Main Logo

Monday 10 September 2018

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල



කාලෙකට පස්සෙ ලංකාවෙ කණ්ඩායමක් ශූරතාව  දිනලා. ඒ දැල්පන්දු ක්‍රීඩාවෙන්. කණ්ඩායමේ හිටිය දෙමළ කතාකරන ක්‍රීඩිකාවක් ගැන බොහෝ දෙනා කතා කරනවා.  ඇයත් කණ්ඩායමත් ගැන අපට ආඩම්බරයක් තියෙනවා. එහෙත් ඒ ක්‍රීඩිකාවගේ නම කුමක් ද? එය සිංහලෙන් ලියැවෙන්නෙ තර්ජනී කියලා. එහෙම නමක් තියෙන්න පුළුවන් ද? ප්‍රංශ නම් හරියට උච්චාරණය කරන්න වෙහෙසෙන දෙමළ සිංහල භේදයක් ඇතිකිරීමට බටහිරයන්ගේ (ප්‍රංශ කාරයන්ගේ ද ඇතුලුව) ආධාරයෙන් හා අනුග්‍රහයෙන් කටයුතු කරන ඊනියා මානව හිතවාදීන් මේ නම උච්චාරණය කරන හැටි ප්‍රංශ කාරයකුගෙන්වත් අහගන්නෙ නැහැ. දෙමළ නම් ඉංගිරිසි අකුරෙන් ලියන්නෙ එක එක විධියට. අපට ඉස්සර ධර්මරත්නම් කියා ආචාර්යවරයෙක් හිටියා. ඔහුගේ නම ලිව්වෙ (Tharmaratnam) කියා. අරුල්ප්‍රගාසම් කියා පීඨාධිපතිවරයකුගෙ නම ලිව්වෙ (Arudpragasam) ලෙස. දෙමළ බසට ගරු කරනවා කියන පඬියන් ඒ බසට ප්‍රංශ බසට තරම් ගරු කරන්නෙ නැති බව පැහැදිලියි. දෙමළ න ල ෂ ශබ්ද කිහිපයක් තියෙනවා. ඒ ඉංගිරිසියෙන් (පඬි වීමට රෝම අකාරාදියෙන්)  ලියන ක්‍රම තියෙනවා. මා හිතන්නෙ මේ ක්‍රීඩිකාවගේ නම දර්ශනී කියලා. මා වැරදි වෙන්න පුළුවන්. දන්න කෙනෙක් කියන්න.




මේ අතර නාමල් රාජපක්‍ෂට ජනමාධ්‍ය තැනක් ලබා දෙනවා. ඊයේ දෙරණ මොකද වුණෙ වැඩ සටහනට ඔහු පැමිණියෙ පූර්ව ප්‍රචාරයකින්  පසුව. ඔහුටත් අනුව ආණ්ඩුව පෙරලීමේ අවශ්‍යතාවක් තිබිලා නැහැ. ඔවුන් දැන් දන්න පාටයි උද්ඝෝෂණ මගින් ජනවල මගින් පමණක් ආණ්ඩු පෙරලන්න බැරි බව. සමහරු දැන් ව්‍යවස්ථාව ගැන කතා කරනවා. ඒක හොඳයි විස්ස පරද්දන්න සූදානම් වෙන්න. එහෙත් නාමල් ඩලස්ට එහා ගිහින්. නාමලුත් කියනවා මැදියම් රෑ පහන් වුණා කියා. මෙහි දී අඩුතරමෙන් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. මැදියම් රැයේ පහන් වෙනවා නම් පාන්දර කීයට ද? පහන් වෙනවා එළිය වැටෙනවා වගේ වචන අප යොදාගන්නවා. පාන්දර වෙන්නෙ එළිය වැටෙන්න ඉස්සර. දැන් එළිිය (සංවිධානය) වැටිල ද? අනෙක අප කලිනුත් අසා ඇති. ආණ්ඩු පෙරලන්නත් නොවෙයි නම් ජනතාව මැදියම් රැය වන තුරු වැසිකිළි කැසිකිළි පහසුකම් නැතිව තබා ගත්තේ අහවල් දේකට ද?



