Main Logo

Monday 17 September 2018

ඝරසර්ප


ඝරසර්ප



මේ ඝරසර්ප චිත්‍රපටිය ගැන ඊනියා විචාරයක්වත් ඊනියා කියවීමක්වත් නො වේ. 1930න් පමණ පසු ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයත් සමග බටහිර දැනුමේ යම් යම් වෙනස්කම් ඇති වුණා. ඊනියා කියැවීම (reading) යනු එසේ එකතු කරගත් දැනුමක්. ඒ සංකල්පය බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම් පද්ධතියට අයත් එකක්. මා මෙහි ලියන්නේ මට සාපේක්‍ෂ ව මා නිර්මාණය කරගත් ඝරසර්ප ගැනයි. මේ දැනුම් පද්ධති අතර වෙනසක්.



අද අනගාරික ධර්මපාලතුමාගේ උපන් දිනය. මෑත යුගයේ සිංහල බෞද්ධයන්ට තමන් සිංහල බෞද්ධයන් බව ඉගැන්නුවේ එතුමායි. මා මෙය ලියන්නේ සිංහල බෞද්ධ චින්තනයට සාපේක්‍ෂවයි. මා සිංහල බෞද්ධයෙක්. එහෙත් අපි බයිබලයෙන් කතාව පටන් ගනිමු. බයිබලයේ උත්පත්ති කතා දෙකක් තියෙනවා. ඉන් දෙවැන්නේ සර්පයා පැමිණ ඒව (ස්ත්‍රිය) තහනම් ගහේ ගෙඩි කෑමට පොළඹනවා. සර්පයාත් දෙවියන් වහන්සේගේ මැවීමක්. එහෙත් යක්‍ෂයා දෙවියන් වහන්සේගේ මැවීමක් නොවෙයි.  බයිබලයේ  සර්පයා දෙවියන් වහන්සේ විසින් නොව යක්‍ෂයා විසින් මවනු ලැබී නම් හොඳයි කියා හිතනවා.



කොහොමත් බයිබලය විශේෂයෙන් ම පරණ තෙස්තමේන්තුව ලියැවෙන්නේ යුදෙව් චින්තනයේ. පරණ තෙස්තමේන්තුවේ ද්වෛත (dualities) අඩංගුයි. යමක් හා එහි විරුද්ධය. අඳුර ආලෝකය ආදී ද්වෛත ගැන බයිබලයේ කියැවෙනවා. මුළු මහත් බටහිර චින්තනය ම, අද වන විට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය, ද්වෛත මත රඳා පවතිනවා. ඩෙරීඩාට මේ ද්වෛත නැති කරන්න පුළුවන් වුනේ නැහැ. හෙගල්ගේ ඊනියා අපෝහකය  මේ ද්වෛත අතර සංවාදයක් ඇති කිරීමට ගත් උත්සාහයක්. හෙගල් මට හිතෙන විධියට බටහිර ලෝකයේ පහළ වූ ශ්‍රෙෂ්ඨතම දාර්ශනිකයා. එහෙත් ඔහුගේ අපෝහකය (dialectics)  රූපිකයකින් (formalism) ම කෙළවර වුණා. (අපෝහකයේ රූපිකය බලන්න). මාක්ස්ගේ සිට මෙයිසු ද කවුද දක්වා ඊනියා ද්‍රව්‍යවාදීන්ට (materialists)  හෙගල් ඔළුවෙන් හිටවන්න බැරි වුණා. ඔවුන් හෙගල් වටා කැරකෙනවා පමණයි. 



බයිබලයේ ඇති මූලික ම ද්වෛතය දෙවියන් වහන්සේ හා යක්‍ෂයා. බටහිර චින්තනයේ ද්වෛත මේ දෙවියන් වහන්සේ-යක්‍ෂයා යන මූලික ද්වෛතයෙන් ගලා එනවා.  දෙවියන් වහන්සේ මෙන් ම යක්‍ෂයාත් කවුරුන් විසින්වත් මවනු ලබන්නේ නැහැ. දෙවියන් වහන්සේ සර්පයා මැව්වත් යක්‍ෂයා මවන්නේ නැහැ. ඇතැමුන් අහනවා දෙවියන් වහන්සේ යක්‍ෂයා මැව්වේ ඇයි ද කියා. එය වැරදි ප්‍රශ්නයක් බවයි මගේ වැටහිම. මේ ද්වෛතය කිසිවකුගේ මැවීමක් නො වෙයි. කාන්ට් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ම මැවීමක් කිව්වා. එය රේඛීය චින්තනයට විරුද්ධයි. එහෙත් එය වෙන ම කරුණක්. කොහොමත් යක්‍ෂයා කාගේ මැවීමක් දැයි යක්‍ෂයාවත් කියන්නේ නැහැ. ඝරසර්පයට යක්‍ෂයා නැතුව බැහැ. අපි එයට පසුව එමු.



