Main Logo

Friday 14 September 2018

එන පොට හොඳ නැහැ


එන පොට හොඳ නැහැ



මහින්ද ඉන්දියාවේ දී කරන කතා එතරම් ඇඟට හොඳ නැහැ. ඒ කියන්නේ රටට හොඳ නැහැ කියන එකයි. වරක් මහින්ද 13+ දෙන බව කිව්වා. ඔහු එතැනින් මේ පැත්තට ආවේ සිංහල බහුතර ජනමතය එයට දැඩිව විරුද්ධ ව සිටි නිසා. භාරතීය ජනතා පක්‍ෂයේ ආචාර්ය ස්වාමිගේ ආරාධනයෙන් මහින්ද ඉන්දියාවට ගිය නමුත් ඔහුගේ ඇරයුමෙන් සම්මන්ත්‍රණයක කතාවක් පැවැත් වු නමුත් මහින්දගේ ඉන්දීය සංචාරය එයට පමණක් සීමා වූයේ නැහැ. ඔහු විවිධ ජනමාධ්‍ය සමග මෙන් ම මෝදි සමග ද සාකච්ඡා කර තිබෙනවා. එක් සමාජයීය මාධ්‍යයක් කියන ආකාරයට නම් මා ජනමතය විකෘත කරන්න හදනවා. එහෙත් මේ මාධ්‍යයෙහි අනුග්‍රාහකයන් ජාතික මතවාදයකට විරුද්ධ ව සිටි කාලයේත් මා මගේ මතයේ හිටියේ.




අප ඊයේ පෙන්වා දුන්නේ ගෝඨාභය 2019 දී නිශ්චිත වශයෙන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කෙරෙන බවක් මහින්ද නොකී බවයි. මහින්ද ඉතා පැහැදිලිව කියා ඇත්තේ ඔහුගේ සහෝදරයා ජනාධිපති අපේක්‍ෂකත්වයට තරගකරුවෙකු විය හැකි බව පමණයි.  තවමත් දර්ශනීට තර්ජනී යැයි කියන ජනමාධ්‍ය පඬියන්ට කිසිවක් සියුම් ව බැලීමේ හැකියාවක් නැහැ. මෙරට පඬියන් සෑම දෙයක් ම අනාගන්නවා. ගෝඨාභය හා මෛත්‍රිපාල ගැන කියන කුමන්ත්‍රණ කතාවල සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අපට හිතන්න කල්පනාකාරී ව ඉන්න බොහෝ දේ තියෙනවා.  



මහින්ද  මත්තල ගැන හින්දු පත්‍රයට කියා ඇත්තෙ මෙයයි. මා එය එසේ ම ඉදිරිපත් කරන්නේ මගේ ඉංගිරිසි දැනුම ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන් බැවින් ඔබට ම තීරණයකට එළඹෙන්න.



“You say that, but recently your party opposed the Mattala airport being leased to India. What is your objection?

I am not opposing India, I am opposing the privatisation that is the policy of the Sirisena government. I never privatised the way they have. In fact I bought back the shares of the gas company, insurance company, and also the SriLankan Airlines that was sold to Emirates.”



මෙයින් කියන්නේ මත්තල ඉන්දියාවට දීමට මහින්ද විරුද්ධ නැති බවයි. ඔහු විරුද්ධ වන්නේ පෞද්ගලිකකරණ ප්‍රතිපත්තියටයි. පෞද්ගලිකරණය හා ඉන්දියාවට දීම යනු එකක් නොව දෙකක්. එය එකක් බව පෙන්වා මහින්ද මත්තල ඉන්දියාවට දීමට විරුද්ධ බව පෙන්වීමට උත්සාහ කිරීම වෙනත් ම දේශපාලනයක්. දැන් මේ ප්‍රතිපත්තිය සමග ඒකාබද්ධ විපක්‍ෂය පොහාට්ටුව එකඟ ද? එහි සියල්ලන් කෙසේ වෙතත් බහුතරය මහින්ද සමග එකඟ වේවි. දැනටමත් මහින්දානන්ද අලුත්ගමගේ කියා ඇත්තේ ඉන්දියාව තරහ කර ගැනීමට බැරි බවයි. අප ඉන්දියාව තරහ කර ගත යුතු නැහැ. එහෙත් ඉන්දියාවේ පදයට නැටිය යුතු නැහැ.



