Main Logo

Monday 10 January 2022

අනේ මගෙ කට

 

අනේ මගෙ කට

 

චීන විදේශ කටයුතු පිලිබඳ ඇමති ඇවිත් ගියා. ඔහු දවස් දෙකකින් සියල්ල නිම කළ විශ්වකර්මයකු නො වෙයි. විශ්වකර්මලා ඉන්නේ ලංකාවේ. මා හිතන්නේ මාස ගණනාවක සාකච්ඡා යම් ආකාරයක කුළු ගැන්වීමක් තමයි ඊයේ පෙරේදා සිදු වුණෙ. අද අප ඉන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ලෝක අමාරුවක. මේ අමාරුව මේ ආණ්ඩුවේ නිර්මාණයක් යැයි කීමට සජිත් චම්පක රනිල්දාස බලකායන් පමණක් නොව මෛත්‍රිපාල බලකාය ද සූදානම්. එහෙත් මෙය ඒ සියල්ලන්ගේමත් රාජපක්‍ෂ ආණ්ඩුවලත් අමනොඥ ක්‍රියා නිසා ඇති වූවක්. සිංහලයන් වරද අනෙක් අය පිට පැටවීමේ උපන් හපන්නු.

 

මා ලිපිවලින් උත්සාහ කෙළේ මෙය සියල්ලන්ගේ ම වරදක් බව පෙන්වීමට. එහෙත් මුහුණු පොතේ පඬියන් පඬි නැට්ටන් එයට කැමති නැහැ.  සජිත් චම්පක රනිල්දාස පඬි නැට්ටන්ට අවශ්‍ය සියල්ල ගෝඨාභය ආණ්ඩුවට පැටවීමට. ඊයේ ලිපියට දැක්වූ ප්‍රතිචාර තුනක් මෙසේයි. ඔවුන්ගේ පිටුවලට ගියොත් ඔවුන් කවුදැයි දැනගන්න පුළුවන්.

 

Sameera Pushpa Kumara

අවුලක් නෑ 69 ලක්ෂෙ කැප කිරීම් කරන්න සූදානම්

"අපි කතිරෙ ගැහුවේ බඩ ගැන හිතලා නෙවෙයි රට ගැන හිතලා"  Music...

 

Maduranga Sumedha

රට මේ ආකාරයේ අර්බුදයක හිරකර ඇති රාජපක්ෂලා බේරාගනිමින්, අනෙකුත් නිදහසෙන් පසු රට කරවූ සියලුම නායකයන්ට පහර ගසමින්, මෙතුමා පල කරන මෙම සටහන්, අති විශිෂ්ටයි.. ඔබතුමාට මෙම කාර්ය දිගටම කරගෙන යාමට වාසනාව ලැබේවා..

 

නූතන වාදියා

 

සර් දැන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය එහෙම තියෙනවැයි?”

 

මේ අය ප්‍රතිචාර දක්වා තියෙන්නේ ලිපියට නො වෙයි. මොවුන් ඉහළ පෙළේ උගතුන් වෙන්න ඕන. නැත්නම් රාජපක්‍ෂලා ගැන මෙතරම් දන්නේ කෙසේ ? මා ජනාධිපති ගෝඨාභය තුන්හතර වතාවකට වඩා මුණ ගැසී නැහැ. චමල්, මහින්ද, බැසිල් එකිනෙකා වෙන වෙන ම ගත්තත් එයට වඩා හමුවෙලා තියෙනවා. ඊයේ ලිපියේත් රාජපක්‍ෂලා ගැන විවේචනයක් තියෙනවා. පඬි නැට්ටන්ට තියෙන ප්‍රශ්නය වරද රාජපක්‍ෂලාට පමණක් පටවන්නේ නැති කම.

