Main Logo

Saturday 15 January 2022

කාදිනල්තුමාගේ හා තවත් අයගේ දේශපාලනය

 

කාදිනල්තුමාගේ හා තවත් අයගේ දේශපාලනය


වහාබ්වාදය හා ෆට්වා ගැන ලියන්න බොහෝ දේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති චන්න ජයසුමන අධිකරණ ඇමති අලි සබ්‍රිට ලිපියක් ද යවා තියෙනවා. ෆට්වා පැනවීම යුක්ති යුක්ත කරන පනතක් චන්ද්‍රිකාගෙ ආණ්ඩුව 2000දි සම්මත කර තිබෙනවා. ඒ අනුව ඇතැම් සුෆී මුස්ලිම් බැතිමතුන්ට වහාබ්වාදීන්ගෙන් තර්ජන එල්ල වී තියෙනවා. මේ පිළිබඳ ව සවිස්තරාත්මක ව පසුව ලියන්න ඕන. අවුරුදු හතළිස්දෙකක් තිස්සේ සුෆීවරුන් වහාබ්වාදීන්ගෙන් පීඩා විඳිනවා. 

 

දෙරණ අරුණ අද මුරුත්තෙට්ටුවෙ හිමියන්ගේ උපහාර උත්සවය ගැන කිවුවා. ප්‍රමාද වී නමුත් එය කෙළේ ලංකාදීප පුවතක් උපුටා දක්වමින්. දෙරණ තම ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් ඒ ගැන සඳහන් කෙළේ නැහැ. ඔවුන් ජනාධිපති විරෝධී ප්‍රචාරයක් ගෙනියන බවක් පේනවා. ඔවුන්ගෙන් වැඩි දෙනකු ඉහළ ගණයේ විද්‍යාඥයන්. ඔවුන් වැඩ කරන්නේ විිද්‍යාත්මක ව. මා නම් විද්‍යාඥයකු නොවන බව නැවත නැවතත් කියන්න වෙන්නේ මෙවැනි කරුණු නිසා.දෙරණ හා අරුණ මාධ්‍ය ප්‍රතිපත්තිය ගැන මගේ කළකිරීම  එන්න එන්න වැඩි වෙනවා. ඒ සම්බන්ධයෙන් වග කිවයුත්තන්ට දන්වා ඇති නමුත් ඔවුන් පිළියමක් යොදන්නේ නැහැ. ඔවුන් දැන් මට කතා කරන්නවත් කැමති නැහැ. දෙරණ මාධ්‍ය ජාලයේ ම වරුණි අමුණුගම දෙරණ ප්‍රවෘත්ති නරඹන්නේ නැතැයි කීම සුළුකොට තකන්න බැහැ. මා දන්නේ නැහැ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දෙරණ ප්‍රවෘත්ති නරඹනවා ද කියා.

 

ඊයේ දුම්රිය ස්ථානාධිපතිවරු නැවත වරක් ක්‍ෂණික වැඩ වර්ජනයක් කළා.  සමහර දුම්රිය අතරමග නතරකර යෑමට දුම්රිය රියැදුරන් කටයුතු කළා. මෙය මගීන්ට කරන විශාල අකටයුත්තක්. දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රියක් නතර කර ගියාට පසු මගීන් කරන්නේ කුමක් ද? දුම්රිය සේවකයන් දැන හෝ නොදැන හෝ බටහිරයන්ගේ ලංකා වසන්තයේ ඉත්තන් බවට පත්වෙලා. මට තේරෙන විධියට ප්‍රශ්නය ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා සාමාන්‍යාධිකාරි අතරයි. යමකුගේ වැඩ තහනම් කිරීමේ දී ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. එමෙන් ම වැඩ වර්ජනයක් කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළක් ද තියෙනවා. දුම්රිය සේවයේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තැපැල් සේවයේ ආදී තැන්වල වැඩ වර්ජනවලින් බැට කන්නේ සාමාන්‍ය ජනයා. මේ වැඩ වර්ජනවල දී කෙරෙන්නේ සාමාන්‍ය ජනයා බිල්ලට දීමයි. සියලු සාකච්ඡා බිඳ වැටීමෙන් පසු වැඩ වර්ජනයක් කරන විට සති දෙකක්වත් කල් දිය යුතු යැයි කියා මා සිතනවා.

 

ඊයේ කාදිනල්තුමාත් නැවත කරළියට ආවා. පාස්කු ප්‍රහාරයට හරියට ම දින දාහක් පිරෙන විට බොරැල්ලේ  සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තියලා.මා ඒ දේවස්ථානයට ගිහින් තියෙනවා විවාහ මංගල උත්සවයකට.  පොලීසිය බෝම්බය සම්බන්ධයෙන් පල්ලියේ වැඩ කරන කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන. කාදිනල්තුමා ඒ ගැන වෙනත් කතාවක් කියනවා. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ පටන් ගත්තා පමණයි. අත්අඩංගුවට පත් අයකු කරන ලදැයි කියන ප්‍රකාශයක් පොලීසිය විසින් ලියවා ගන්නා ලද එකක් බවට කාදිනල්තුමා සැක පහළ කරනවා. කාදිනල්තුමා අදාළ ප්‍රකාශය ගැන එතරම් කලබල වන්නේ ඇයි? කාදිනල්තුමා නැවතත් මහමොළකරු ඉල්ලනවා. රනිල්දාසත් කාදිනල්තුමා සමග පෙළ ගැහිලා.

