Main Logo

Friday 21 September 2018

ප්‍රශ්න හා විසඳුම්


ප්‍රශ්න හා විසඳුම්



දින කිහිපයකට පෙර එක් පඬියකු තමා මා හා ඊ ඩබ්ලිව් අදිකාරම් මහතා අතර කෙරුණු (ගුවන් විදුලි) සාකච්ඡා අසා ඇති බව කීවා. ඒ බවක්  කියා ඔහු හිතන විධියට මගේ වෙන වරදක් ඇති බව කියන්න හැදුවා. මා කිසි දිනෙක අදිකාරම් මහතා සමග එවැනි සාකච්ඡා පවත්වා නැතිවා පමණක් නොවේ. එතුමන් සමග වචනයක්වත් කතා කර නැහැ. ඒ පඬියා ඊයේ මට කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති ලිපියේ ප්‍රශ්න නැතිව කළ යුත්තේ කුමක් ද කියා කිව යුතු බව කියනවා. මෙවැනි පුද්ගලයන් කිහිප දෙනකු මුහුණු පොතේ ඉන්නවා. ඒ මට ඔළුව අතගා ටොකු අනින අය. ඇතැමුන්ට අනුව මා නොවන්නට (මගේ ගතිගුණ) ජාතික ව්‍යාපාරය මෙයට වඩා ඉදිරියට යන්න තිබුණා. ගුණදාස අමරසේකර හා මා ජාතික ව්‍යාපාරයට යමක් කළ බව කියමිනුයි ඔවුන් එසේ කියන්නේ. මගේ ගතිගුණ (එක් අයකුට අනුව මනුස්සකමක් නැති වීම) නිසා ජාතික ව්‍යාපාරය ඉදිරියට නොගියා ය කියා කීම ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වන අමරසේකරට කරන නිග්‍රහයක්. ඔවුන්ට අනුව අමරසේකරට ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. අවුරුදු 16/17 කාලයේ රත්නපුරේ පාසලක ක්‍රීඩා කටයුතු ගැන උනන්දුව දැක්වූවකු එකල සිට මා සමග වාද කර බවත් චින්තන පරෂදයේ අය ඒ වාද ගැන දන්නා බවත් කියනවා. රත්නපුරේ අය නම් ඒ බවක් දන්නේ නැහැ.




ජාතික ව්‍යාපාරයට මගෙන් එතරම් දෙයක් ඉටු වී නැහැ. චම්පක, විමල්, අමරසේකර, බණ්ඩාර, චන්න වැනි දේශපාලනඥයන්, විද්වතුන්  හා  තවත් අය කර ඇති දේ ගැන ඒ ඒ අය කියනවා.  ප්‍රශ්න එකින් එක ගෙන පිළිතුරු දීමක් මා කරන්නේ නැහැ. මට පක්‍ෂව ලියන හත්අට දෙනාත් මා ගැන නොලියා ඉන්නවා නම් හොඳයි.  ඉහත කී පඬියා මගෙන් අහන්නේ කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති ගැන කළ යුත්තේ කුමක් ද කියා. කුමන්ත්‍රණ ගැන විවිධ දේශපාලනඥයන් පිළිතුරු දෙනවා. පරීක්‍ෂණ පැවැත්වීම, වැඩ තහනම් කිරීම, ආරක්‍ෂාව සැපයීම ආදිය ගැන ඒ අය කියනවා. මෛත්‍රිපාල නිහඬ නමුත් මහින්ද කළ යුත්තේ, එසේ නැතිනම් තමා බලයේ සිටියේ නම් කරන්නේ, මොකක් ද කියනවා. කිසිවකු ත්‍රිත්ව විදුහල ගැන කතා කරන්නේ නැහැ. ඒ ඊනියා සදාචාරයක් නිසා ද? මේ කවුරුන්වත් රනිල් ඉවත් කිරීම ගැන පැහැදිලි ව කතා කරන්නේ නැහැ. රනිල් අගමැති ව ඉන්නතාක් තව තව සිද්ධි ඇති වේවි.



රනිල් මැතිවරණයෙන් ඉවත් කිරීම, මැතිවරණයක් ලබා ගැනීමට ජනබලය ඒකරාශි කිරීම ආදිය ගැන තමයි ඔවුන් කතා කරන්නේ. විස්සට ජනමත විචාරණයක් ලබා ගැනීම, අයවැයෙන් ආණ්ඩුව පරාද කිරීම ආදිය තවත් විසඳුම්. මා විසඳුමක් දී නැති බවට පෙන්වීමට තැත් කරන්නන් මා දී ඇති විසඳුම වූ මෛත්‍රිපාල ජනාධිපති ලෙස ඇති ව මහින්ද අගමැති කිරීමට විරුද්ධයි. එසේ කීම නිසා මා සිරිජාතිකවාදියකු වෙලා. රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබාදිය යුතුය යැයි කීම තමයි මෑත කාලයේ මා කර ඇති පංචානන්තරීය කර්මය. කොහොමත් ඒ ශක්තිය ලබා නොදීම නිසා තව තවත් සිද්ධි ඇති වේවි. එක් පඬියකු අසා තිබුණා ශක්තියක් නැති අයකුට ශක්තියක් ලබා දෙන්නේ කෙසේ ද කියා!



