Main Logo

Saturday 15 September 2018

ට්‍රොයිකාවෙ වගතුග


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

ට්‍රොයිකාවෙ වගතුග



මා දැන් දින ගණනක් තිස්සෙ බලාගෙන ඉන්නවා මට සාපේක්‍ෂව මා නිර්මාණය කර ඇති ඝරසර්ප ගැන ලියන්න. මා හිතන විධියට ඝරසර්ප ඊනියා සංහිඳියාකරුවන්ට දෙන පිළිතුරක්. එහි කතෝලික සංස්කෘතිය හා සිංහල බෞද්ධ සංස්කෘතිය මිශ්‍ර වෙලා. එහි දැනුම් පද්ධති තුනක් ගැන කියැවෙනවා. මේ ගැන ඉක්මණින් ලියන්න ඕන. ඒත් සෘජු දේශපාලනය එයට අදත් හෙටත් ඉඩක් දෙන්නෙ නැහැ.




ඊයේ මා ලියූ එන පොට හොඳ නැහැ ලිපියට විවිධ මහින්දවාදීන්ට කේන්ති ගිහින්. ඔවුන් ඊනියා රාජ්‍යතාන්ත්‍රික දේශපාලනයේ විශාරදයන් වෙලා. අපි නොදන්න රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය! මහින්දවාදීන්ට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මත්තල ගැන අනෙක ට්‍රොයිකා හෙවත් ත්‍රිත්වය ගැන. ට්‍රොයිකාව ගැන අද කතා කරමු. එයට පළමු මහින්ද ගැන මා දන්නා කරුණු කිහිපයක් ඉතා කෙටියෙන් කියන්න ඕන. ඔහු ගැන මා දන්නේ මුහුණු පොතේ මහින්දවාදීන් බොහෝ දෙනෙක්, විශේෂයෙන් මුහුණු පොතේ මහින්දවාදීන්, මහින්ද ගැන දැන ගැනීමට පෙර. මහින්ද යකකුවත් දෙවියකුවත් කිරීමට අපට අවශ්‍ය නැහැ. සිංහල බුද්ධාගමේ ඉන්නෙ කළුකුමාරයන්. ඝරසර්ප ගැන කතා කරන විට මෙය පැහැදිලි වේවි.



මහින්දගේ දේශපාලනය ප්‍රධාන අවස්ථා හතරකට බෙදන්න පුළුවන්. 2006ට පෙර යුගය, 2006 -2008 පමණ අතර යුගය, 2008-2011 අතර යුගය, 2011-2018 යුගය. 2006ට පෙර ඔහු වාම කේන්ද්‍රීය දේශපාලනඥයෙක්, දෙවැනි යුගයේ ජාතිකත්වයේ බලපෑමට හසු වූ අයෙක්.  තුන්වැනි යුගයේ ඔහු ඉන්දීය බලපෑමට හසු වූණා. 2011න් පසු යුගයේ ඔහු ඉන්දීය බලපෑමෙන් නිදහස් වුණා. දැන් ඔහු නැවතත් වෙනස් වෙන්න යනවා. ඔහු ඉන් ගලවා ගැනීම මහින්දවාදීන්ගේ කටයුත්තක් වෙන්න ඕන. එත් එහෙම වෙන පාටක් නැහැ. මේ යුග බෙදීම ඉතා දළ බව අමතක කරන්න එපා.



දෙවැනි යුගයේ ඔහු කොටි සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටියේ. ඔහු වරක් සෝමවංශ අමරසිංහගෙන් අසා තිබුණේ යුද්ධෙ කරන්නෙ අරකෙන් ද කියලා. එහෙත් ඒ අතර ඔහුට ජාතිකවාදීන්ගේ බලපෑම වැඩි වුණා. ඔහු ක්‍රමයෙන් කොටි පැරදවීමේ පැත්තට ආවා. ඒ දුටු ඉන්දියාව 2008 දී පමණ තම ග්‍රහණයට මහින්ද පත් කර ගත්තා. අර ට්‍රොයිකාව (ත්‍රිත්වය) හැදුවෙ 2008-2009 කාලෙ. එහි ඉන්දියාව පැත්ත නියෝජනය කෙළෙ ජාතික ආරක්‍ෂක උපදේශක එම් කේ නාරායන, විදේශ ලේකම් ශිව්සන්කර් මෙනන්, ආරක්‍ෂක ලේකම් විජේ සිං. (අවුරුදු දෙදහස් ගණනකට පෙර මෙරටට පැමිණි විජයත් විජය සිං කෙනෙක්!). මෙයින් දෙදෙනෙක් කේරළයෙ. මට තේරෙන විධියට මේ කාලෙ තමයි කොටි පරදවන්න ඉන්දියාව අපට ආධාර කෙළෙ. මේ ගැන නාරායන ලියලත් තියෙනවා. ඉන්දියාව ආධාර කෙළෙ මැදිහත් නොවීමෙන්. 



