Main Logo

Monday 3 January 2022

ගෝඨාභය හා හාමුදුරුවෝ

 

ගෝඨාභය හා හාමුදුරුවෝ

 

ඊයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ගෞරවනීය නාමයක් ප බැන්දා. මට වැදගත් වන්නේ පටබැඳි නාමය නො වෙයි. කවුරු හරි කියන්න බැරි නැහැ මට කිසිවකු කිසිම සම්මානයක්, අඩු තරමින් සම්මානිත මහාචාර්ය ධුරයක්වත් ලැබී නැති නිසා ඊර්ෂ්‍යාවට එසේ කියනවා කියා. ඉස්සර එංගලන්තයේ රජු හරි රැජන හරි පිරිනමපු ඊනියා නම්බු නාම මෙරට මහ ඉහළින් සැලකුණා. මාර්ටින් වික්‍රමසිංහටත් එවැනි නම්බු නාමයක් ලබුණා ඔහු එය පිළිගත්තා. මෙරට කී දෙනකුට පිලිපීනයෙන් පිරිනමන මැග්සේසේ ත්‍යාගය ලැබිල තියෙනවා ද? අමරදේව එම ත්‍යාගය ලබා ගැනීම හා සම්බන්ධ ව මහ සඟ ගණ කර ඇත්තේ කුමක් ද කියා ඇසුවා.  මියන්මා රජයෙන් පිරිනැමෙන නොයෙකුත් අභිධාන මෙරට ගෞරවයට පාත්‍ර වෙනවා. මා එහි සිටි සුළු කාලයෙහි එරට වැසියන්ට එකී අභිධාන ප්‍රදානය කෙරෙන ආකාරය ගැන දැන ගන්නට ලැබුණා.  එය එතරම් ප්‍රසාදයට හේතු වන්නක් නො වෙයි.

 

මට වැදගත් වන්නේ කෝට්ටේ පැවති උත්සවයේ දී මහා සංඝයා වහන්සේ කළ ප්‍රකාශ. මේ සංඝ සභාව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ද  සංඝ සභාව බව මා මතක් කරන්නේ ඊනියා සාධාරණ සමාජ වාසීන්ගේ ද දැන ගැනීම සඳහා. මේ සංඝ සභාවේ මහානායක ධුරය උසුලන්නේ ඉත්තැපානේ ධම්මාලංකාර හිමියන්. චන්ද්‍රිකාගේ ආණ්ඩුව තිබූ කාලයේ සෝභිත හාමුදුරුවන් ඉත්තැපානෙ හාමුදුරුවන් බෙංගමුවේ නාලක හාමුදුරුවන් සමග මා ද ජාතික ඒකාබද්ධ කමිටුවේ කටයුතු කළා. ඕමාරේ කස්සප හිමියන් ද (අද අනුනායක හිමි නමක්) එහි කටයුතු කළා.

 

ඒකාබද්ධ කමිටුව විසින් පත්කරන ලද සිංහල සභාවක් මගින් රට පුරා ගොස් සාක්‍ෂි විභාග කර නිකුත් කළ වාර්තාවේ පළාත් සභා නිර්දේශ කර තිබුණා. ඒ කමිටුව සමස්තයක් ලෙස ගත් කල චන්ද්‍රිකා විරෝධී කමිටුවක් මිස ජාතික කමිටුවක් වුණේ නැහැ. සාක්‍ෂි විභාග කළ සභාවේ හර්ෂ ද සිල්වාගේ පියා හරිශ්චන්ද්‍ර ද සිල්වා හෙවත් හැරිස් ද සිල්වාත් හිටියා. හැරිස් සිල්වා මට විරුද්ධ ව ඊනියා චෝදනා විභාග කිරීමට ජී එල් පිරිස් පත්කළ ගෘහස්ථ පරීෂණ මණ්ඩලයේ සභාපති. කොහොම නමුත් අර කමිටු වාර්තාවට නාලක හිමියන් කස්සප හිමියන් හා මා විරුද්ධ වුණා. ජාතික ඒකාබද්ධ කමිටුව උන්වහන්සේලාත් මාත් නෙරපා හැරියා. ගුණදාස අමරසේකර ඇතුළු ජාතිකවාදීන් ද ඒ කමිටුවේ කටයුතු කළ නමුත් කිසිවකු අප නෙරපීමට විරුද්ධ වුණේ නැහැ.

 

2018 වන විට මේ සම්බන්ධකම් ස්ථාවර වෙනස් වී තිබුණා. සිංහල ජාතිකවාදීන්ට දැඩී තීරණ ගැනීමට හැකි යම් ජාතිකත්වයක් ඇති අයකු ජනාධිපති කිරීමේ අවශ්‍යතාව තිබුණා. අපේ තේරා ගැනීම වුණේ ගෝඨාභය රාජපක්‍ෂ. එකල තිබූ වාතාවරණය අනුව ඔහුට සිංහල ඡන්දවලින් පමණක් ජය ගත හැකි බව අප දුටුවා. ඇතැම් ජාතිකවාදීන් එයට හිනහවුණා. එහෙත් ඔහු සිංහල ඡන්දවලින් පමණක් දිනුවා. ඡන්ද හැටනව ලක්‍ෂයක් ලැබුණා.

 

එහෙත් අවාසනාවකට ඔහු දැඩි තීරණ ගත්තේ නැහැ. ඔහුට අවශ්‍ය තීරණ ගැනීමට ඇතැම් ප්‍රබලයන් ඉඩ නොදුන් බව දැන් ප්‍රසිද්ධ රහසක්. ලොකු බණ්ඩලා හා පුංචි බණ්ඩලා නිසා ගෝඨාභය රාජපක්‍ෂට තමන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව පවත්වා ගෙන යෑමට නොහැකි වුණා. රාජපක්‍ෂලා මගේ මිතුරන් නො වෙයි. මා ඔවුන් දන්නවා පමණයි. චමල්, මහින්ද, ගෝඨාභය, බැසිල් සහෝදරයන් අතරින් මා ටිකක් හරි වැඩිපුර කතා කර ඇත්තේ මහින්ද සමගයි. ඔවුන්ගේ දරුවන් නම් මට කෙදිනකවත් මුණ ගැහී නැහැ.

 

ගෝඨාභය සාටකය පළදන්නේ නැහැ. ඒහෙත් සාටකය පළඳන සමහරුන්ට වඩා ඔහුට ජාතිකත්වයක් තියෙනවා. ඔහු ඇමරිකන් රටවැසි බවින් ඉවත් වීම අගය කෙරෙන්නේ නැහැ. එහෙත් ඔහු විස්ස වෙනුවෙන් පෙනී සිටීම නම් අනුමත කරන්න බැහැ. ඔහු ඒ වෙනුවෙන් පෙනී නොසිටින්න විස්ස සම්මත වන්නේ නැහැ. එහෙත් අද විස්ස ඔහුට ම බාධාවක් වී තියෙනවා. 2015 මහින්දගේ පරාජයට හේතු වූ සියලු සාධක අද නැවතත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2024 ගෝඨාභය ඉදිරිපත් වේවි ද නැද්ද කියා මා දන්නේ නැහැ. එහෙත් මේ විධියට ගියොත් විසිහතරේ පොහොට්ටුව පරදිනවා පමණක් නොව ඉන්පසු නොබෝ දිනකින් ලංකාව ඉන්දියාවේ (හා බටහිර) කොලනියක් ද වෙනවා.

 

2018 දී දිනුවේ ඊනියා පොහොට්ටුවක් නොවෙයි. හැටනව ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ගෝඨාභයට මිස පොහොට්ටුවට නො වෙයි. පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) නමින් මැතිවරණ කොමසාරිස් ළඟ මිස ජනතාව අතර පක්‍ෂයක් නැහැ.  අද ඉන්න ඊනියා පසු පෙළ මන්ත්‍රීවරුන් ජයගත්තේත් ගෝඨාභය නිසයි. පොහොට්ටුව ඒ ජයග්‍රහණය තමන්ට උරුම කර ගැනීමට දැඟලීම ඉතාමත් අසික්කිත වැඩක්. අසික්කිත කියන්නෙ අශික්‍ෂිත යන්න. පොහොට්ටු ප්‍රබලයන්ට ඇති ශික්‍ෂාව කුමක් දමා හිතන්නේ නැහැ ඔවුන් කුමරතුඟුවන්ගේ ශික්‍ෂා මාර්ගයවත් කියවලා තියෙනවා කියා.

 

පොහොට්ටුව ශ්‍රී ල නි පක්‍ෂය මෙන් ජාතිකත්වයේ පක්‍ෂයක් වුණේ නැහැ. එහෙත් අද වන විට ශ්‍රී ල නි පක්‍ෂයත් යමපාලනයට ගොස් තම ජාතිකත්වය කෙළෙස ගෙන. අද ජාතිකවාදීන්ට පක්‍ෂයක් නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ ඉන්නව. කෝට්ටේ සංඝ සභාව ඊයේ ප්‍රකාශ කෙළේ තමන්වහන්සේ ගෝඨාභය ගැන ඇති කරගත් විශ්වාසය කඩ වී නැති බවයි. උන්වහන්සේ ගෝඨාභයට කඩේ යන්නේ නැහැ. එහෙත් මෙරට භික්‍ෂූන් වහන්සේ නිවන් සම්මාබෝධයට අමතර ව ජාතිය ආරක්‍ෂා කර ගැනීම සඳහා ද කටයුතු කරනවා. අප කතා කරන්නේ රට ජාතිය ආගම නැත්නම් රට දැය සමය වෙනුවෙන්. ඒ තමයි අපේ ජාතිකත්වය. ජාතිය කියන එකට බටහිරයන් දෙන නිර්වචන අපට වලංගු නැහැ. බටහිර ඊනියා ජාතික රාජ්‍යය සංකල්පය පඬි නැට්ටන්ට වැදගත් වෙන්න පුළුවන්.