ඝරසර්ප කතාව කෙටියෙන් මෙසේයි. පල්ලියේ පූජාවල දී දෙමළ කතෝලික තරුණියකට සිංහල කතෝලික තරුණයකු හමුවෙනවා. මා එහෙම කිව්වත් ඒ අය කතෝලික නොවන්නත් පුළුවන්. එය ප්‍රධාන ප්‍රශ්නය නොවෙයි. තරුණයා ජයන්ත චන්ද්‍රසිරිගේ චරිතයට සම්බන්ධ බවක් කියැවෙනවා. තරුණයාගේ නම සඳරැස්. එහි චන්ද්‍රසිරි සේයාවක් තියෙනවා. ජයන්ත උපන්නේ කතෝලික පවුලක වෙන්නත් පුළුවන්. එයත් වැදගත් නැහැ. අර තරුණියට ආවේෂයක් වෙනවා. තරුණයා පල්ලියේ දී  ආවේෂ වූ තරුණිය දකිනවා. ඔවුනොවුන් අතර පිළිබඳ සිත් ඇතිවෙනවා. පල්ලියේ පූජකතුමා පවත්වන පූජා කිහිපයකින් පසුව (නත්තල් දින) මහා පූජාවේ දී තරුණිය සුවය ලබනවා. එනම් ඇය ආවේෂයෙන් නිදහස් වෙනවා.



එහෙත් ටික කලකින් ජනවාර්ගික ප්‍රශ්නය නිසා දෙමළ තරුණිය ලංකාව අත්හැර යනවා. අප ජනවාර්ගික කතාවක් කිව්වත් මේ තරුණ තරුණියන් කොහොමටත් අවුරුදු දහයකින් පමණ ලංකාව අත්හැර යෑමට තිබුණා. සිංහල තරුණ තරුණියන් රට අත්හැර යන්නේත් ජනවාර්ගික ප්‍රශ්නයක් නිසා ද? අවසානයේ දී ඒ තරුණිය කැනඩාවේ ඉගෙන මනෝ චිකිත්සකවරියක  වී දෙමළ තරුණයකු සමග විවාහ වී අවුරුදු තිස්හතකට පසුව ලංකාවට පැමිණෙනවා. ඒ අතර සඳරැස් ද මනෝ විද්‍යාව  ඉගෙන විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු බවට  පත් වෙනවා. ඔහු විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට පුරුදු ආකාරයට වචනවලට සීමා වූ හරයක් නැති තමන්ගේ නොවන අනුන්ගේ මත රැගත් දේශන සිසුනට පවත්වනවා.  ඔහු සිංහල තරුණියක සමග විවාහ වෙනවා. ඇයටත් යම් ආවේෂයක් තියෙනවා. ඇය අවසානයේ තම රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට අර චිකිත්සකවරිය හමුවෙනවා. වෛද්‍යවරිය ඇයට කියනවා සැමියාට තමා හමුවන ලෙස.



සඳරැස්ට අවුරුදු තිස්හතකට පසු තම පැරණි පෙම්වතිය හමුවෙනවා. දෙදෙනා එකිනෙකා හඳුනා ගන්නවා. ඉන්පසු කතාව අවසන් වෙනවා. එහෙත් කතාව පටන් ගන්නේ ඉන්පසුවයි. සඳරැස්ට බටහිර වෛද්‍යවරිය ඔවුනොවුන් හමුවීමේ දී දැනුම් පද්ධතීන් ගැන කියනවා. තමා ඉගෙන ගත් බටහිර මනෝ චිකිත්සාව එකක්. එහිත් ආවේෂවලට ප්‍රතිකාර ගැන කියනවා. එහෙත් ඇයට තරුණියක ව සිටි කල අත්දැකීම තියෙනවා. ඇය ඒ ගැන කියනවා. හඳුනාගැනීම තහවුරු වෙන්නේ ඒ අත්දැකීම් ඔස්සේ. එහෙත් දැන් දෙදෙනා ම විවාහ වී. දැන් මොනවා කරන්න ද? ශෝකි වැළඳ ගැනීමකින් හමුව කෙළවර වෙනවා.  එයත් සංස්කෘතික ප්‍රශ්නයක්. සිංහල දෙමළ සංස්කෘතීන් තවමත් එවැනි ප්‍රශ්නවල දී හිතන්නේ ක්‍රියා කරන්නේ එක විධියට.  



දැනුම් පද්ධතීන් ඇත්තේ එකක් පමණක් නො වෙයි. එහෙත් අප මත බටහිර දැනුම් පද්ධතිය බලෙන් පටවනවා. එය පදනම් වන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ. ඒ කතෝලික චින්තනය නො වෙයි. කතෝලික චින්තනය මධ්‍යකාලීන යුරෝපයේ තිබුණත් ආසියාතික එකක්. නැගෙනහිර යුරෝපයේ රටවල ග්‍රීක ඔතොඩොක්ස් පල්ලියේ තවමත් මේ ආසියාතික ගතිය තියෙනවා. ආසියාතිකයන් යම් ප්‍රමාණයක් කතෝලිකයන් වී ඇතත් ක්‍රිස්තියානීන් වී ඇත්තේ ඊට අඩු ප්‍රමාණයකින්. මනෝ විද්‍යාව මනෝ චිකිත්සාව ආදිය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ. කතෝලික චින්තනයේ නො වෙයි.  (දැන් විරාමය)