විස්සට අවසානයේ මොනවා වෙයි ද කියා කියන්න බැහැ. අධිකරණය එහි ඇතැම් වගන්ති ජනමතවිචාරණයකට යොමු කළ යුතු යැයි තීරණය කළොත් කරන්නේ මොකක් ද කියන එක ජේ ආර් කියා තිබෙනවා, ආදර්ශයක් ද දී තිබෙනවා. පළාත් සභා සම්බන්ධයෙන් ජේ ආර් කළ දේ මේ ලිපිවල කිහිප වරක් ම සාකච්ඡා වී තිබෙනවා. ජේ ආර් කළ දේ රනිල් කරන්න පුළුවන්. ඒ වගන්තිවල වචනයක් එහාට මොහාට කර තව තවත් සංශෝධන ගෙනැවිත් විස්ස නව ව්‍යවස්ථාවක් බවට ම පත් කරන්න පුළුවන්. මහින්ද නව ව්‍යවස්ථාවෙන් අගමැති ජනාධිපතිට වඩා බලවත් වන බව ඉන්දියාවේ රුපවාහිනී සාකච්ඡාවක කිව්වා. එය වැරදීමක් ද? ඔහු අදහස් කෙළේ දහනවයෙන් අගමැති වඩා බලවත් වී ඇතැයි කීම ද? දහනවය අනුව වඩා බලවත්  අගමැති නොව ජනාධිපති. ජනාධිපතිට තවමත් රනිල් ඉවත් කර වෙනත් අයකු (මහින්ද) අගමැති ලෙස පත් කරන්න පුළුවන්. එහෙත් දෙපැත්තෙන් ම එයට විරුද්ධතා තිබෙනවා. ඒ විරුද්ධතා අවසාන වශයෙන් රනිල්ගේ පැවැත් ම වෙනුවෙන්.



දැන් ඉන්දියාව ප්‍රශ්නය අතට ගෙන. ඉන්දියාව ප්‍රශ්නය විසඳන්නේ ඊනියා ස්මාට් ජාතිකවදීන්ට ඕන විධියට. දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමෙන් හෝ නැවතත් 13+ට යෑමෙන්. එයට මහින්දවාදීන්ට ද කැමතිවන්නට සිදු වේවි. ඒ අද මහින්දගෙන් පිට ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් නැති නිසා. එය නැති කෙළේ මා යැයි කියන්නන් තේරුම් ගත යුත්තක් නම් ජාතික ව්‍යාපාරයේ බලවතුන් විසින් ජනමාධ්‍යයේ ද සහාය ඇතිව මා සමාජයෙන් පිටමං කෙරී ඇති බවයි. මා ජීවත්වන්නේ සමාජයේ පිටස්තරයකු ලෙස.



අද දෙමළ ප්‍රශ්නය තව තවත් වගා කර කෑමට බොහෝ දෙනා උත්සාහ ගන්නවා. දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි අවුරුදු තිහකට පමණ පෙර අප කී දේ අසා ඒ අනුව කටයුතු කළා නම් අද ප්‍රශ්නයක් නැහැ. අඩුම තරමෙන් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු  තවත් සාකච්ඡා නැහැ කියා කිව්වා නම් ප්‍රශ්නය ඉවරයි. එහෙත් අප කියන දේ බොහෝ දෙනා අහන්නේ නැහැ, නන්දිකඩාල් ජයග්‍රහණය පිටුපස ඉන්දියාවේ වක්‍ර සහාය තිබූ බව අප කියන විට ඇතැමුන් අපෙන් ඇසුවේ අදාළ සාකච්ඡා පැවැත් වූ තැන්වල අප සිටියා ද කියා. අප බොහෝ දේ ගැන දැන ගන්නේ ඒ ඒ තැන්වල සිටීමෙන් නො වෙයි. 13+ නන්දිකඩාල් ජයග්‍රහණය වෙනුවෙන් එදා අප ඉන්දියාවට ගෙවු වන්දියක්. මහින්ද ඉන්දියාවට ගොස් කොටි පරාද කිරීමට ඉන්දියාවේ සහාය ලැබුණු බව කීවා යැයි කියමින් ඊයේ තමිල්නාඩුවේ ජයලලිතාගේ පක්‍ෂය එසේ සහාය දීම ගැන කොංග්‍රසයට විරෝධය පළ කර තිබුණා. අවසානයේ දී 13+ ඉවත් වුණේ ජාතික ව්‍යාපාරයේ බලපෑම නිසා. එහෙත් අද බලවත් ජාතික ව්‍යාපාරයක් නැහැ.



