Main Logo

Wednesday 12 January 2022

කුලපති හාමුදුරුවෝ හා විවිධ බමුණෝ

 


කුලපති හාමුදුරුවෝ හා විවිධ බමුණෝ

 

ඊයේ නෙළුම් පොකුණ ශාලාවේ වැදගත් උත්සවයක් පැවැත්වුණා. ඒ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට උපහාර දැක්වීමට. උත්සවය සඳහා මට ද ජනාධිපති කාර්යාලයෙන් ආරාධනයක් ලැබී තිබුණා. දැන් මා උත්සවවලට සහභාගි වන්නෙ ඉතාමත් කලාතුරකින්. එහෙත් මේ උපහාර උත්සවයට  සහභාගි වූයේ ඉතා කැමැත්තෙන්.  මා සහභාගි වුණේ කරුණු දෙකක් නිසා . පළමුව උන්වහන්සේගෙන් මෙරටට සිදු වී ඇති සේවයට කරන ගෞරව පූජාවක් ලෙස. දෙවැනුව උන්වහන්සේට නින්දා අපහාස කිරීමට පෙළඹුණු සියයට දශම තුනටබලධාරීන්ට හා ජඩමාධ්‍යයට විරෝධය පෑමක් ලෙස.

 

මුරුත්තෙට්ටුචේ ආනන්ද හිමියන්ගෙන් වී ඇති සේවය කීම ගහ දන්නා අයට කොළ කඩා පෑමක්. එහෙත් ජඩමාධ්‍ය සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් කිව යුත්තක් තියෙනවා. ජාතික ව්‍යාපාරයට උන්වහන්සේ කළ සේවය දන්නා හොඳ ම පුද්ගලයා අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන. දෙමළ ජාතිවාදයට හා ත්‍රස්තවාදයට එරෙහි ව නොයෙකුත් සාකච්ඡා පැවැත්වූ තැනක් වූයේ නාරාහේන්පිට අභයාරාමයයි. ඒ බොහෝ සාකච්ඡාවලට මා ද සහභාගි වී තියෙනවා. ජේ ආර්ගේ මෙන් ම චන්ද්‍රිකාගේ ද ජාතික විරෝධී ක්‍රියාවලට විරුද්ධ ව බලවේග ඒකරාශී කිරීමට අපේ හාමුදුරුවන් ක්‍රියා කෙළේ සිංහල භික්‍ෂු සම්ප්‍රදාය අනුව යමින්. උන්වහන්සේට සුප්‍රසිද්ධ විද්‍යාලංකාර ප්‍රකාශය ද එහි දී පිටිවහලක් වෙන්න ඇති.

 

ආනන්ද හිමියන්ගෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයට සිදු වූ සේවය හොඳින් ම දන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ වෙන්න ඕන. අද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නමින් හැඳින්වෙන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ වෘත්තීය සමිතිය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. මට මතක හැටියට ජේ ආර ඔහු දැන සිටි බුද්ධාගම අනුව වරක් හෙදියන්ට නායකත්වය දීමට භික්‍ෂූන් වහන්සේ නමකට බැරි යැයි කියමින් උන්වහන්සේ සමග සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂෙප කළා. ජේ ආර් හිතුව ද දන්නෙ නැහැ උන්වහන්සේ තුන්වැනි ශික්‍ෂා පදය කඩනවා කියලා.

 

ජේ ආර් ජපානෙට නහි වෙරෙණ වෙරාණි කිවුවට මෙරට ඇතැමුන්ට දැක් වූයේ නයි වෛරයක්. අද ජේ ආර්ගේ කොළඹ විශ්වවිිිද්‍යාලයේ සියයට තුනක් වූ ගෝල බාලයන් ආනන්ද හාමුදුරුවන්ට දක්වන්නේත් එවැනි ම වෛරයක්. කෙසේ වෙතත් ජේ ආර් හාමුදුරුවරුන් උපාසිකාවන්ට බණ කීම ගැන කිසිවක් කියන්න ගියේ නැහැ. ඒ කුමක් වුවත් අද හෙද හෙදියන් භූක්ති විඳින පහසුකම් රාශියක් ආනන්ද හාමුදුරුවන් ලබා දුන් ඒවා. ස්ත්‍රී විරෝධී මත රාශියක් ඈත අතීතයේ සිට ම බුදු සසුනේ පැවිදි වූ බමුණන් අතින් එකතු වී තියෙනවා. අද මෙරට බමුණන් මෙන් ම බැමිණියන් ද ඉන්නවා.

 

ඒ එක් බමුණු මතයකට අනුව ආනන්ද හාමුදුරුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට සුදුසු නැහැ. උන්වහන්සේට අධ්‍යාපනික සුදුසුකම් නැති වීම දේශපාලන මතයක් දැරීම කුලපති පත්කිරීම දේශපාලන ක්‍රියාවක් වීම මේ ආණ්ඩුවේ දේශපාලනය පිළිගන්න බැරි වීම වැනි කතා බමුණන්ගෙන් හා බැමිණියන්ගෙන් අහන්න ලැබෙනවා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් ද ඒ අතර ඉන්නවා.