 

මා ලිපි ලියන්නේ ජනතාවට සේවය කිරීම සඳහා නම් නොවෙයි. මා ඊනියා ජනතා සේවකයෙක් නො වෙයි. මගේ කාර්යය මා දිගට ම කර ගෙන යනවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට යට නොවීමට හා ඇත්තේ බටහිර නූතනත්ව දැනුම් පද්ධතිය පමණක් නොවන බව තව තවත් නිරවුල් ව දැන ගැනීමට. නිර්මාණාත්මක සාපේක්‍ෂතාව වර්ධනය කිරීමට.  මේ ලිපිවලින් සේවයක් වන්නේ මට ම පමණක් බව නූතනවාදියා කියන දෙයිනුත් පැහැදිලි වෙනවා. අන් අයට ලිපිවලින් තඹේක වැඩක් සිදු වී නැහැ. ඒත් සමහර පඬි නැට්ටන් හිතනවා මගේ ගෝලයන් ඉන්නවා කියා. මගේ කිසිදු ගෝලයෙක් නැහැ. මා සමග වැඩ කළ බොහෝ දෙනා දැන් මගෙන් ඈත්වෙලා. චම්පක ගෙවිඳු ආදීන් ද එක් කලෙක චින්තන පර්ෂදයෙහි හිටියා. පළමු සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන්. උන්වහන්සේ පඬි රුවනක්. සාධාරණ  සමාජයක් හදන්න වැඩියා.

 

චින්තන පර්ෂදයේ වත්මන් සභාපති බෙංගමුවේ නාලක හිමියන්. උන්වහන්සේ හා මා දේශපාලන වශයෙන් එකඟ නැහැ. භාණ්ඩාගාරිකතුමා ගැනත් කියන්න ඇත්තේ එයමයි. ජාතිකවාදීන්ගෙන් අතිවිශාල බහුතරය මට විරුද්ධයි. මා ගුණදාස අමරසේකරගේ ඊනියා ජාතික චින්තනයේ නැහැ. ජාතික චින්තනය කියන්නේ සංකල්පයක් නොවෙයි. එය අමරසේකර බටහිරින් අහුල ගත්ත විසිරුණු අදහසක්. එයට කලින් හරිෂ්චන්ද්‍ර විජේතුංග කුලියාපිටියෙ ප්‍රනන්ද හා තවත් අය ජාතික චින්තනය යන්න යොදා ගෙන තියෙනවා. එහෙත් ඉන් අදහස් කෙළේ කුමක් දැයි ඔවුන් නිරවුල් ව කියා නැහැ. සමහර ජාතිකවාදීන් මාක්ස්වාදය සමග බැඳිලා. අමරසේකරත් එහෙමයි. මා කසිකබල් මාක්ස්වාදයෙන් කැඩිලා අවුරුදු හතළිහකට වැඩියි. බටහිර විද්‍යාවෙන් ද කැඩිල අවුරුදු තිස්පහකට වැඩියි. විජේවීරවත් ඔහුගේ පුතාවත් මගේ ගෞරවයට පාත්‍ර වන්නේ නැහැ. ශ්‍රී ල නි ප යමපාලනයට ගියාට පස්සෙ මෙරට ජාතිකත්වයේ පක්‍ෂයක් නැහැ. පොහොට්ටුව පක්‍ෂයක්වත් නො වෙයි. එය බැසිල් රාජපක්‍ෂගේ ඒකාධිකාරයක් පමණයි.

 

මා විද්‍යාඥයෙක් නොවන බව නැවත නැවතත් කියන්න ඕන. මෙරට ජාතික විද්‍යා ඇකඩමිය (National Academy of Science) කියා ආයතනයක් තියෙනවා. මෙරට ඉහළ ම විද්‍යාඥයන් එහි අධිසාමාජිකයන් (Fellows). ඔවුන් කිසි දිනෙක මා එහි අධිසාමාජිකයකු කර ගන්නේ නැහැ. මා අඩු තරමෙන් සම්මානිත මහාචාර්යවරයකුවත් නො වෙයි. මා මහාචාර්යවරයකු වුණෙ අවුරුදු හැටත් පැන්නට පස්සෙ. අවුරුදු තිහෙන් තිස්පහෙන් මහාචාර්යවරුන් වෙන අතිදක්‍ෂයන් ඉන්නවා. මා දක්‍ෂයකු නොවෙයි.

