Main Logo

Saturday 1 September 2018

භික්‍ෂු දඩයම හා රණවිරු දඩයම


භික්‍ෂු දඩයම හා රණවිරු දඩයම



පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ සහ තවත් භික්‍ෂූන් වහන්සේ හතරනමක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝගයක් කරලා. මේ හාමුදුරුවරුන් හතරනමට පොදු දේපොළවලට හානි කළා ය යන චෝදනාවක් යටතේ නඩු පවරලා තිබුණා. මෑතක දි දැනගත් අයුතු ජනරාශියත් චෝදනාවක්. මේ හාමුදුරුවරුන් එක් දිනක උසාවියට වැඩම කර ඇත්තේ රණවිරුවන් සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන්. එහි දී තමයි අයුතු ජනරාශිය පොදු දේපොළවලට හානි සිදු වී යැයි කියන කතා ඇති වී තියෙන්නේ.




මේ හාමුදුරුවරුන් යම්කිසි ආකාරයකින් ජාතික ව්‍යාපාරයේ යෙදී ඉන්න හාමුදුරුවරුන්. නාලක හාමුදුරුවන් දැන් අවුරුදු පනහක පමණ කාලයක ජාතික හා සාමයියක කටයුතුවල නිරත ව වෙහෙසනවා. අපට බොහෝ විට හාමුදුරුවන් පන්සලේ දී බැහැ දකින්න බැහැ. උන්වහන්සේ නිතර ම චාරිකාවේ. ඒ විනෝද චාරිකාවල නො වෙයි. උන්වහන්සේට පෞද්ගලික කියා ජීවිතයක් නැහැ.



උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙන්නේ උසාවියට වැඩම නොකිරීම නිසා කියනවා. ජනමාධ්‍යයෙහි සඳහන්වන තොරතුරු නිවැරදි කියා හිතන්න බැහැ. පොලීසිය ජනමාධ්‍යයට හා උසාවියට කියන කරුණු ඇත්ත ද  කියා අප දන්නේ නැහැ. උන්වහන්සේට උස්වියට වැඩම කරන ලෙස සිතාසි දැන්වීමක් කර නැති බවයි කියන්නේ. නාලක හිමියන්ට උසාවියෙන් සිතාසි ලැබුණා නම් උන්වහන්සේ එය නොතකා සිටින්නේ නැහැ. උන්වහන්සේ සඟ විනයට අනුව රාජ නීතියට පිටින් වැඩ කරන්නේ නැහැ.



පොලීසිය වැඩ කරන්නේ ආණ්ඩුවට, ඇත්තට ම පවත්නා ක්‍රමයට ඕන විධියට. ආණ්ඩුව වැඩ කරන්නේ පවත්නා ක්‍රමයට අනුව. පොලිස්පති කියන්නෙ ආණ්ඩුවේ පදයට නටන තැනැත්තෙක් පමණයි. එය ඔහුගේ වරදක් ම නො වෙයි. පොලිසිය හදල තියෙන්නෙ එහෙමයි. ඔය මොන පොලිස් කොමිසම් දැම්මත් පොලීසිය ස්වාධීන කරන්න බැහැ. ඉඳ හිට පාලකයකු එන්න පුළුවන් තිබෙන ක්‍රමයට පිටින් යන. එවිට නම් පොලීසියත් අදාළ අනෙක් සියල්ලනුත් ඒ පාලකයාට විරුද්ධව වැඩ කරාවි.



අද මෙරට පාලකයා රනිල්. මෛත්‍රිපාලට විධායක බලතල තිබුණත් ශක්තිය නැහැ. ඔහුට රනිල්ට එරෙහිව යන්න බැහැ. සිරිසේනට අවශ්‍ය ශක්තිය දෙන්න පුළුවන් මහින්දට. ඒත් විවිධ ආකාරයේ සිරිසේන විරෝධීන් මහින්ද ඉන් වළකනවා. සිරිසේනගෙ පැත්තෙත් ඇමතිවරු කිහිප දෙනෙක් මහින්ද සමග ඇති බද්ධ වෛරය නිසා ඔහුටත් මහින්ද සමග එකතු වීමට ඉඩ දෙන්නෙ නැහැ. මුහුණු පොතේ වික්‍රම කරන පෞද්ගලික ආයතනයක උගන්වන මහා දාර්ශනිකයාටත් එතෙර මැන්දිස් පින්තාරුහළේ සේවය කරන මහා විද්‍යාඥයාටත් කිසිම ප්‍රායෝගික දේශපාලන අත්දැකීමක් නැහැ. මා ඔවුන්ගේ ජීවදත්ත දන්නවා. රනිල් ඉවත් කරන තාක් රණවිරු දඩයම පමණක් නොවෙයි භික්‍ෂු දඩයමත් දිගින් දිගට රට විකිණීම අස්සේ ක්‍රියාත්මක වේවි.



