Main Logo

Monday 3 September 2018

අලි ඇත්තු සහ තවත් සත්තු

අලි ඇත්තු සහ තවත් සත්තු

මේ රටේ අද ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙරට නීතිය ක්‍රිස්තියානි. අධ්‍යාපනය ක්‍රිස්තියානි. වෙදකම ක්‍රිස්තියානි. බටහිර විද්‍යාව සම්පූර්ණයෙන් ම ක්‍රිස්තියානි. දෙවියන් වහන්සෙ එහි ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. නිකම් බොරුවට බටහිර විද්‍යාවෙ නාමික ව දෙවියන් වහන්සේ නැහැයි කිව්වට වැුඩක් නැහැ. ඔය බටහිර රටවල ඉන්න සිංහල විද්‍යාඥයන් කියන අය හඳුන්වාදි තිබෙන සංකල්පයක් ප්‍රවාදයක් තියෙනව නම් කියන්න. බටහිර විද්‍යාවෙන්  උපාධියක් ලබල තියෙන ඕනෑම අයකුට මා අභියෝග කරනවා මුහුණු පොතේ මුමුණන්නෙ නැතිව   බටහිර විද්‍යාවෙ මහා පිපිරුම එකඟ වන්නෙ බයිබලයේ සඳහන් ආරම්භය එක්ක ද අග්ගඤ්ඤ සූත්‍රය සමග ද කියන්න  කියා. 


අප රාජ්‍යය ක්‍රිස්තියානි බව නොතේරෙන්නේ එහි වහලුන්ට. වහලාට තම වහල්බව තේරෙන්නේ නැහැ. බටහිර ලෝකයේ ඇත්තේ යම් ආකාරයක (ප්‍රභේදයක) ක්‍රිස්තියානි රටවල්. ඒ රටවල ව්‍යවස්ථාවේ සමහරවිට ලියා නැතිව ඇති එරට රාජ්‍යය ක්‍රිස්තියානි කියා. සමහරවිට වැඩි හොඳට කියා නිරාගමික රාජ්‍යයක් කියලත් සඳහන් වෙනවා ඇති. එහෙත් ඒ රටවල සංස්කෘතිය සිංහල බෞද්ධ නම් නොවෙයි. රාජ්‍යය මුස්ලිම්වත් හින්දුවත් නො වෙයි.

බටහිර රටවල සංස්කෘතීන් සමාන නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ රටවල හිමි තැන කුමක් ද? වෙසක් පොහොය ඊනියා ජාත්‍යන්තර නිවාඩු දිනයක් නිසා ඒ රටවල චෙසක් පොහොයට නිවාඩු දෙනවා ද? නත්තලට හා පාස්කුවට නම් බොහෝ තැන්වල සතියක පමණ නිවාඩුවක් ලැබෙනවා. බටහිර රටවල වෙසෙන බෞද්ධයන් වෙසක් පොහොයට සිල් සමාදම් වීමට පොහොය ගෙවී ඉරිදා වන තුරු බලන් ඉන්න ඕන. ඒක බෞද්ධයන්ගෙ මානව අයිතිවාසිකම් කඩවීමක් ද? එය බෞද්ධයන්ගෙ මානව අයිතිවාසිකම් කඩ වීමක් කියල උසාවියෙ නඩුවක් දාලා බලන්න.

පසුගිය දා එක්සත් රාජ්‍යවල ඔරිගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් නගරයට දකුණින් සමාගමක කෝල්මන් නමැති පින්තාරුකරුවකු (නැහැ ඔහු මහාචාර්යවරයකු නො වෙයි. පෘතුගාලයේ පින්තාරු සමාගම්වල වැඩ කරන අයට එහෙම කියනවා ද දන්නෙ නැහැ) අස් කරලා ඔහු සමාගමේ බයිබල් අධ්‍යයනවලට සහභාගි වුණේ නැහැ කියලා. ඔහු නඩුවක් දාලා. එරට සමහර ප්‍රාන්තවල මැවුම්වාදය පාසල්වල උගන්වනවා. ඒ බෞද්ධ සිසුන්ටත් එක්ක.

ලංකාවේ බටහිර විද්‍යාව උගන්වන අතර අග්ගඤ්ඤ සූත්‍රය ඉගැන්නුවොත් මොනව වෙයි ද? පඬියන්ට වෙන වැඩක් නැති වේවි මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා ඇරෙන්න. මේ රටේ අලින්ටත් මානව අයිතිවාසිකම් තියෙන එකේ ඕක මොන වැඩක් ද? දළදා  පෙරහැරේ අලි ඇතුන් ගිහින් ඉවරයි. අලි අයිතිවාසිකම් ගැන කතා කළ අයට තවත් පෙරහැරක් එනකන් ඉන්න ඕන නැහැ. ඔවුන්ට මෙරට ක්‍රිස්තියානි රාජ්‍යය අවශ්‍ය අවස්ථා සපයනවා. මට මේ තුප්හියන්ගෙ නම් කියන්න අවශ්‍යතාවක් නැහැ. අවශ්‍ය අයකුට ඔවුන්ගේ පඬි වදන් මුහුණු පොතෙන් බලා ගන්න පුළුවන්. අපේ ව්‍යවස්ථාවෙ නවවැනි වගන්තිය වැඩකට ඇති එකක් නොවෙයි. අද බුදුසසුනට කරන හිරිහැර නවත්වන්න නවවැනි වගන්තියට බැහැ. 

