Main Logo

Sunday 23 September 2018

ස්වාමිගේ හෙළිදරවුව


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

ස්වාමිගේ හෙළිදරවුව



ආචාර්ය ස්වාමි තම බ්ලොග් අඩවියෙ පණිවුඩයක් නිකුත් කරලා කියලා දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයෙහි ඊයේ ප්‍රචාරය වුණා. ස්වාමි දැන් ලංකාවෙ ම දේශපාලනඥයෙක් වෙලා වගේ. නරක ද ඉන්දියාවට ගිහිල්ල ඔහුගෙන් වොයිස් කට් එකක් ගත්තනන්. ස්වාමි හොඳ කතාවක් කියලා තියෙන්නෙ. ඔහුගේ පණිවුඩයෙ තියෙන්නෙ හමුදා මෙහෙයුම්වල අවසන් කාලෙ දි ඉන්දීය ආණ්ඩුව (එවකට කොංග්‍රස්)  ප්‍රභාකරන් බේරගන්න නැවක් එවන්න ඉඳලා. එහෙත් නැව එවන්න බැරි වෙලා. ඒ පණිවුඩය ප්‍රභාකරන්ට යැවීමේ දී ප්‍රශ්නයක් ඇති වෙලා. කොහොම හරි ප්‍රභාකරන් නැව නැති බව නොදැන යන්න එනකොට හමුදා ව වෙඩි තියලා.




ස්වාමිට අනුව  කොංග්‍රසයෙ සෝනියා ගාන්ධි එවකට අභ්‍යන්තර කටයුතු ඇමති චිදම්බරම් හා ප්‍රභාකරන් අතර ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නෙ රජිව් ගාන්ධි ඝාතනයේ සැලසුම් කරු. සෝනියා ගාන්ධිට වටින්නෙ නැහැ ප්‍රභාකරන් එක්ක ලොකු සම්බන්ධයක් තියා ගන්න. ස්වාමි මේ පණිවුඩ නිකුත් (හෙළිදරවු) කරන්නෙ කා වෙනුවෙන් ද? ඔහුගේ පක්‍ෂයේ පාර්ලිමේන්තු නායක මෝදි වෙනුවෙන් ද?



දැනට ටික දිනකට කලින් තමයි ජෙයලලිතාගෙ පක්‍ෂය කොංග්‍රසයට විරෝධය පළ කෙළෙ ප්‍රභාකරන් පැරදවීමට කොංග්‍රස් ආණ්ඩුව මහින්දට උපකාර කළා කියලා. දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයට අනුව ජෙයලලිතගෙ පක්‍ෂය කියලා තියෙන්නෙ කොංග්‍රසය එහෙම උදවු කළ බව මහින්ද කිව්ව නිසා ඔවුන් ද දැනගත්ත කියලා. දැන් ස්වාමිගෙයි ජෙයලලිතගෙ පක්‍ෂෙ අයගෙයි කතා පරස්පර ද? නැහැ කතා කියන්නෙ කතා. කොංග්‍රසය ප්‍රභාකරන්ට ලණුවක් දුන්න වෙන්න බැරි ද? නැවක් එවනවයි කියලා නැව එවන්නෙ නැතිව ඉඳල ප්‍රභාකරන් එළියට ආවම ලංකාවෙ හමුදා ලවා වෙඩි තියවන්න සැලැස්මක් තිබුණ ද? තම තමන්ට ඕන විධියට හිතා ගන්න.



ඔය නැවේ කතාව ඒ දවස්වලත් තිබුණ. එහෙත් එය බටහිරයන්ගෙ සැලැස්මක් (කුමන්ද්‍රණයක් නොවෙයි) හැටියටයි කියවුණෙ. විජය නම්බියාර් කටුනායකට ඇවිත් වැසිකිළියක ඉඳන් පණිවුඩ යවපු කතාවක් ඒ දිනවල පුවත්පත්වල තිබුණා. පරණ පුවත්පත් කියවන්න සමත් අයට මේ ප්‍රවෘත්තිය අදත් බලාගන්න පුළුවන්. එහෙත් විජය නම්බියාර් ආවෙ ඉන්දියාව වෙනුවෙන් නම් නො වෙයි. ඔහු බටහිරයන් වෙනුවෙන් පැමිණි අයෙක්. මේ පුවත්වල සබැඳි එක තැනකට ගන්න පුළුවන් නම් හොඳයි.



ස්වාමි බොරු කියනවයි කියලා මා කියන්නෙ නැහැ. මා ඔය එක තැනකවත් හිටියෙ නැති බව ඇත්ත. සිදුහත් කුමරු බුදු වෙන වෙලාවෙත් මා එතැන හිටියෙ නැහැ. පස්සෙ කාලෙක තමයි බුද්ධගයාව වැඳ පුදා ගත්තෙ. අදත් සිංහල බෞද්ධයන් බුද්ධගයාවෙ යනවා. ඔවුන් ජේතවනාරාමෙත් යනවා.  ඔවුන් දෙව්රම් වෙහෙරට ඒ දවස්වලත් ගිහින් නිවන් දැක ගන්න බැරි වුණ අය වෙන්න පුළුවන්. කතෝලික පඬි පෝතිකාවන් හා උපැවිදි වූවන් ඒ බව දන්නේ නැතිව ඇති. පඬි පෝතිකාව යේසුස් වහන්සේ ඉපදෙන වෙලාවෙ එතැන ඉන්න ඇති.