අප බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව පත් කරගත්තේ කුමකට ද කියා කිව්වේ බොහෝ කලකට පෙර. සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය හැරගිය දවස්වල ම අප කිව්වා වෙන්න යන දේ. සුපුරුදු පරිදි ජනතාව අපට සවන් දුන්නේ නැහැ. මහා විද්‍යාඥයාවත්, මහා දාර්ශනිකයාවත්, මහා කලාකරුවාවත් එකල කළ දෙයක් ඔවුන්වත් දන්නේ නැහැ. ඉන්දියාවටත් බටහිරටත් අවශ්‍ය වුණෙ මහින්දට ගෝඨාභයට රණවිරුවන්ට හා භික්‍ෂුන්වහන්සේට දඬුවම් කිරීම. ජනබලය නිසා මහින්දට දඬුවම් කිරීමට නොහැකි වූවා. එහෙත් ගෝඨාභයට තවමත් තර්ජනය තිබෙනවා. රණවිරු දඩයම හා භික්‍ෂු දඩයම කෙරීගෙන යනවා. ඒකාබද්ධ විපක්‍ෂය ඒ සම්බන්ධයෙන් කරන දෙයක් නැති බව කණගාටුවෙන් වුවත් කියන්න ඕන. ජනමාධ්‍ය එහි නායකයන්ගෙන් කෙලින්ම අසහන්නෙ නැහැ මේ දඩයම් ගැන.



මේ නීති පද්ධතිය අපේ නොවෙයි. ඒක ලන්දේසීන් අප මත පටවපු එකක්. අපට අපේ නීතියක් සකස් කර ගන්න බැරි වුණා. එපමණක් නොවෙයි අඩු තරමෙන් රෝම ලන්දේසි නීතිය අපට අවශ්‍ය ආකාරයට සකස් කරගන්න බැරි වුණා. මේ නීතිය සිංහල බෞද්ධ විරෝධී නීතියක්. මේ නීතිය හා පොලීසිය සකස් වෙලා තියෙන්නෙ ම සිංහල බෞද්ධයනට විරුද්ධව. පොලිස්පති භාවනා කළා කියලා පොලීසිය සිංහල බෞද්ධයනට පක්‍ෂ කරගන්න බැහැ. පාසලේ පන්සිල් ගත්තට අධ්‍යාපනය ක්‍රිස්තියානි. එය වෙනස් කරන්න අවශ්‍ය බවවත් බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ. අධ්‍යාපනය ම එයට ඉඩ දෙන්නෙත් නැහැ.



අප ඇයි නීතිය දෙවිධියකට ක්‍රියාත්මක වන්නෙ කියා ඇසුවට වැඩක් නැහැ. මේ බටහිර ක්‍රිස්තියානි නීතිය ක්‍රියාත්මක වන්නෙ ම සිංහල බෞද්ධයනට විරුද්ධව. භික්‍ෂූන් වහන්සේට හා රණවිරුවන්ට එක විධියකටත් බදියුද්දීන්ට කතෝලික පූජකවරුන්ට දෙමළ ජාතිවාදීන්ට එක විධියකටත් නීතිය ක්‍රියාත්මක වන්නෙ ඇයි ද කියලා ඇහුවට වැඩක් නැහැ. මේ නීතිය එහෙම තමයි. එහෙත් නීතිය වෙනස් කරන්න ඕන කියන එක ඒකාබද්ධ විපක්‍ෂයටවත් ජාති හිතෛෂි කියන නීතිඥයන්ටවත් තේරෙන්නෙ නැහැ. ඔවුන්ගෙ මනස් සකස් කරලා තියෙන්නෙ ම ඒ ගැන ප්‍රශ්න නොකරන්න.



රනිල් කියන්නෙ නූතන දොන් ජුවන් ධර්මපාල. ඔහු වරක් සූදානම් වුණා පෘතුගීසින් මෙරට පැමිණීම සමරන්න. ඔහු සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. අප රනිල් ඉවත් කරන්න ඕන කියන්නෙ මේ සියලු ප්‍රශ්නවලට එය මූලික වන නිසා. මහින්ද හා රනිල් අතර ඇති වෙනසත් සිරිසේන හා රනිල් අතර ඇති වෙනසත් බොහෝ දෙනා තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නැහැ. මහින්දට මේ නීතිය වෙනස් කරන්න අවශ්‍ය යැයි කියා මා කියන්නෙ නැහැ. එහෙත් ඔහු නීතිය නවන්න උත්සාහ කරාවි. ඒ පොලිස්පති නවන පැත්තට නොවෙයි අනෙක් පැත්තට.



නාලක හාමුදූරුවන් ඇතුලු හාමුදුරුවරුන් හතරනමක අත්ඩංගුවට ගැනීමට කර ඇති නියෝගයෙනුත් මතු වන්නෙ මේ කටුක කතාවයි. සඟ වෙද ගුරු ගොවි රණවිරු (කම්කරු කියන එක මාක්ස්වාදීන් ඇතුල් කරගත්ත ව්‍යාජයක්) පංච මහා බලවේගයට අද සිදු වී ඇත්තේ කුමක් ද? වෙදමහත්වරුන් බෙහෙතකටත් හොයා ගන්න බැහැ. ඔවුන් දොස්තරලාගේ ආධිපත්‍යයට යට වෙලා.ගොවියන් වහා බොන තත්වයකට වැටිලා. ගුරුවරුන් සර්ලා හා මැඩම්ලා වෙලා. භික්‍ෂුන් වහන්සේ හා රණවිරුවන් දඩයම් කෙරෙනවා. මේ සියල්ලට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම විසඳුමක් නො වෙයි. විසඳුමකට දොර ඇරීම පමණයි.