Main Logo

Sunday 9 September 2018

ෆොන්සේකා හා ජෙනීවා



මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.


ෆොන්සේකා හා ජෙනීවා



ඊයේ දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ කිහිපයක් වාර්තා කර තිබුණා. ඒ ජෙනීවා හා ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන්. අනෙක් පුවත්පත්වල එය කෙසේ වාර්තා වී දැයි මට නිශ්චිතව කියන්න බැහැ. එහෙත් ෂමින්ද්‍රගේ වාර්තාව ඉතා වැදගත්.




සරත් ෆොන්සේකා තමයි සුදු කොඩි කතාව පටන් ගත්තේ. මා ඒ දිනවල ම කිව්වා ඔහු සිරභාරයට ගත යුතු ය කියා. එහෙත් ඔහු යුද්ධ දක්‍ෂයෙක්. කොබ්බෑකඩුව මහතා ඝාතනය කෙරුණු අවස්ථාවේ මා ඇතැමුනට කී දෙයක් නම් කොටි පරාද කිරීමට හැකි එවකට සිටි හමුදා නිලධාරියා සරත් ෆොන්සේකා බව. කොටි පැරදවීමට හමුදා නායකත්වය මෙන් ම දේශපාලන නායකත්වය ද අවශ්‍ය වුණා. කොබ්බෑකඩුව මහතාට දේශපාලන නායකත්වය ලැබුණේ නැහැ. එහෙත් සරත් ෆොන්සේකාට එය මහින්දගෙන් ලැබුණා. අප කොටි පරාද කළා.



එහි ප්‍රතිඵලයක් ලෙස ජෙනීවා චෝදනා එල්ල වුණා. එහි කිසිම සාක්‍ෂියක් නැහැ. දරුස්මාන් යනු ථෙරවාදී රටවලට විරුද්ධව යුද්ධාපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට බටහිරයන් යොදා ගන්නා  තැනැත්තකු පමණයි. අද ඔහු මියන්මාරයට එරෙහිව චෝදනා ඉදිරිපත් කරනවා. ඒ කොමිසමේ රධිකා කුමාරස්වාමි ද සාමාජිකාවක්. ඇය වත්මන් මහා බැංකු අධිපති කුමාරස්වාමිගේ සහෝදරියක්, කුමාරස්වාමි පොන්නම්බලම් පවුල ඉංගිරිසින්ගේ ආධාරයෙන් අනුබලයෙන් හා අනුග්‍රහයෙන් මෙරට අධිපතියන් වීමට සිටි අය. දරුස්මාන්ගේ 40,000 බොරු කතාවක් පමණයි. ඔහුට සාක්‍ෂි නැහැ. අඩු ගණනේ බොරු සාක්‍ෂිවත් නැහැ. කිසිම පොලීසියක් බොරු සාක්‍ෂියක්වත් නැතිව නඩු පවරනවා ද? එහෙත් බටහිර ඊනියා මානව හිමිකම් අයිතිවාසිකම්කරුවන් එසේ කරනවා. ඒ ජෙනීවා ගුබ්බෑයමේ දී.



ජෙනීවා චෝදනාවලට මුල දී ඉන්දියාවේ සහාය ලැබුණේ නැහැ. එහෙත් අවුරුදු දෙකකින් ඉන්දියාව වෙනස් වුණා. ඒ අලුතෙන් සාක්‍ෂි ලැබී නො වෙයි. මහින්ද 13+ වැඩපිළිවෙළ අත්හැර දැමීමෙන් පසු. මේ ඊනියා ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජෙනීවා චෝදනා තවත් තදවුණා. හෙට අනිද්දා තවත් චෝදනා දෙකක් ඉදිරිපත් කිරීමට බටහිරයන් බලාපොරොත්තු වෙනවා. ඒ අතරමැද 2015 ජෙනීවා හි දී මංගල සමරවීර ලංකාවට විරුද්ධව හවුලේ චෝදනාවක් ගෙනාවා. මංගල බොහෝ කරුණු අතින් සදුසු ඉන්දියාවට. ඔහු පසුගිය දා ඉන්දියාවට සුබ පතා තිබුණා.



සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව මගින් රටට ද්‍රෝහි වූ නමුත් ඔහු පෙරේදා කියා ඇති කතාව වැදගත්. ඔහු කියා ඇති ප්‍රධාන කරුණු තුනක් වෙනවා. එකක් ජෙනීවා සම්බන්ධ යෝජනා ගැන අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා නොපැවැත් වූ බව. දෙවැන්න ඊනියා යුද්ධයේ දී යුද්ධාපරාධ නොවූ බව. ඔහු කියන්නේ වැඩිම වුවහොත් උතුරේ දෙමළ කතාකරන ජනයා 4000ක් මිය යන්නට ඇති බව. ඒ ඉලක්ක වශයෙන් කෙරුණු ඝාතන නොවන බවත්  ඔහු අවධාරණය කරනවා. තෙවනුව ඔහු කියන්නේ අද මහින්දගේ කාලයේ මෙන් නොව හමුදාව දුර්වල බවත් යුද්ධයක් ඇති වුවහොත් කුමක් වේ දැයි කිව නොහැකි බවත්.