මේ කලබල අස්සෙ මෛත්‍රිපාල සිරිසේන හොඳ කතාවක් කරලා තිබුණා. මෛත්‍රිපාල හොඳ කතාවක් කළා කිව්ව ගමන ඇතැම් මහින්දවාදීන් භුමිතෙල් වැදුණු ගැරඬින් වෙනවා. මෛත්‍රිපාල කියා තිබුණෙ ඔවුන් නැතිව එ ජා පක්‍ෂයටවත් පොහොට්ටුවටවත් ආණ්ඩු හදන්න බැහැ කියලා. ඔහු තවදුරටත් කියල තිබුණ  පෙබරවාරි ඡන්දය පාර්ලිමේන්තු මැතිවරණයක් වුණා නම් පොහොට්ටුවට ලැබෙන්නෙ ආසන 102ක් පමණයි කියා. එසේ ගණන් බැලීම නිවැරදිය කියා මා කියන්නේ නැහැ. ඒ ඒ මැතිවරණවලදි මිනිසුන් ඡන්දය දෙන විධිය වෙනස් වෙන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාල කියන කතාව ඡන්ද ගැන හිතන්නන්ට වැදගත් වේවි. මා නම් තවමත් ඡන්ද ගැන හිතන්නෙ නැහැ. මා හිතන්නෙ ඡන්දයක් ගැනීමට වුවත් රනිල් ඉවත් කරන්නෙ කොහොමද කියන එකයි. බොහෝ දෙනා නොහිතන්නෙත් එයයි.



මෛත්‍රිපාල ඡන්ද කාරයන්ට තවත් කතාවක් කිව්ව. දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ වැදගත් ජනාධිපති නොව අගමැති කියලා. බැරි වෙලාවත් විස්ස සම්මත වුවහොත් එය තවත් බරපතල වේවි. ඒ විතරක් නොවෙයි රට බෙදීමටත් තුඩු දේවි. විස්ස තමයි නව ව්‍යවස්ථාව. එය නව ව්‍යවස්ථාව බවට සංශෝධන මගින් පත් කර ගනීවි. විස්ස මගින් මහා සංඝයාට විරුද්ධව ජ වි පෙ රනිල්ට ජයම්පතිට හා සුමන්තිරන්ට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උදව් වෙනවා. හාමුදුරුවරුන් ඝාතනය කළ ජ වි පෙරමුණට මෙය කජ්ජක් ද? 



මින් පසු අගමැති වැදගත් වන බව කී මෛත්‍රිපාල එබැවින් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී අගමැති ධුරයට (පාර්ලිමේන්තු මැතිවරණයට) ඉදිරිපත් වන බවක් කිව්වෙ නැහැ. මෛත්‍රිපාල ඒ වෙනුවට අගමැති ධුරයට සුදුසු තැනැත්තා සතු විය යුතු ගුණාංග කිහිපයක් කිව්වා. ඒ අතර රටට ආදරය කිරීම, දේශීයත්වය ඇගයීම, සංස්කෘතියට වටිනාකමක් දීම, ඉතිහාසය සමග වගකීම් දැනගැනීම, අවංක වීම, දූෂණයෙන් වංචාවෙන් තොරවීම ද වුණා. වත්මන් අගමැතිට මේ සුදුසුකම්වලින් කීයක් තියෙනවා ද? එකක්වත් තියෙනවා ද? නැත්නම් මෛත්‍රිපාල කළ යුත්තේ කුමක් ද? මේ සුදුසුකම් තිබිය යුතු ය කියා ව්‍යවස්ථාවේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථානුකුලව ඒ නිර්ණායක මත පිහිටා කටයුතු කරන්න මෛත්‍රිපාලට බැහැ.



එහෙත් මෛත්‍රිපාලට ව්‍යවස්ථාවෙන් බලතල තියෙනවා වෙනත් අගමැතිවරයකු පත් කර ගැනීමට. ඒ සඳහා මීළඟ මැතිවරණය වෙනකන් ඉන්න ඕන නැහැ. ඒ ඉහත කී නිර්ණායක අනුව නොවුණත් මෛත්‍රිපාලට ඒ ගැණත් සලකා බලන්න පුළුවන්. මූලික වශයෙන් තියෙන්න ඕන ජනාධිපති මතය අනුව අගමැති වන තැනැත්තාට බහුතරයක් මන්ත්‍රීන් ඉන්න බව. ඒ ජනාධිපති මතය බව අවධාරණය කරන්න ඕන.  ඉහත කී නිර්ණායක සියල්ල නැති වුවත් ඉන් යම් ප්‍රමාණයකට වඩා තියෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.



නිර්ණායක යම් ප්‍රමාණයකුත් තියෙන ජනාධිපති මතය අනුව මන්ත්‍රීන් වැඩි සංඛ්‍යාවක් ඉන්න තැනැත්තන් කවුද කියන එක මෛත්‍රිපාල ම තීරණය කරන්න ඕන. අද පඬියන් කියන්නෙ මෛත්‍රිපාල විශ්වාස නැති බවයි. මට නම් කිසිම දේශපාලනඥයකු විශ්වාස නැහැ.  කළ යුත්තේ කුමක් ද කියන එක අප අවුරුදු කිහිපයක් තිස්සේ කියනවා. ප්‍රමාද වුවොත් විස්සත් (නව ව්‍යවස්ථාව) සම්මත කරගෙන රනිල් 2024 දක්වා ම මැතිවරණත් නොමැතිව අගමැති ව ඉන්න පුළුවන්.