 

කුලපති පත් කිරීම පමණක් නොව උපකුලපති පත්කිරීම ද දේශපාලන ක්‍රියාවන්. 1978 විශ්වවිද්‍යාල පනතට කලින් එංගලන්ත රජුගේ රැජනගේ ආණ්ඩුකාරයන් අග්‍රාණ්ඩුකාරයන් කුලපති තනතුරු දැරුවා. ඒවත් දේශපාලන පත්වීම් තමයි.  1978 පනතෙන් පස්සෙ ජනාධිපති තමයි ඒ සියළු පත්කිරීම් කරන්නෙ. ජේ ආර් සහ ප්‍රේමදාස පත්කළ කුලපතිවරුන් උපකුලපතිවරුන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිටියා. ඒ ජනාධිපතිලා ජ වි පෙ දමනය කෙළේ මෛත්‍රි භාවනාවෙන් නො වෙයි. ඒත් ජ වි පෙ ක්‍රියාකාරකයන් ඔවුන් පත්කළ කුලපතිවරුන්ට උපකුලපතිවරුන්ට විරුද්ධ වුණෙවත් ඔවුන්ගේ දේශපාලනයට විරුද්ධ යැයි කියමින් උපාධිප්‍රදානෙත්සව වර්ජනය කෙළේවත් නැහැ. ජෙපි දේශපාලනය එහෙමයි.

 

ආනන්ද හාමුදුරුවන්ට උපාධියක් නැති වීම ද ප්‍රශ්නය. උන්වහන්සේ විද්‍යොදය පිරිවෙණේ ඉගෙන ගත් භික්‍ෂුන්වහන්සේ නමක්. ඒ කෙසේ වෙතත් නූතන බමුණන් හා බැමිණියන් අනුකරණය කරන ලන්ඩන් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලවලත් කුලපතිවරුන්ට උපාධි නැහැ. එය පැත්තකින් තියන්න. කිසියම් බමුණකු හරි බැමිණියක හරි හිතනවා ද ආනන්ද හාමුදුරුවන්ට විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ට දේශනයක් පැවැත්වීමට නොහැකිය කියා.

 

මා හිතනවා උන්වහන්සේට වෘත්තීය සමිති ගැන ජාතිකත්වය ගැන දේශපාලනවිද්‍යා සමාජවිද්‍යා ඉතිහාස අධ්‍යනංශවල ඕනෑම අයකුට වඩා විදග්ධ ලෙස දේශනයක් පැවැත්විය හැකිය කියා. උන්වහන්සේ එංගලන්ත වෘත්තීය සමිති ඉතිහාසය හරි ජාතිය ගැන බටහිර මතවාද හරි නොදන්නවා වෙන්න පුළුවන්. හොබ්ස්බොම් හරි ග්‍රාම්ස්චි ගැන හරි අහලවත් නැති වෙන්න පුළුවන්. ආචාර්ය මහාචාර්ය බමුණන් හා බැමිණියන් ඒ සියල්ල කියවල ඇති. එහෙත් ආනන්ද හාමුදුරුවන් තරම් බමුණන් හා බැමිණියන් වෘත්තීය සමිති ගැනවත් ජාතිය ගැනවත් දන්නෙ නැති බව මා හොඳාකාරව ම දන්නවා. මා ආනන්ද හාමුදුරුවන් ද බමුණන්ද බැමිණියන් ද දශක ගණනාවක් තිස්සේ දන්නවා.  බමුණන්ට හා බැමිණියන්ට අලුතෙන් යමක් කියන්න බැහැ. 

 

මා පොඩි ප්‍රශ්නයක් අහන්නම්. විශ්වවිද්‍යාලවල බොහෝ දෙනකු ආනන්ද හාමුදුරුවන් ගැන රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමය ගැන දන්නවා. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ කී දෙනකු වත්මන් විශ්වවිිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ගැනවත් එහි සභාපති ගැනවත් දන්නවා ද? සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය පැත්තකින් තියන්න. විශ්වවිිද්‍යාල ආචාර්යවරු කී දෙනකු ආචාර්ය සමිති සම්මේලනයේ වත්මන් සභාපති කවුද කියා දන්නවා ද? මා එහි හිටපු සභාපතිවරයකු වුවත් මා ද දන්නෙ නැහැ.  එය මගේ වරදක් වෙන්න පුළුවන්. එහෙත් වත්මන් ආචාර්යවරු කී දෙනකු දන්නවා ද? හැම දෙයක් ම දන්න චතුර අල්විස් දන්නවා දචතුර අල්විස් අද උදේ උපහාර උත්සවය ගැන කිසිවක් කිවුවෙ නැහැ. සමහර විට පුවත්පත් එය වැදගත් දෙයක් ලෙස නොසලකන්න ඇති. මට වැදගත් දේ මාධ්‍යයටත් මාධ්‍යයට වැදගත් දේ මටත් වැදගත් නොවනවා වෙන්න පුළුවන්. මාධ්‍යවේදීන් හා වේදිනියන් ද බමුණන් හා බැමිණියන් ද?

 

ආනන්ද හාමුදුරුවන්ට දේශපාලන මතවාද තිබුණත් උන්වහන්සේ හෙද සේවා සංගමය මගින් තමන්වහන්සේගේ දේශපාලනය ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ. මාත් ආචාර්ය සමිති සම්මේලනය මගින් මගේ දේශපාලනය ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ. අර්ජුන අළුවිහාරෙ එයට සාක්‍ෂි දරාවි. එහෙත් පසුව සභාපතිවරුන් වූ අය ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගියා ද? ආචාර්ය මහාචාර්ය බමුණන්ට හා බැමිණියන්ට ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා.