Main Logo

Sunday 16 January 2022

ඩොලර් අර්බුදය හා නාථ දෙවියෝ

 

ඩොලර් අර්බුදය හා නාථ දෙවියෝ

 

ඩොලර අර්බුදයේ හොඳ පැති ගණනාවක් තියෙනවා. මේ අර්බුදයට හේතුව සංචාරකයන් නැති වීම නොවෙයි. මේ ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමණාකරණයක් නො වෙයි. ඒ එසේ නම් පසුගිය ජූලි මාසය වන තෙක් සාමාන්‍ය තත්වයෙන් ඩොලර් සංචිතයක් පවත්වාගෙන යන්න බැහැ. සාමාන්‍ය තත්වය කියන්නේ හොඳ තත්වයක් නො වෙයි. ඒ ණයට කෑම. අප ණය ගත්තා මිසක් රටට ඔබින සංවර්ධනයක් ගැන හිතුවේ නැහැ. මේ කසිකබල් අධ්‍යාපනයෙන් බිහිවෙන අයට අලුතෙන් දෙයක් හිතන්න බැහැ.

 

මීට පෙර මෙරට ඩොලර් අර්බුද ඇති වෙලා තියෙනවා. හැත්තෑවේ දශකයේ මුල ඩොලර් අර්බුදයක් ඇති වුණා. අර හාල් පොලු පාන් පෝලිම් වැඩිහිටියන්ට මතකයි. එකල පිටරට යන විට ගෙන යන්න විදේශ විනිමය ලෙස නිකුත් කෙළේ පවුම් දෙකක් වැනි සුළු මුදලක්. අද ඩොලර් පහක් පමණක් දුන්නොත් මොකක් වෙයි ද? කොහොම වෙතත් අප හැත්තෑහතේ දී පාන් පෝලිම් නැති කරන්න ජේ ආර්ට ඡන්දය දුන්නා. එදා පටන් අප ණයට අරන් කෑවා. හැම ආණ්ඩුවක් ම ණයට අරන් කන්න දුන්නා. හැත්තෑහතෙන් පසු අර රුසියාවෙන් දීපු කර්මාන්තශාලා ටිකත් වහල දැම්මා. අපි ඒ කාලෙ සොමියෙ හිටියා. දැන් ආතල් ගන්නවා. 

 

කොහොමටත් හැත්තෑහත වෙන විට ගොවීන් විිද්‍යාඥයන් වෙලා. හැටේ දශකයේ ගොවීන් රසායනික පොහොර එපා කියද්දි බලහත්කාරයෙන් ඒ ඔවුන්ගේ ඇඟේ ගැහුවා. මෙරට උගතුන් ඊනියා විද්‍යාඥයන් බවට පත්කෙළෙත් බලහත්කාරයෙන්. ඔවුන් ඉන්පසු ධර්මයෙන් ඈත් වුණා. ධර්මයයි බටහිර විද්‍යාවයි යා දෙක නොරත රත බැවින් පෑහීමක් නැහැ. බටහිර සංචාරකයන්ට විවෘත කෙරුණු තායිලන්තය හැරෙන්න අනෙක් ථෙරවාද රටවල් බටහිර මිම්මෙන් දුප්පත්. තායිලන්තය නම් විමුක්ති මගක් හොයාගෙන. අපේ සමහර බෞද්ධයනුත් විමුක්තිය සොයා තායිලන්තයට යනවා. 

 

අද ණය ගැනීම ප්‍රශ්නයක් වෙලා. මෙරට ඩොලර් සංචිතය මෙවර අඩුවෙන්න ප්‍රධාන හේතු පිටරට ගිය ශ්‍රමිකයන් බැංකුවලට මුදල් නොඑවීමත් අපනයනකරුවන් ලැබෙන මුදල් විදේශවල ම තැන්පත් කර ගණුදෙනු කිරීමත්. එයට හේතු වුණේ ඩොරල් සංචිතය අඩුය කියා ජනමාධ්‍ය හරහා ගෙන ගිය ප්‍රචාරය නිසා බැංකු ක්‍රමය ගැන ඇති කෙරුණු අවිශ්වාසය. දැන් ඒ නැති වූ විශ්වාසය නැවත ඇති කරන්න එක්කෝ ණය ගන්න ඕන. නැත්නම් ණය ගෙවීම කල්දාගන්න ඕන. ඒ කරන්නත් බාහිරින් පිහිටක් ඕන. ආණ්ඩුවට ඉන්දියාව තරහ කර ගන්නෙ නැතුව චීනය සමග මිත්‍රත්වයෙන් කටයුතු කර රටවල් දෙකෙන් ම ආධාර ගැනීමට ක්‍රමයක් යොදා ගන්න වෙනවා. එහෙත් විසඳුම ඇත්තේ දීර්ඝ කාලීනව අපේ සංවර්ධන මාවතකට යොමු වීමෙන්. ලෝක වෙළෙඳපොළට නිෂ්පාදනය කිරීම හා අනවශ්‍ය වියදම් කපා හැරීම එහි දී ප්‍රධාන වෙනවා. 

 

ණය අරගෙන රටට ඔබින ඔරොත්තු දෙන සංවර්ධනයකට රට යොමු වුණා නම් පහුගිය අවුරුදු හතළිස්පහක පමණ කාලයෙහි අපට ණයත් ගෙවලා යම් ආකාරයක සංවර්ධනයක් අත්කර ගන්න තිබුණා. එහෙත් අප රටට ඔබින නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු වුණේ නැහැ. අපි ඊනියා විද්‍යාඥයන් වුණා පමණයි. මා හිතන විධියට මෙරට ජනගහණයෙන් සියයට අනූවකට වඩා බටහිර විද්‍යාව ගැන විශ්වාසය තබන්නවුන්. එයට ප්‍රධාන හේතුව මෙරට බෞද්ධයන් ගණන සියයට දහයකටත් අඩු වීම.

 

උදේ හවස බණ කිවුවත් බණ ඇහුවත් මෙරට බෞද්ධයන් ඇත්තේ සුළු සංඛ්‍යාවක්. බණ කියන හාමුදුරුවරුත් විද්‍යාඥයන් වෙලා. මා අවුරුදු තිස්පහක් පමණ කී දෙයින් එතරම් පළක් වී නැහැ. මා දන්නවා බටහිර විද්‍යාව සමග හැප්පීම ගලේ ඔළුව ගහගන්නවාට වඩා හපන් බව.  බොහෝ කලකට පෙර කාලෝ ෆොන්සේකාට පිළිතුරක් ලෙස බුද්ධාගම විිද්‍යාත්මක කිරීම හෝ එවැන්නක් හෝ යන මැයෙන් මා ලිපියක් ලියා ඇති. ඉන්පසු ඒ සම්බන්ධ ලිපි ගණනනාවක් ම ලියා තියෙනවා. බටහිර විද්‍යාව ඒක හේතුවාදීයි. එහෙම නැත්නම් ඌනිතවාදීයි.  බටහිර විද්‍යාව ඊනියා සත්‍යයක් සොයා යනවා. ඊනියා වාස්තවික වූ යථාර්ථයක් ගැන කියනවා. ඔය කතා බමුණන්ට හොඳයි. එහෙත් බුදුදහමේ ඒ එකක්වත් නැහැ. අපි කිං කුසල ගවේෂි මිස කිං සච්ච ගවේෂි නො වෙයි. සමහරු නම් හොයන්නේ කිං නැත්නම් රජු. 

 

අද ජඩමාධ්‍යවේදීන් මෙන් ම ගොවීන් ද විිද්‍යාඥයන්. ගොවීන් රසායනික පොහොරවල රස විඳලා ජඩමාධ්‍යවේදීන්ට ගොයම් ගස් පෙන්නනවා. විද්‍යාඥයන් වූ ජඩමාධ්‍යවේදීන් අපට ඒ ගස් පෙන්නනවා. අපට එල්ලෙන්න තුත්තිරි ගහක්වත් නැහැ. බ්‍රාහ්මණ ඉන්දියාවට හා මහායාන රටවලට බටහිර විද්‍යාව හා තාක්‍ෂණය සමග පෑහෙන්න පුළුවන්. එහෙත් ථෙරවාදීන්ට එය අපහසුයි. අප බටහිර විද්‍යාව පසුපස ගියත් අපට ඒ සංස්කෘතිය සමග පෑහෙන්න බැහැ. අපට බටහිර විද්‍යාඥයන් මෙන් හිතන්න බැහැ. පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියා ඊනියා විිද්‍යාත්මක ක්‍රමයක් ගැන කියන්නන් මෙන් ම බටහිර වෙදමහතුන් බටහිර කෘෂි විද්‍යාඥයන් බටහිර ආර්ථික විිද්‍යාඥයන් කරන්නේ බටහිරින් එන තොරතුරු සිංහලෙන් කීම පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තියෙනතාක් මෙරට වෛද්‍ය විශේෂඥයන් ඉන්නවා.

 

කොහොමටත් ඩොලර් අර්බුදය නිසා හොඳත් වෙනවා. පහුගිය අවුරුදුවල ආණ්ඩුව රසායනික පොහොර ගොවීන්ට නොමිළේ ලබා දුන්නා. ඩොලර් අර්බුදය නිසා දැන් රසායනික පොහොර ගෙන්නන්නේ නැහැ. එය යුක්ති යුක්ත කිරීමට දැන් කවුරුත් රසායනික පොහොර නිසා පස විස වෙන බව ආහාරවල විෂ ද්‍රව්‍ය ඇති බව කියන්න පටන් ගෙන. එය හොඳ දෙයක්. ඒ ඒ අය පොහොර නවත්තපු එක ගැන නොවෙයි ඒ කළ විධියෙ වැරැද්ද කියන්න පටන් ගෙන.

