට ඒ වෙනස නොතේරීම ගැන මා ලජ්ජාවට පත් වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස් නම් මට කිහිප වරක් හමු වී තිබෙනවා. පට් පට් ගාලා සම්තින් හොයා ගැනීමට මෙන් ම කතෝලික පූජකවරයකු ලෙස පූජා පැවැත්වීමටත් ඔහු දක්‍ෂයි. ඔහු කතෝලික බව මා දන්නවා. එසේ ම ඔහු කතෝලික ආගමට නිග්‍රහ කරන අයකුත් නො වෙයි. එබැවින් ඔහු පියතුමකුගේ චරිතය නිරපණය කරන විට හිතට අසහනයක් ඇති වන්නේ නැහැ. කොහොමටත් ශ්‍රියන්ත පියතුමා ලෙස යක්‍ෂයා පළවා හරින හැටි අපුරුයි.  ශ්‍රී මහා බෝධීන් වහන්සේ යට හිඳ අරක්කු බීමට කතා කරන ඊනියා ප්‍රබුද්ධයන් භික්‍ෂූන් වහන්සේගේ චරිත නිරුපණය කරමින් බණ කියන විට කියන්නේ බණ නොව බයිලා බවත් එසේ කියන්නේ සම්තින් සඳහා බවත් දැනෙන කොට ඇති වන්නේ නම් අපුලක්.



අර තරුණ යුවළ නිරූපණය කරන නළු නිළියන් පෝරුගේ, හා සමිතා මුදුන්කොටුවගේ කවින්ධ්‍යා දුව ඒ කාර්යයන් හොඳින් අව්‍යාජ ව ඉටු කරනවා. ඒ දෙදෙනාවත් සමිතාවත් මට හමු වී නැහැ.  සමාජයෙන් පිටස්තර ව ජීවත්වන මට බොහෝ අය මුණ ගැසෙන්නේ නැහැ. සමිතා තම දියණිය වෙනුවෙන් පසුබිම් ගීයක් ගායනය කිරීම මවකට හිමිවන අතිශය දුර්ලභ අවස්ථාවක්. වචනවලට මුවා වී ව්‍යාජ දැනුමක් ප්‍රදර්ශනය කරන බොරු වාමාංශිකයන් මෙන් නොව සමිතා තම අදහස් හැඟීම් අව්‍යාජ ව ප්‍රකාශ කරනවා. ඇගේ ගීතයේත් ඒ අව්‍යාජ බව තියෙනවා. ඇතැම් පඬියන්ට පඬි පෝතක පෝතිකාවන්ට අනුව මේ රඟපෑම් එකක්වත් අපි තරහයි නාට්‍යයේ රනිල්ගේ හා මෛත්‍රිපාලගේ රඟපෑම්වල අහළකටවත් තියන්න බැහැ. පඬියන්ට යක්‍ෂයා වැහිලා. 



ජයන්ත චන්ද්‍රසිරි දිවයිනේ වැඩ කරන කාලයේ මාත් එහි යන එන සිරිතක් තිබුණ නමුත් මට ඔහු හමු වී ඇත්තේත් කිහිප වතාවක් පමණයි. ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. පසුගිය සමයේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහීම සඳහා පමණක් චිත්‍රපටි අධ්‍යක්‍ෂණ කළ අයට ජයන්ත හොඳ පාඩමක්. ඝරසර්ප දැනුම් පද්ධති තුනක හා සංස්කෘතීන් දෙකක මුසු වීම පිළිබඳ කතාවක්. ඒ විස්තරය හෙට. දැන් දෙවැනි විරාමය.