සත්තුවත්තෙ ඉන්න සතුන්ගෙ සත්ව අයිතිවාසිකම් ගැන කියන්නෙ මොක ද? උන් ගාල් කරලා ඉඳීමෙන් උන්ගෙ සත්ව අයිතිවාසිකම් රැකෙනවා ද? අර අලින්ගෙ මානව අයිතිවාසිකම් ගැන කියු වනජීවි අමෙතිවරයකුට (මට මතක නැහැ ඔහු රාජ්‍ය ඇමති ද නියෝජ්‍ය ඇමති ද කියා) සත්තුවත්ත ගැන හිතෙන්නෙ මොක ද? බයිබලයට අනුව සියලු සතුන් පමණක් නොව ගැහැණිය ද මවා ඇත්තේ (සුදු) පිරිමියාගේ ප්‍රයෝජනය සඳහා. පාඨය ඉදිරිපත් කිරීමට අවශ්‍ය ද?

මෙරට සත්තුවත්ත තියෙන්නෙත් ඒ බයිබල් කීම අනුව ද? ලෝකයේ ම සත්තුවතු තියෙන්නෙ බයිබල් පාඨයට එකඟව ද? මිනිසුන්ගෙ ආහාරය පිණිස සතුන් මරන්නෙ බයිබල් පාඨයට එකඟව ද? බුදුහාමුදුරුවො දේවදත්ත ඉල්ලීමට එකඟ වුණෙ නැති එක ඇත්ත. ඒත් බෞද්ධයන් පන්සිල් ගන්නවා. ඒකෙන් තේරෙන්නෙ නැහැ රට දැය සමය වෙනුවෙන් යුද නොවදින බවක්. පඬියන් ස්ටැන්ලි තම්බයියලව දේවදත්තයන් ව කැඳවන්න අවශ්‍ය නැහැ. මේ සියල්ලට ම දශක කිහිපයකට පෙර පිළිතුරු දීල තියෙනවා.  

මෙරට කලක මාඝාත කියා නීතියක් තිබුණා. අශෝක හඳගම ඒ දවස්වල ඒක තමන්ගෙ දේශපාලන වුවමනා සඳහා යොදාගන්න නාට්‍යයක් හැදුවා. ඒ මිසක් බෞද්ධ මාඝාතයට කරුණු කීමට නො වෙයි. කලා කෘති දේශපාලනයෙන් වියුක්ත වන්නේ නැහැ. ඒ නිසා ම කලා විචාරත් දේශපාලනයෙන් වියුක්ත වන්නෙ නැහැ. මා ඊයේ වෙල්ලස්සේ වෙඩිහඬ ගැන ලියු දේත් දේශපාලනිකයි.

බයිබල් කීම අනුව පෙරහැරේ අලි ගෙනියන එකත් වැරදි නොවන විධියට අර්ථථනයක් දෙන්න පුළුවන්. එහි ද අලි ඇතුන් යොදා ගන්නේ මිනිසා වෙනුවෙන් කීවොත් බයිබලයට අනුව එයට විරුද්ධ වෙනවා ද? කවුදෝ තුප්පහියකු කියා තිබුණාලු දතක් ගෙනියන්න ඇතෙක් මොකට ද කියලා බල්ලෙක් හිටිය ම ඇති කියලා. බෞද්ධයන් කියන්නේ නැහැ මේ බල්ලා බැඳ දමව් කියලා. මුස්ලිම් රටක ඔය වගේ කතාවක් කිව්ව නම් පඬියගෙ බෙල්ල කපල හිස ගෙනියන්නෙ බල්ලගෙ පස්ස පැත්තෙ බැඳලා. එවිට බල්ලට හිස් දෙකයි. බල්ලගෙ මානව අයිතිවාසිකම් වැඩි වෙලා!

කොහොමටත් අපි යෝජනා කරමු සියලු සත්තුවතුවලින් සතුන් නිදහස් කරන්න කියලා. බණ්ඩාරනායක මහත්තයා හොරගොල්ලෙ සතුන් නිදහස් කෙරුව කියලා කියනවා. මේ සත්තුවතුවල ඉන්න සතුන් කැලේට ගිහින් දාලා උන්ගෙ මානව අයිතිවාසිකම් රැකීම අර ඇමතිවරයාට භාර දෙමු. එතකොට ළමුන්ට සන්තෝස වෙන්න තිබූ තැනක් නැති කරලා ළමයින්ගෙ ළමා අයිතිවාසිකම් නැති කෙරුව කියලා ප්‍රශ්නයක් එන්න බැරි නැහැ. සතුන්ගෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන පඬියන්ට ඉරිදා දවස්වලට එතැනට ඇවිල්ල ඉන්න කියමු. ඔවුන් කොහොම හිටියත් ළමුන්ට විනෝදයක් ගෙන දේවි. එතකොට පඬියන්ගෙ  මානව අයිතිවාසිකම්. ඔවුන් සතුන්ගෙ මානව අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගෙ මානව අයිතිවාසිකම් පරිත්‍යාගය කරන බවට සැකයක් තියා ගන්න එපා.

පඬියන්ට මේ කතා කියන්න පුළුවන් මේ රටේ ක්‍රිස්තියානි රාජ්‍යයක් තියෙන නිසා. අප රොබට් බ්‍රවන්රිග් නැති කරපු සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කරන්න පමණයි කියන්නෙ. අලුතෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න නොවෙයි. අපට මුස්ලිම් රාජ්‍යයක වගේ තුප්පහියන්ට දඬුවම් කරන්න ඕනෙත් නැහැ. ඒ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් (ප්‍රමාණවත් නැහැ) වන්නෙ රනිල් බ්‍රවුන්රිග් ඉවත් කිරීමයි.