ඉන්දියාව එන පොට හොඳ නැහැ. මහින්ද මතක්කර තිබෙනවා තමා  එංගලන්ත හා ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට සවන් නොදී කොටින්ට එරෙහි මෙහෙයුම් දිගට ම කර ගෙන ගිය ආකාරය. ඉන්දියාවට ඒ අවස්ථාවේ මෙහෙයුම් දිගට ම කර ගෙන යෑමට අවශ්‍ය වුණා. ඒ ප්‍රභාකරන් පරාජය කිරීමට මිස දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොවෙයි. මහින්ද අර විදේශ ඇමතිවරුන්ට කිසිම ඉඩක් නොදුන්නේ ඉන්දියාවේ අනුග්‍රහය ඔහුට තිබූ බැවින් ද යන ප්‍රශ්නය අහන්න වෙනවා.



මහින්ද තමන් නැවත බලයට පත්වුවහොත් ඉන්දියාව සමග කටයුතු කිරීමට පෙර මෙන් ට්‍රොයිකාවක් (ත්‍රිත්වයක්) පත් කරන බව කියා තිබෙනවා. ගියවර ලංකාව වෙනුවෙන් ට්‍රොයිකාවේ කටයුතු කෙළේ බැසිල් රාජපක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ හා ලලිත් වීරතුංග. මහින්ද පරාජය කෙරුණේ ප්‍රධාන වශයෙන් ම ඉන්දියාවේ මැදිහත් වීමෙන්. මෙරට පඳුරක් පඳුරක් ගානේ කෙසේ වෙතත් ඉන්දීය ඔත්තුකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මහින්ද පරාජය කළ ඉන්දියාව නැවතත් පොටකට එන්න හදනවා.



රනිල්ගේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක් වෙලා.  විස්ස සම්මත වුවහොත් අගමැතිට බලතල රාශියක් ලැබෙනවා. සමහර විට විස්සෙන් පසු අගමැතිට මැතිවරණයක් නොපවත්වා වුවත් ඉන්න පුළුවන්. එහෙත් ඉන්පසු රට මහත් වියවුලකට පත් වෙනවා. එය කලාපය ම අස්ථාවරත්වයකට පත් කරාවි. ඒ වැළැක්වීමට ඉන්දියාවට හා බටහිරට තම කොන්දෙසි මත මහින්ද අගමැති කිරීමට අවශ්‍ය වී ඇත් ද?           



අපට නිශ්චිත ව කියන්න බැහැ.  ඉන්දියාවේ දී ඉදිරියේ දී සිදුවිය යුත ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් දෙමළ හා මුස්ලිම් නායකයන් හමු වී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මහින්ද තම දෙශනයේ දී කියා තිබෙනවා. ආචාර්ය ස්වාමි කියා ඇත්තේ මෝදි පැරණි මතවාදවල සිර වී නැති බවත් ඔහු අලුතෙන් තම මතවාද සකස් කරගන්නා බවත් ය. එයින් කියන්නේ මෝදි පරණ කෝන්තර අමතක කර අලුත් ගමනක් යෑමට සූදානම් බව ද? මෙවර කෙසේ වෙතත් පසුව ඉන්දියාව ජෙනීවාහි වෙනත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරයි ද?



අපට අවශ්‍ය ඉදිරි මාස කිහිපයෙහි මහින්ද අපේ කොන්දේසි මත අගමැති කිරීමටයි. එහෙත් ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස අපට ගියවර 13+ හි මෙන් මහින්ද අපේ පැත්තට හරවා ගත හැකි ද? අද ජාතික ව්‍යාපාරය මෙහෙයවන්නේත් මහින්දයි. ඉන්දියාවේ අවශ්‍යතා මත වුවත් මහින්ද අගමැති වීම රනිල් අගමැති වීමට වඩා යහපත් විය හැකි නමුත් එන පොට හොඳ නැති බව පැහැදිලියි. නාමල්ටත් ඉන්දියාවේ යම් පිළිගැනීමක් ලැබී තිබෙනවා. ඔහුටත් මෝදි අභිෂේකයක් ලැබී මෝදිපිය නාමල් වේ ද?