 

තුන්වැනි සියවසේ සිට පස්වැනි සියවස දක්වා බුද්ධඝෝෂ හිමියන් හා මහානාම හිමියන් ප්‍රමුඛ හිමිවරු අප දඹදිවට බැඳ තැබුවා. හරියට ම කියනවා නම් ආන්ද්‍ර ප්‍රදේශයට බැඳ තැබුවා. එහෙත් හත්වැනි සියවසෙන් පමණ පසුව ආන්ද්‍ර ප්‍රදේශයෙන් බුදුසසුන නැති වී ගිය පසු අප භාරතයෙන් ස්වාධීන වන්න පටන් ගත්තා. අද අපට දඹදිව වන්දනාවට සීමා වී තියෙනවා. ආන්ද්‍ර බුදුදහම මියන්මා දේශයටත් බලපා තියෙනවා. ඒ කොහොම වෙතත් අද අප ඉන්දියාවට යට වීමට සුදානම් නැහැ. ඒ කියන්නේ චීනයට යට වීමට සූදානම් බව නො වෙයි.

 

අද අපේ හාමුදුරුවරුන්ට වැටහෙනවා අප ශක්තිමත් නොවුණොත් මෙරට ඉන්දියාවෙ කොලනියක් වනු නොවැළැක්විය හැකි බව. කලකට පෙර අස්ගිරි පාර්ශ්වයෙන් කියැවුණේ ජනාධිපති හිට්ලර් මෙන් විය යුතු ය කියා. පඬි නැට්ටන් ඒ කියමන උස්සා ගෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට කැස්සා. ඔවුන්ට එහි පණිවුඩය තේරුම් ගැනීමට අවශ්‍ය වුණේ නැහැ. කෝට්ටේ පාර්ශ්වය හා අස්ගිරි පාර්ශ්වය පමණක් නොව අනෙක් පාර්ශ්ව හා නිකායන්ට ද අවශ්‍ය අප ඉන්දියාවේ කොලනියක් වීම වැළැක්වීමයි. අපට බුදුදහම දඹදිවෙන් ලැබුණු පමණින් අප ඉන්දියාවට යට වෙන්නේ නැහැ.

 

අද ආහාර ප්‍රශ්නයක් තියෙනවා. එහි පසුපස ඇත්තේ පොහොර. ඒ පසුපස ඉන්නේ පුංචි බණ්ඩා හා ලොකු බණ්ඩා. ගොවීන්ට හා ඔවුන් උසිගන්වන ජඩමාධ්‍යවේදීන්ට එය තේරෙන්න කල් යාවි. පොහොර ප්‍රශ්නයත් ලොකු කරන්නේ අප ඉන්දියාවට යට කිරීමට. අර චීන පොහොර අශූචි යැයි කී අය අද මොකක්ද කියන්නේ. ඒ ඊනියා පරීක්‍ෂණය වැරදියට කෙළේ කවුද? එමගින් ගොවීන්ට පොහොර නැති කෙළේ කවුදකෝ ඒ ඊනියා විද්‍යාඥයන්?

 

ශ්‍රී ල නි පක්‍ෂයට තීක්‍ෂණ නායකත්වයක් නැහැ. තීක්‍ෂණ නායකයන් මොන තරම් හිරිහැර තිබුණත් රනිල් එක්ක එකතු වී සිය දිවි නසා ගන්නේ නැහැ. මෛත්‍රිපාල දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවීම ගැන ඔහුට අපේ ප්‍රණාමය හිමි වෙන්න ඕන. එහෙත් ඔහු අද නැවතත් 2015 වරද කිරීමට සූදානම් වන බවක් පේනවා.  ජාතිකත්වයේ පක්‍ෂයක් නැති ජාතිකවාදීන්ට ඇත්තේ මහා සංඝ රත්නය හා ගෝඨාභය නායකත්වයයි. මහා සංඝ රත්නය ඒ බව අවබෝධ කර ගෙන සිටීම ගැන උන්වහන්සේට අපේ ප්‍රණාමය හිමි වෙනවා.