මා එහි හිටියෙ නැති වුණාට 2008-2009 අවුරුදුවල   ලංකාවෙ ට්‍රොයිකාවක් (තුන් දෙනකු) ඉන්දියාවෙ ට්‍රොයිකාවක් එක්ක ගණු සාකච්ඡා කළා. ලංකාව වෙනුවෙන් හිටියෙ ලලිත් වීරතුංග බැසිල් රාජපක්‍ෂ හා ගෝඨභය රාජපක්‍ෂ. මුල දී ට්‍රොයිකාවෙ නායකත්වයෙ ඉඳලා තියෙන්නෙ ලලිත්. ඊට පස්සෙ බැසිල් නායකයා වෙලා. මං එතන හිටියෙ නැහැ. එහෙත් එතන හිටපු ලලිතුයි ලිපියක එහෙම කියන්නෙ.  ලලිත්ගේ ලිපියෙහි මේ ඡෙදය වැදගත්.



"At this first meeting, I vividly remember how the NSA of India clarified with the minutest detail as to why India needed to understand fully how we set about eliminating terrorism. Their responsibility towards the Tamils of Sri Lanka came out loud and clear. But that did not deter the Indian Troika denouncing terrorism and pledging their fullest support to eliminate terrorism in Sri Lanka. (www.counterpoint.lk) "



ඉන්දියාව වෙනුවෙන් ට්‍රොයිකාව ලෙස ක්‍රියා කෙළෙ,  එහි ජාතික ආරක්‍ෂක උපදේශක (NSA) නාරායන්, විදේශ ලේකම් මෙනන් හා විජය සිං. මා ඒ බව කලින් ලිපියකත් කිව්වා. ලලිත්ට අනුව ඉන්දියාවට ලංකාවෙ දෙමළ කතාකරන ජනයාට වගකීමක් තිබුණා. (අහවල් දේකට ද? වෙල්ලාලයන් තමිල්නාඩුවෙන් ආ නිසා ද? අපේ පැරණි විජය සිංහ ආවෙ වංගයෙන්. එතකොට සිංහලයන් වෙනුවෙනුත් ඉන්දියාවට වගකීමක් තියෙනවා ද). එහෙත් ත්‍රස්තවාදය නැතිකරන්න වුවමනාවකුත් තිබුණා. ඒ කියන්නෙ කොංග්‍රස් ආණ්ඩුවට වුවමනාවක් තිබුණ ත්‍රස්තවාදය නැති කරන්න.



දැන් ලලිත්ගෙ මේ කියමන ස්වාමිගෙ කියමනත් එක්ක ගලපන්නෙ කොහොම ද? ඒක අමාරු නැහැ. කොංග්‍රසයට ඕන වෙලා තියෙන්නෙ ප්‍රභාකරන් බේරාගෙන ත්‍රස්තවාදය නැති කරන්න. ස්වාමිත් හරි ලලිතුත් හරි. මේ ට්‍රොයිකා සාකච්ඡාවල එක් ප්‍රතිඵලයක් තමයි 2009 අප්‍රේල් මස නාරායන හා මෙනන් ලංකාවට හදිසියේ ඇවිත් මහින්ද හමු වී මැයි මස පැවැත්වෙන තමිල්නාඩු මැතිවරණ හේතුවෙන් හමුදා මෙහෙයුම්වල දී බැර අවි යොදා නොගැනීම. ඒ දේශපාලන උපක්‍රම අපට නොතේරෙනවා නො වෙයි. කොහොමටත් ලලිත් කියන විධියට ට්‍රොයිකා සාකච්ඡා වැදගත් වෙලා තියෙනවා කොටි පැරදවීමට.



හමුදා මෙහෙයුම් 2009 මැයි 19 වැනි දා ජයග්‍රහණයකින් කෙළවර වුණා. නාරායන හා මෙනන් 2009 මැයි 20 වැනි දා ලංකාවට පැමිණ තියෙනවා. ඔවුන් ප්‍රකාශකයක් ද නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රකාශය හෙට. එය උපුටා ගන්නේ ලලිත්ගේ ලිපියෙන් නොව අර ස්මාට් ජාතිකවාදී දයාන් ජයතිලක දි අයිලන්ඩ් පුවත්පතට ලියා ඇති ලිපියකින්. මගෙන් පඬියන් පඬි පෝතකයන් පඬි පෝතිකාවන් අහන්න එපා දයාන් එතැන හිටිය ද කියලා.