 

මා කියන කිසි දෙයක් මෙරට උගතුන් තඹේකට මායිම් කරන්නෙ නැහැ. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ඔවුන්ට විහිළුවක් පමණයි. මගේ ලෝකය ගැන කිසිවකු හොඳක් කියා නැහැ. අර එක්නැලිගොඩ පමණක් එයට විරුද්ධ ව වල්පල් ලිවුවා. ඔහු ක්වොන්ටම් ජාගොඩටත් වඩා ක්වොන්ටම් භෞතිකය දැන හිටියා.  පහුගිය දා මා කළුකුහර ගැන කී දේ ඔවුන් සතපහකට මායිම් කෙළේ නැහැ. භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටින අයකු ඒ ගැන තිත්ත කුණුහරුපයක් නම් ලිය තිබුණා.

 

මා ඊට කලින් අඳුරු ද්‍රව්‍ය (Dark Matter) අඳුරු ශක්තිය (Dark Energy) දෝලක විශ්වය (Oscillating Universe) ගැන කී කිසි දෙයක් මෙරට විද්‍යාඥයන් සැලකිල්ලට ගත්තෙ නැහැ. මා එහි දී යොදා ගත්තෙ බෞද්ධ සංකල්පයක් ද වන ආකාශ ධාතුව යන්න. මා සඳහන් කෙළේ ආකාශ ධාතුව ද පංච මහා භූතයන්ගෙන් එකක් ලෙස සලකා ආකාශය ද ද්‍රව්‍යයට හරවන්න පුළුවන් බවයීි.  බටහිරයන් හතර මහා භූතයන්ට සීමාවෙනවා. නිවුටන්ට අවකාශය දී ඇති දෙයක් වුණා. අයින්ස්ටයින්ට අවකාශය (අවකාශ කාලය) ද්‍රව්‍යයෙන් හා විකිරණයෙන් නිර්ණය වන දෙයක්. මා කීවේ අවකාශයත් ද්‍රව්‍ය හා විකිරණ වැනි ම දෙයක් බවත් ඒ එකිනෙකට පරිවර්තනය කරන්න පුළුවන් බවත්. එහි දී මා අයින්ස්ටයින්ගේ ක්‍ෂෙත්‍ර සමීකරණ සුළු වශයෙන් සංශෝධනය කෙරුවා. මා නිවුටන් හා අයින්ස්ටයින් සමග එක ම මට්ටමක ඉන්නවා නොවෙයි. විද්‍යාඥයකු නොවූ මට වඩා දක්‍ෂයන් දහසක් ලංකාවෙන් ම වුණත් හොයා ගන්න පුළුවන්. ආකාශය ගැන යමකුට රාහුලාවොද සූත්‍රය කියවා දැන ගන්න පුළුවන්. මා බටහිර විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කරන්නේ කෙසේ ද යන්න ගැන කල්පනා කරනවා.

 

මෙරට උගතුන් මා කියන දේ නොසලකා හරින්නේ ඒ කතා බටහිරයන් නොකියන නිසා බව පැහැදිලියි. අද ඇති ආර්ථික අර්බුදය ගැනත් මට කියන්න ඇත්තෙ වෙන ම කතාවක්. පඬි නැට්ටන් මා නුරුස්සන්නේ එබැවිනුයි. අද ඇති අර්බුදය රාජපක්‍ෂලා ඇති කළ එකක් බව කියන්න බටහිරයන්ට අවශ්‍යයි. එහෙත් එය කාලයක් තිස්සේ පැවත එන්නක්. වත්මනෙහි මෙරට ජාතික ආදායමෙන් 90%ක් පමණ රාජ්‍ය සේවයේ පඩිනඩි විශ්‍රාම වැටුප් ආදිය සඳහා යනවා. ණය ගෙවීම්වලට 70%ක් පමණ යනවා. එතන ම 160%ක්. එතකොට ආනයන. හරිහමන් නිෂ්පාදනයක් නොකරන අපි තව තවත් ණය ගන්නවා හැරෙන්න මුදල් අච්චු ගහනවා හැරෙන්න වෙන කුමක් කරන්න ද? මේ අර්බුදය ගෝඨාභය රාජපක්‍ෂ ඇති කළ එකක් නොවෙයි. එහෙත් ඔහු ද ණය අරන් තියෙනවා. අද ප්‍රශ්නය වී ඇත්තේ බටහිරයන් අප මට්ටු කිරීමට ණය නොදී ඉඳීම. සජිත් ආවොත් ණය දේවි.