මා කියන්නෙ ඉන්දියාව එසේ ආධාර නොකෙළේ නම් අපට කොටි පරදවන්න බැහැ කියන එක නො වෙයි. මහින්ද ව ඉන්දියාව පැත්තට ගත්තෙ මේ උදවුවෙන්. අප ඒ සඳහා ඉන්දියාවට ගෙවූ වන්දිය කුමක් ද? ඉන්දියාව තමන්ට වාසියක් නොමැතිව අපට උදවු කරන්නෙ විජයගෙ නෑකමට ද? අපේ පාණ්ඩ්‍ය කාලිංග සම්බන්ධකම්වලට ද? එහෙමත් නැත්නම් වංග සම්බන්ධකම්වලට ද? මේ සම්බන්ධකම් ගැන ඉන්දියාවෙ අද දන්නෙ කොල්කතාවෙ ඉන්න කිහිප දෙනකු පමණයි. 



ඉන්දියාවට ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි පැරදවීමේ වුවමනාව තිබුණා. ඒ රජිව් ගාන්ධි ඝාතනය නිසා. බටහිරයන්ට එවැනි ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඒත් දෙගොල්ලන් ම දෙමළ ජාතිවාදය ගැන එක මතයක හිටියා. ඔවුන් සිංහලත්වයට, සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධ වුණා. ඉන්දියාවට කොටි පැරදවීමට අවශ්‍ය වුණ නමුත් සිංහලත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදා ගත්තා. ඉන්දියාව අපෙන් ඉල්ලා සිටියේ 13+. එය අර ට්‍රොයිකාවෙ වැඩක්. අප එයට එකඟ වුණා.



2011 පමණ වන තෙක් මහින්ද 13+ ගැන කතා කළා. ඊනියා උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පත් කළා.  එහෙත් ජාතිකත්වයට පුළුවන් වුණා මහින්ද ඉන් ගලව ගන්න. එහි ප්‍රතිඵලය වුණෙ ඉන්දියාව මහින්දටත් ජෙනීවාහි ලංකාවටත් විරුද්ධ වීම. අවසානයේ දී එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඉන්දියාව මහින්ද පරාජය කිරීමට සැලසුම් කළා. මෛත්‍රිපාල යොදා ගත්තා. 20015 දි රනිල් බලයට පත් කළා.



මා අහගෙන දුමින්ද දිසානායක කියනවා අද තියෙන්නෙ ජනාධිපතිගෙ ආණ්ඩුවක් මිස අගමැතිගෙ ආණ්ඩුවක් නොවෙයි කියලා. ඔහු එහෙම හිතාගෙන හිටියාවෙ. ජනමාධ්‍ය ඔහුට ප්‍රචාරයක් දුන්නට ඔහු දේශපාලනයේ වැදගත් චරිතයක් නොවෙයි. අද තියෙන්නෙ රනිල්ගෙ ආණ්ඩුවක්. මෛත්‍රිපාල යම් යම් දේ දැනගන්නෙ පත්තරෙන්. රනිල් පාර්ලිමේන්තුව සතපහකට ගණන් ගන්නෙ නැහැ. අපට අද මෛත්‍රිපාල අවශ්‍ය වන්නෙ ඉන්දියාවට විරුද්ධව කටයුතු කරන්න නොවෙයි, රනිල් ඉවත් කරන්නයි. අද එය ඉන්දියාවෙ ආධාරයෙන් කෙරෙන පාටක් තමයි තියෙන්නෙ. ඒ භයානකයි. එහෙත් රනිල් ඊට වඩා භයානකයි.



2015 තමන් පරාද කෙළෙ රෝ ඔත්තු සේවය කියලා මහින්ද එළි පිට ම කිව්වා. 2018 මුලත් මහින්ද ඒ මතයෙ හිටියෙ. එහෙත් දැන් වෙනස් වෙලා. අර ආචාර්ය ස්වාමි තමයි මේකෙ කපුකම කරන්නෙ.  ඉහත කී ත්‍රොයිකාව වගෙ එකක් තමයි නැවතත් ඇති කරන්න දැන් කතා වෙන්නෙ. ඒකෙ වැරුද්ද අප නැවතත් 13+ වෙත යෑම. මහින්ද ඉන්දීය ග්‍රහණයට හසු වීම. අද ජාතික බලවේගවලට එදා තරම් ශක්තියක් නැහැ. අද ජාතික බලවේග මෙයෙහවෙන්නෙත් මහින්ද විසින්. මහින්දවාදීන් නොයෙකුත් කතා කියනවා. මහින්ද කී දේ යුක්තියුක්ත කරන්න හදනවා. (මතු සම්බන්ධයි)