Main Logo

Friday 28 September 2018

ත්‍රිත්ව විදුහලේ කොටි කතා


ත්‍රිත්ව විදුහලේ කොටි කතා



අප ඉන්දීය කතාව අද කියන්නෙ නැහැ. මේ කොටි කතාවට ඉඩ දෙන්න වෙනව. ඒකෙත් ඉන්දියාව නැතිවා නො වෙයි.  මේ දිනවල නාමල් කියන පොලිස් ඔත්තුකාරයකු යැයි කියැවෙන පුද්ගලයකුට හරි වැඩ. ඔහු දිනපතා මෙන් ප්‍රවෘත්ති සාකච්ඡා වොයිස් කට් දෙමින් විවිධ කුමන්ත්‍රණ තොරතුරු හෙළි කරනවා. ඒ කතාවල ප්‍රතිඵලයක් හැටියට මා දන්න විධියට අත්අඩංගුවට ගෙන තියෙන්නෙ කවුද ඉන්දීය ජාතිකයකු පමණයි.  ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය වහාම මැදිහත් වෙලා ඒ ඉන්දිය ජාතිකයා මානසික ආබාධයකින් පෙළෙන බව කිව්වා. නාමල්වත් නාලකවත් වෙනත් අයකුවත් තවම අත්අඩංගුවට ගත් බවට ආරංචියක් නැහැ. නාමල් හා නාලක එකට හිටි බවක් තමයි පේන්න තියෙන්නෙ. ඔවුන් වෙන් වුණෙ  මොකද කියන එක පැහැදිලි නැහැ.




ඒ කොහොම වුණත් මේ ගේන්නෙ බරපතළ චෝදනා. රටේ ජනාධිපති ඝාතනය කරන්න, හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කරන්න සැලසුම් තිබුණා කියන්නෙ බරපතළ චෝදනා නොවෙයි නම් බරපතළ චෝදනා මොනවා ද? ඒ අතර පොලිස්පතිගෙ නමත් කියැවෙනවා. පූජිත හා නාලක හොඳ යහළුවන් කියල කියනවා. ඒකෙ නම් වරදක් නැහැ. වරද තියෙන්නෙ මේ සබඳකම් නිසා පරීක්‍ෂණ නියම ආකාරයෙන් පැවැත්වෙන්නෙ නැත්නම්.



මේ අතර පූජිත මහනුවර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න කාලෙ සිද්ධ වෙච්ච මුදල් ගණුදෙනුවක් ගැනත් කියැවෙනවා. එහෙත් කතාව හරියට කියවෙන්නෙ නැහැ. ඒකෙත් ජනාධිපති (මහින්ද) ඝාතන සැලසුමක් ගැනත් කියැවෙනවා. ඒකත් බරපතළයි ඒ්කට මොකද වුණේ. ඔය සිද්ධිය ගැන කිව්ව නිශාන්ත ද අල්විස්ට මොකද වුණෙ. ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වන්න දන්නෙ නැද්ද? ඒ සිද්ධියත් පූජිතට ම ලඝු කරන්න උත්සාහයක් තියෙනවා. පූජිත හැරෙන්න අනෙක් අයට මොක ද වුණෙ.



නිශාන්ත ද අල්විස්  මීට කලිනුත් මේ සිද්ධිය ගැන බොහෝ දේ කියා තියෙනවා. ඒත් එ ගැන එදත් සොයල බලල නැහැ. නිශාන්ත ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඔහුගේ චෝදනාත් බරපතළයි. ඔහු පූජිත ගැන කී දේට ජනමාධ්‍යයෙන් ප්‍රචාරයක් ලැබුණා. එහෙත් ත්‍රිත්ව විදුහලේ හිටපු විදහල්පතිවරයකු ගැන කී දේට ප්‍රසිද්ධියක් ලැබුණෙ නැහැ. පුදුමය හිටපු විදුහල්පතිට රටින් පැන යෑමට උපකාර කෙළේ යැයි පූජිතට මූල්‍ය චෝදනා ඉදිරිපත් වුණත් විදුහල්පතිට කිසිම චෝදනාවක් එල්ල නොවීමයි. මා පූජිත වෙනුවෙන් කතා කරනවා නො වෙයි. පූජිතට විරුද්ධ ව චෝදනා ගැන පරීක්‍ෂණ පවත්වන්න සිද්ධ වෙන්නෙ දැන් තියෙන විධියට නම් ඔහු විශ්‍රාම ගියාට පස්සෙ. පෙලීසිය ජනාධිපති යටතට ගෙන මේ ලොක්කන් නිවාඩු යවා පරීක්‍ෂණ ආරම්භ කිරීමට මෛත්‍රිපාලට පුළුවන් නම් හොඳයි.



නිශාන්තගෙ කතාව 2013 ඔක්තෝබර් මාසෙත් කියල තියෙනවා. දි අයිලන්ඩ් පුවත්පතේ
(http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=89586) ඒ පිළිබඳ  වාර්තාවකුත් තිබුණා. කතාව පටන් ගන්නෙ 2004 ජනවාරි මාසෙ. ත්‍රිත්ව විද්‍යාලයට රොඩ් ගිල්බර්ට් කියලා බිරිතානි ජාතිකයකු විදුහල්පති ලෙස පත් කෙරෙනෙවා. බොහෝ දෙනා සිතන්නෙ ගිල්බර්ට් සුද්දකු ය කියා. එහෙත් අයිලන්ඩ් වාර්තාව අනුව නම් ඔහු ඉන්දීය සම්භවයක් ඇති දෙමළ කතා කරන අයෙක්. එහෙත් ඔහු පෙනී සිට ඇත්තේ තමාට දෙමළ බැරි හැටියටයි. මේ කතාව දිග කතාවක්. ඒ සියල්ල මේ ලිපියේ කියන්න බැහැ. කිව්වත් වැඩක් වෙන්නෙ නැහැ. ආදි ශිෂ්‍යයන් හා ත්‍රිත්ව විද්‍යාලය පාලනය කර ලංකා සභාව (ඇංග්ලිකන් පල්ලිය) මට වඩා බෙහෙවින් බලවත්.