භාරතීය ජනතා පක්‍ෂය හින්දුත්වයට ගරු කරන පක්‍ෂයක්. එය ඉන්දියාවේවත් බෞද්ධයනට පක්‍ෂ නැහැ. ආචාර්ය ස්වාමි ඇතුළු බොහෝ ඉන්දීය නායකයන් විරුද්ධ වූයේ ප්‍රභාකරන්ට මිස දෙමළ ජාතිවාදයට නො වෙයි. ඔවුන් නන්දිකඩාල් හි  කොටි පරාජය සමග සියල්ල අවසන් කියා පිළිගැනීමට, එය දෙමළ ජාතිවාදයට දුන් දේශපාලන විසඳුමක් බව පිළිගැනීමට කැමති නැහැ. ආචාර්ය ස්වාමි බ්‍රාහ්මණ වාංශිකයකු බව කියමින් ඔහු දෙමළ ජාතිවාදියට විරුද්ධ බව ස්මාට් ජාතිකවාදිනියක් කියනවා. ස්වාමි පමණක් නොව ජයලලිතා ද නේරු ද ඉන්දිරා ගාන්ධි ද හින්දු පත්‍රයේ අයිතිකරුවන් ද, ඉන්දිය විදේශ අමාත්‍යාංශයේ කේරළයන් ද බ්‍රාහ්මණ වාංශිකයන්. ඔවුන් විරුද්ධ  රජිව් ඝාතනය කළ ප්‍රභාකරන්ට මිස දෙමළ ජාතිවාදයට නො වෙයි. 13+ ඔවුන් ප්‍රභාකරන් පැරදවීමට ඉඩ දී දෙමළ ජාතිවාදයට ලබා ගත් කප්පමක්.



ප්‍රශ්නවලට (එක් ප්‍රශ්නයකට නොව) විසඳුම ලෙස රනිල් ඉවත් කෙළේ නැහැ. අද සමහරවිට රනිල් ඉවත් කිරීම ඉන්දියාවේ ආධාරයෙන් කෙරේවි. එහෙත් ඒ සඳහා ස්වාමි හරහා අපට දෙමළ ජාතිවාදයට වන්දියක් ගෙවීමට සිදු වේවි. ස්වාමි කච්චතිවු දුපතේ ඉන්දීය කොඩිය එස වූ අයෙක්. ඇතැම් ස්මාට් ජාතිකවදීන් අහනවා ස්වාමි නැතිව අපට ඉනදියාවේ විකල්පයක් නැහැ නේද කියා. අපට ඉන්දියාව නැතිව ප්‍රශ්නය විසඳගන්න  තිබුණා. ඒ මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමෙන්.



අවුරුදු තිහක් දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි කීමෙන් පසුවත් මහින්දටවත් මෛත්‍රිපාලටවත් ඒ ගැන තේරුමක් නැහැ. එස් බීටත් තේරුමක් නැහැ. එහෙත් ඔහුගෙන් ස්වාමිගෙන් වන අනතුර සිදු වන්නේ නැහැ. අවාසනාවකට ගෝඨාභය වටා සිටින්නන් ද සිතන්නේ දෙමළ ජාතිවාදය පනස්හයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙ ප්‍රතිඵලයක් බවයි. ප්‍රශ්නවලට විසඳුම් අප දී තිබෙනවා. ඒත් ඒ අදිකාරම් මහතා ජීවත් වූ යුගයේ නොවන්න පුළුවන්. මුහුණු පොතේ ඕනෑම අයකුට බොරු කියා කිසිම ලජජාවක් නැතිව ආපසු ඒමට පුළුවන් තැනක්. දයාන් ජයතිලකගේ සිට ස්මාට් ජාතිකවාදීන් බොහෝ දෙනකු එක්කෝ ඕල්කට් බෞද්ධයන් නැත්නම් අබෞද්ධයන්.  ඔවුන් ජාතික ව්‍යාපාරයට රිංගා ගෙන ඉන්නේ හොඳකට නො වෙයි. ඔවුන්තේ උත්සාහය අප ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් නොකරන අන්තවාදීන් බව කියා අප ජාතික ව්‍යාපාරයෙන් තව තවත් ඈත් කිරීම.