 

බෝම්බය ගැන කාදිනල්තුමා කළ යුත්තේ තමා දන්නා තොරතුරු පොලීසියට කීම මිස සිද්ධියෙන් පැය විසිහතරක් යෑමටත් පෙර  මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නො වෙයි. කලකට පෙර මෙරට ඇංග්ලිකන් සභාවේ හෙවත් ලංකා සභාවේ මගේ මිතුරකු කීවේ කාදිනල්තුමා දේශපාලනය කරන බවයි. ටික කලකට පෙර කාදිනල්තුමා බෞද්ධ සංස්කෘතිය අගය කළා. ඇතැම් ගිහියන් පමණක් නොව භික්‍ෂූන් වහන්සේ ද ඉන් එතුමා කෙරෙහි ප්‍රසාදයක් ඇති කර ගත්තා. එහෙත් කාදිනල්තුමා ගැන අප විමසිලි වූයේ එතුමා රත්නපුරයේ බිෂොප් පදවියට පත්වීමටත් පෙර.

 

ඊයේ කාදිනල්තුමා කියා සිටියේ පාස්කු ප්‍රහාරය ඡන්දය ගැනීම සඳහා කළ වැඩක් බවත්. ඡන්දය ලබා ගත්තේ කවුද කාගේ ද? ගෝඨාභය ද සජිත් ද?  මුස්ලිම් ජනයාගේ ද කතෝලික ජනයාගේ ද? කාදිනල්තුමා තමා දන්නා දෙයක් පොලීසියට අපරාධ විමර්ෂණ කොට්ඨාසයට කියන්න ඕනෙ. බෞද්ධ සංස්කෘතිය අගය කරන ගමන් කාදිනල්තුමා බෞද්ධ නායකයන් කෙරෙහි කතෝලික ජනයා කලකරවීමට ක්‍රියා කරනවා ද? කාදිනල්තුමාගේ දේශපාලනය කුමක් ද? මේ  ජනාධිපති විරෝධී ලංකා වසන්තයේ තවත් පියවරක් ද? කාදිනල්තුමාගේ අභිප්‍රාය කාගේ කෝට් එක ගැලවීම ද? එතුමා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය ගැන ආබාධයට ලක් වූ අය ගැන දුක් වෙනවා. අපත් දුක් වෙනවා. ඒ අතර අප නම් කොටි බෝම්බවලින් මියගිය අය ගැනත් ආබාධයට ලක් වූ අය ගැනත් දුක් වෙනවා. ඒ දිනවල ඇතැම් බිෂොප්වරු පූජකවරු කළ දේශපාලනය අපට අමතක වී නැහැ.     

 

මේ අතර පෙරේදා ජනාධිපතිතුමා ලිත්‍රො සමාගමේ සභාපතිතුමා පැය කිහිපයක අස් කිරීමකින් පසු නැවත සේවයේ පිහිටුවලා. එය අගය කළ යුතුයි. සභාපතිතුමා අස්කිරීමේ ලිපිය අත්සන් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ දී මගෙන් ද ඉගෙන ගත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්  එස් ආර් ආටිගල. ඔහුට එවැනි දේ කිරීමට මා නම් උගන්වලා නැහැ. ලිත්‍රො ගෑස් සම්බන්ධයෙන් සිදු වී ඇති දේ ගැන පුළුල් පරීක්‍ෂණයක් කරන්න ඕන. ගෑස් සංයුතිය වෙනස් කෙළේ කවු ද? එයට වග කියන්න ඕන කවුද?

 

ජනාධිපතිතුමා පොහොට්ටුවෙන් තරග කරන්න ඇති. ඒත් එතුමා දිනුවේ ඒ නිසා නො වෙයි. ඒ අවස්ථාවේ මෙරට ජාතික බලවේග ඉතා ශක්තිමත්. ඒ ජයග්‍රහණය ජාතික බලවේගවල ජයග්‍රහණයක්. එතුමා ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කෙරුණෙත් ජාතික බලවේග මගින් මිස පොහොට්ටුවෙන් නො වෙයි. පොහොට්ටුවේ බලවතුන් එයට විරුද්ධ වුණා. පොහොට්ටුව ජාතිකත්වයේ පක්‍ෂයක් නොවීත් ජයගත්තේ ජාතික බලවේගවල ශක්තියෙන්. එහි දී ජාතික බලවේග සහාය දුන්නේ එක් පක්‍ෂයකට නොව සංධානයකට. ඒ සංධානය එදා ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් පදනම් ආයතනයේ දී පිහිටුවා ගනු ලැබුවා. ජනාධිපතිතුමා සංධානය කැඳවා එහි නායකත්වය ගෙන  එය සංවිධිිත ආකාරයකින් පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතු ය කියා මා යෝජනා කරනවා.