 

අපි පුදුම මිනිස්සු. කවුරුවත් අහන්නෙ නැහැ නොමිලේ රසායනික පොහොර දීමෙන් ගොවීන්ගෙ වකුගඩු නරක් කළා ද කියා. අපට සංගතවීම ගැන වගේ වගක් නැහැ. පේරාදෙණියේ සම්මානිත කෘෂි විද්‍යා මහාචාර්යවරයකු නම් අපට දොස් පවරල තිබුණ. මේ සියල්ල ආසනික්භීතිය නිසා ඇති වූවක් කියා ඔහු කියා තිබුණා. මේ සතපහකට වැඩක් නැති මහාචාර්යවරුන්ට ජලභීතිකාව වගේ ලෙඩක් තියෙනවා.

 

වකුගඩු රෝග කිහිපයක් තියෙනවා. පළමුව රජරට ඇති වී දැන් හැම තැන ම මෙන් පැතිරී ඇති වකුගඩු රෝගය අසාමාන්‍ය එකක්. බටහිර විද්‍යාව තවමත් එයට හේතුව දන්නෙ නැහැ. අපේ කණ්ඩායම තමයි එයට ප්‍රධාන හේතුව ආසනික් කියා කිවුවෙ. ඔය රසායනික පොහොරවල ආසනික් තිබෙනව බව අපට කිවුවෙ නාථ දෙවියන්. ඒ කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවන්. ඒත් අප දැන සිටියා ආසනික් අසාමාන්‍ය වකුගඩු රෝගයට එක ම හේතුව නොවන බව. අප බටහිර විද්‍යාඥයන් මෙන් ඒක හේතුවාදීන් නො වෙයි. කිවුල් ජලයත් එයට එක් හේතුවක්. පලිබෝධනාශකවල ග්ලයිෆොසේට් වෙන ආකරයකට හේතුවක් වෙනවා. ගැහැණු පිරිමි වශයෙනුත් එය බලපානවා. ජානත් හේතු වෙනවා. මෙරට ඉන්න කසිකබල් බටහිර ඒකහේතුවාදීන් අහනවා බංග්ලාදේශයේ ආසනික් තිබුණත් එහි අසාමාන්‍ය වකුගඩු රෝගයක් නැහැ කියා. ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය හැදෙන්නෙ නැහැ. බංග්ලාදේශයේ ආසනික් නිසා හමේ රෝග ඇති වෙනවා. ඒකහේතුවාදීන්ට එය තේරෙන්නෙ නැහැ.

 

නාථ දෙවියන්ගෙන් අපට ආසනික් හේතුව දැන ගැනීමට ලැබුණු පසු අප ඒ පදනම් කරගෙන බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කෙළෙ මගේ ප්‍රධානත්වයෙන් මා විද්‍යා පීඨාධිපතිව සිටි කාලයේ කැලණිය විශ්වවිිිද්‍යාලයේ මූලික වශයෙන් රසායන විද්‍යා අධ්‍යනංශයේ. කිසිවක් නොතේරෙන පඬි නැට්ටන් අපෙන් අහන්න පුළුවන් බටහිර විද්‍යාවේ පරයේෂණ කරන්නෙ ඇයි කියලා. මා මේ නැට්ටන් අමතක කරල තියෙන්නෙ. ඔවුන් කිසිවක් නොතේරෙන කිසිවක් හිතන්න බැරි, සකර්බර්ගෙ අනාථකඳවුරෙ නිර්මාලාප කියවන අනාථයන් පමණයි. මේ බොහෝ දෙනකු විද්‍යාවට කඩේ යන්නෙ මෙරට සම්මතය අනුව ඉහළ තලයක ඇති බටහිර විද්‍යාව උසස් පෙළටවත් හැදෑරීමට දක්‍ෂතාවක් නොතිබීම නිසා ඇති වූ හීනමානයෙන්.

 

අපට කලින් වකුගඩු රෝගයට පොහොරවල පලිබෝධ නාශකවල දායකත්වය ගැන කිසිවකු පර්යේෂණ කරලා නැහැ. විවිධ මහාචාර්යවරුන් වරියන් අසාමාන්‍ය වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් ය අරක ය මේකය ආදී වශයෙන් ඒක හේතු කියා තිබුණා. එහෙත් ඒ එකක්වත් වැඩ කෙළේ නැහැ. රසායනික පොහොර පලිබෝධනාශක ආනයනය කරන රෝග වෙළෙන්දන්ට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් වුණෙ නැහැ. දැන් වියත් මගේ ඉන්න ඔවුන්ගෙන් සමහරු කෙළෙ මට විරුද්ධ ව මහින්ද රාජපක්‍ෂට ගතු කීම පමණයි. ඩොලර් අර්බුදය නිසා අපට දැන් අපේ ගොවිතැනක් කරා යොමු වෙන්න පුළුවන්. වකුගඩුවත් බේරා ගන්න පුළුවන්. කාට කාටත් නාථ දෙවියන්ගෙ පිහිටයි.