ඉතා පැහැදිලි ව රනිල්ගේ ආණ්ඩුව බොහෝ දේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ සිංගප්පූරු ගිවිසුම පමණක් නො වෙයි. ජෙනීවා සම්බන්ධයෙන් ද රනිල් ආණ්ඩුව ක්‍රියා කර ඇත්තේ තම මතයටයි. මංගල හා රනිල් රටට ද්‍රෝහීව ජෙනීවා හි ක්‍රියාකර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරවයි. එහෙත් එයින් කියන්නේ මෛත්‍රිපාල චෝදනාවෙන් නිදහස් වන බව නො වෙයි. මෛත්‍රිපාලට රනිල් මංගල ඇතුලු නඩය අස්කර දැමීමට ඒ ප්‍රමාණවත්. එහෙත් මෛත්‍රිපාල එසේ කළේ නැහැ. ඔහුට බලය තිබුණට ශක්තිය නැහැ. ඔහු අදවත් එය කළ යුතුයි. ඒ සඳහා ඔහුට ශක්තිය ලබා දිය යුතුයි.  එහෙත් කණගාටුවට කරුණ නම් ජනබලය කොළඹට උද්ඝෝෂණයේ ජෙනීවා ගැන සඳහනක් නො වීමයි. නාමල්ට ඒවා මතක් නොවන බව ඇත්ත. එහෙත් ඒකාබද්ධයේ නායකයන්ට එය මතක් කර දෙන්න තිබුණා. ඇතැම් විට ඔවුන් දැනටමත් ක්‍රියා කරන්නේ නාමල්ගේ නායකත්වයෙන් විය හැකියි.



සරත් ෆොන්සේකා යුද්ධාපරාධ නොවූ බවට කරන ප්‍රකාශය වැදගත්. රනිල්ගේ ආණ්ඩුව මේ කිසිවක් ගැන ඔහුගෙන් විමසා නැහැ. අප තවදුරටත් එහා ගොස් කියන්නේ එදා යුද්ධාපරාධ සිදු වීමට යුද්ධයක් නොතිබූ බවයි. එදා යුද්ධයක් තිබුණි නම් ජ වි පෙ කාලයේත් යුද්ධ තියෙන්න ඕන. ජ වි පෙ කල යුද්ධාපරාධ සිදු වූ බවට කිසිවකු කියන්නේ නැහැ. ජ වි පෙරමුණට විරුද්ධවත් කොටින්ට විරුද්ධවත් තිබුණේ හමුදා මෙහෙයුම් පමණයි. ඒ සිවිල් යුද්ධවත් නො වෙයි. කොටි නඩත්තු වූයේත් ආණ්ඩුව උතුරට යැවූ ආහාරපාන හා වෙනත් ආධාරවලින්. මෙහෙයුම් තනිකර ම අභ්‍යන්තර කටයුත්තක්. රාජ්‍යයට විරුද්ධ ජ වි පෙ හෝ කොටි හෝ වෙනත් කවුරුන් හෝ ආයුධ අතට ගත්තොත් ඒ පරාජය කිරීම රාජ්‍යයේ වගකීමක්. එහි දී හමදාවෙන් යම් අකටයුත්තක් සිදු වී ඇත්නම් එයට සිවිල් හෝ හමුදා හෝ නීතිය යටතේ ක්‍රියා කරන්න පුළුවන්. එය ඊනියා ජාත්‍යන්තරයේ වගකීමක් නො වෙයි. එහෙත් මහින්දගේ ආණ්ඩුවවත් ප්‍රශ්නය ඒ විධියට ගත්තේ නැහැ. ඔවුන් ජෙනීවාහි ආධිපත්‍යයක් පිළිගත්තා. එහි දී දයාන් ජයතිලකලා වැන්නන් මහින්දට උපදෙස් දුන්නා.



අද හමුදාව දුර්වල බව ෆොන්සේකා කියනවා. එය දුර්වල කෙළේ රනිල්ගේ ආණ්ඩුව. මෛත්‍රිපාලගේ ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුවට ඉඩ දී බලා සිටියා. අද දෙමළ ජාතිවාදීන් උතුරේ තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සිද්ධස්ථාන රැක බලා ගැනීමට රජ්‍යයට ඉඩ දෙන්නේ නැහැ. විග්නේස්වරන් ක්‍රියා කරන්නේ උතුරේ මහාඇමති ලෙස නොව පාලකයා ලෙසයි. හෙට අනිද්දා තමිල්නඩුවේ ඇමතිවරුන් පොත් බෙදන්න උතුරට එනවා. ඔවුන් බෙදන පොත මොකක් ද කියා අප දන්නවා. සරත් ෆොන්සේකා මේ කරුණු හෙළිදරවු කිරීම අප අගය කරන්න ඕන. දැන් මහින්වාදීන් මට චෝදනා කරාවි මා සිරිසේනවාදියකු වීමට අමතර ව ෆොන්සේකාවාදියකු ද වී සිටින බවට. පඬියකු කියන්න බැරි නැහැ මා පොදු අපේක්‍ෂකවාදියකු වී ඇති බව. මහින්දවාදී පඬියන්ට රනිල්ගේ පිහිටයි. රනිල්ට ඔවුන්ගේ පිහිටයි.