නිශාන්ත කියන කතාව අනුව ගිල්බර්ට් නැගෙනහිර පළාතට නිතර ආගිය කෙනෙක්. ඔහු රාත්‍රියේ ඒ පළාතට ගිහින් උදේට ආපසු ත්‍රිත්ව විද්‍යාලයට පැමිණීමට හැකියාව තිබූ අයෙක්. නිශාන්ත ඔහු ගැන චෝදනා රාශියක් කරනවා. ඔහුගේ කාලයේ දෙමළ රණ ගී ගැයු ශිෂ්‍යයන් ත්‍රිත්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හිටි බව, දෙමළ කතාකරන ගුරුවරියන් සේවකයන් යම් යම් ක්‍රියවලට මැදිහත් වූ බව,  2013 පමණ ත්‍රිත්ව විද්‍යාලයේ බාලදක්‍ෂ කාමරය අළුත්වැඩියා කිරීම, මුදල් ගණුදෙනු ආදිය ගැන විස්තරයක් නිශාන්ත කරනවා. මේ බාලදක්‍ෂ කාමරය පිහිටා ඇත්තේ මහනුවර ජනාධිපති නිල නිවසෙ අල්ලපු වැටේ. එහි සිට ඉලක්කයට ජනාධිපති නිල නිවසට වෙඩි තියන්නත් පුළුවන්. නිශාන්ත කියන විධියට පසුව ඒ කමරය කඩා දමා තිබෙනවා.



මේ කලබල චෝදනා අස්සේ ගිල්බර්ට්ට රටින් පැන යන්න උපකාර කිරීමයි පූජිතට තියෙන චෝදනාව. එහෙත් මේ පිළිබඳ තවත් ප්‍රශ්න මතුවෙනවා. පළමුවෙන් ගිල්බට් පත් කළ ත්‍රිත්ව පාලක මණ්ඩලයෙ සාමාජිකයන් කවු ද? ඔහුගේ පත්වීම වෙනුවෙන් පාලක මණ්ඩලයේ පෙනී සිටියවුන් කවුද? ගිල්බට් කොටි සමග පැවැත් වූ සම්බන්ධකම් පාලක මණ්ඩලය නොදැන සිටියේ ද? ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිකමට ලංකාවෙන්  සුදුසු අයකු සිටියේ නැත් ද? ගිල්බර්ට ලංකාවට පැමිණ ඇත්තේ චන්ද්‍රිකාගේ කාලයේ වුවත් ඔහු මහින්දගේ කාලයේ තමයි වැඩිපුර ත්‍රිත්ව විද්‍යාලයේ ගත කර ඇත්තේ. අර බාලදක්‍ෂ කාමරේ වැඩේ කවුරුවත් ඝාතනය කිරීමට ද? ඒ මහින්ද ද? මහින්ද ඒ ගැන සොයා බැලුවේ ද? පරීක්‍ෂණ කිසිවක් සිදු විණි ද? ගිල්බර්ට් රටින් පිට ව ගොස් තම පුතාගේ විවාහය සඳහා නැවත පැමිණියේ යැයි කියනවා. එයටත් පූජිත උදවු කළා ද?



මේ සම්බන්ධයෙන් පූජිත ගැන කියන්නේ මිලියන දොළහක කතාවක්. එහෙත් ගිල්බර්ට මිලියන දෙසීය ඉක්මවා ගණුදෙනු කළ බව කියනවා. ඒ මුදල් ත්‍රිත්ව විද්‍යාලයට ලැබුණේ කෙසේ ද? පාලක මණ්ඩලය ඒ ගණුදෙනු ගැන දැන සිටියේ ද? පාලක මණ්ඩලයේ අඩුම තරමෙන් බලය ලත් පුද්ගලයන් දෙදෙනකුගේ අත්සන් නොමැතිව චෙක්පත් ගණුදෙනු කළ හැකි ද?



මේ ප්‍රශ්න යට යන්නේ මොක ද? දෙමළ ත්‍රස්තවාදය මෙරට ම ඇති වූවක් නො වෙයි. මෙය අවුරුදු එකසිය හැත්තෑපහක පමණ කාලයක ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලත් දෙමළ ජාතිවාදයක ප්‍රතිඵලයක්. අදත් මෙරට දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නෙ එංගලන්තය හා ඉන්දියාව විසිනුයි. එහි දී විවිධ ක්‍රිස්තියානි සභාවල ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරන්න වෙනවා. විවිධ කතෝලික/ක්‍රිස්තියානි පූජකයන් කොටි සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට වාර්තා වෙනවා.   එහෙත් මේ එකක්වත් නිසි පරීක්‍ෂණයකට යොමු වන්නේ නැහැ. ඥානසාර හාමුදුරුවො නම් හිරේ. පඬියන් උන්වහන්සේට නිගා කළත් අර පූජකවරුන්ට විරුද්ධව කටක් හොල්ලන්නෙ නැහැ. පඬියන් කියන්නෙ බටහිර දැනුමේ කටු ලෙව කන අය පමණයි. ඔවුන් ඒ කටුවලින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා.



නිශාන්ත ද අල්විස් ගැන නැවතත් ආරංචියක් නැහැ. නාමල් නම් අර නිවේදකයන් කියන්න වගේ හැමදාම අප බලන්න එනවා.