 

ඒත් කොන්ද්සි සහිතව. ප්‍රධාන ම කොන්දේසිය රුපියල පා කිරීමවත් රාජ්‍ය සේවය කප්පාදු කිරීමවත් නො වෙයි. ඒවත් කොන්දේසි තමයි. එහෙත් ප්‍රධාන ම කොන්දේසිය චීනය සමග ගණුදෙනු නැවැත්වීම. බටහිරයන් අප මට්ටු කරන්නේ අප චීනය සමග සම්බන්ධකම් අත්හැර මුළුමනින් ම තමන් සමග නොසිටීම නිසා. මේ තමයි බටහිරයන්ගෙ ලංකා වසන්තය.  මෙය බටහිරයන්වත් ඔවුන්ගේ මෙරට ඒජන්තයන් වූ ඊනියා උගතුන්වත් කියන දෙයක් නො වෙයි. ඊනියා උගතුන් දන්නේ බටහිරත් ජාමූලෙත් (IMF) සමග කතා කර ණය ගෙවීම් කල්දාගැනීමත් බටහිරින් තව ණය ගන්න කීමත් පමණයි.

 

මා චීන ගැත්තෙක් නො වෙයි. අප ඉන්දියාව හා බටහිර එක්ක වගේ ම චීනය සමගත් ගණුදෙනු කරන්න ඕන. චීන විදේශ ඇමතිගෙ ලංකා සංචාරය වැදගත් වන්නේ එබැවිනුයි. චීනය විශාල වෙළෙඳපොළක්. අප ඒ වෙළෙඳපොළටත් එක්ක නිෂ්පදනය කරන්න ඕන. හැකි නම් චීනයට ඇති ණය ගෙවීම කල්දාගන්න ඕන. ඒ සියල්ලටමත් වඩා චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් (FTA) අත්සන් කරන්න ඕන. එවැනි ගිවිසුමක් ගැන සාකච්ඡා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙ පටන් ගත්ත. පුරසාරම් කියන මෛත්‍රිපාලගෙ යමපාලන ආණ්ඩුව ඒ සාකච්ඡා අත්හැරියා. ඒ රනිල්ලගෙ රනිල්දාසලගෙ අවශ්‍යතාවට. මෛත්‍රිපාල ඒවට ඉඩ දුන්නා. ඒ සාකච්ඡා වහාම යළි ආරම්භ කරන්න ඕන.

 

ඒත් මා කියන දෙයක් අහන්නෙ කවුද? මා මේවා ලියන්නෙ කවුරුන්වත් ඒවට ඇහුම්කන් දේවි කියන  බලාපොරොත්තුවකින් නො වෙයි. මගේ අදහස් නිරවුල් කර ගැනීමට පමණයි. වරක් රාමනුජන් එංගලන්තෙටට ගෙන්වා ගත් හාඩි ශුද්ධ ගණිතයට සව්දිය පුරමින් කිවුවලු ශුද්ධ ගණිතය කිසිවකුට ප්‍රයෝජනයක් නො වේවා කියා. මට නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ගැන එහෙම කියන්න අවශ්‍ය නැහැ. ඉන් අන්කිසිවකුට කිසිම ප්‍රයෝජනයක් නැහැ.  රටට සසුනට දෙයියන්ගෙ පිහිටයි. ආකාසට්ඨාච භුම්මට්ඨා ……  .. .. ..