Main Logo

Monday 17 January 2022

කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිදියාව

 



කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිදියාව

 

කාදිනල්තුමා වහාබ්වාදය ආරක්‍ෂා කරන්නේ ය යන චෝදනාව මා කරන්නේ නැහැ. එහෙත් එතුමා පාස්කු ප්‍රහාරය සිදු කෙළේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට ය යන හැඟීම ගෙන දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වහාබ්වාදයට උඩගෙඩි දෙන බව නම් පැහැදිලියි. එමෙන් ම එතුමා බොරුල්ලේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය පිළිබඳ ව පැය විසිහතරක් ගතවීමටත් පෙර කලබලයෙන් පොලීසියට දොස් පවරමින් කළ ප්‍රකාශයත් සැක උපදවනවා. කාදිනල්තුමා යමක් හැංගීමට ක්‍රියා කරනවා ද? පොලිසිය කියා තිබෙනවා දේවස්ථානයේ බෝම්බය තැබීමට කිසියම් පුද්ගලයකු රුපියල් පනස්දාහක්  දීමට කටයුතු කර ඇති බවක්. මේ කතාව ඇත්ත නම් ඒ පුද්ගලයා කවුද? අප කාදිනල්තුමා මෙන් පොලිසියෙන් ඉක්මන් දැනුම්දීමක් බලාපොරොත්තු වන්නේ නැහැ. අප පොලීසියේ වැඩට ඇඟිලි ගහන්නේත් නැහැ. පොලීසිය ආණ්ඩුවෙන් මෙන් ම ආගමික නායකයන්ගෙන් ද වෙනත් අයගෙන් ද නිදහස් වෙන්න ඕන.

 

වහාබ්වාදය කියන එක අවුරුදු තුන්සීයක් පමණ පැරණියි. එහි ඉතිහාසය ගැන මෙහි ඇති  සබැඳියෙන් දැන ගන්න පුළුවන්. ඒ අනුව 1710 දී ඔටෝමාන් අධිරාජ්‍යය කඩා බිඳ දැමීමේ අභිලාෂයෙන් බිරිතානි බුද්ධි අංශ හෙම්ෆර් නමැත්තකු තුර්කියේ ඉස්තාන්බුල් නගරයට යවා තිබෙනවා. ඉස්තාන්බුල් කලින් හඳුන්වා ඇත්තේ කොන්ස්ටැන්ටිනෝපල් කියා. හෙම්ෆර් එහි දී ඉස්ලාම් ආගම වැලඳ ගෙන මොහමඩ් ඉබන් අබ්දුල් වහාබ් නමැත්තකු සමග මිත්‍ර වී ඔහු ලවා ඊනියා අලුත් ආගමක් දේශනා කරවා තියෙනවා. ඒ වහාබ්ගේ ආගම තමයි වහාබ්වාදය නමින් ප්‍රචලිත වෙලා තියෙන්නෙ. වහාබ්වාදය මුලධර්මවාදී අන්තවාදී දේශපාලනයක්. එහි එක් කොන්දේසියකට අනුව වහාබ්වාදය විශ්වාස නොකරන්නන් ඝාතනය කිරීම යහපත් නැත්නම් හලාල් කියාවක්. හලාල් යන අරාබි වචනයෙහි තේරුම අවසර ඇති කියා කියනවා. හලාල් ආහාර ගැන කියැවෙන්නෙත් ඒ අර්ථයෙන්. විශ්වාස නොකරන්නන් මරා දැමීමටත් අවසරය තියෙනවා. බිරිතානින්ට අවශ්‍ය වූයේ අබ්දුල් වහාබ් මගින් මුස්ලිමුන් අතර ඇණකොටා ගැනීම් ඇති කිරීමට.

 

වහාබ්වාදය පසුකලෙක බටහිරයන්ගේ සුරතලකු වූ සෞදි අරාබිය වැළඳ ගත්තා. ඒ සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් ප්‍රභූ පාසලේ හා කේම්බ්‍රිජ් විශ්වවිිද්‍යාලයේ ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගත් ජෝන් ෆිල්බි නමැත්තකු ගැන කියැවෙනවා.  සෞදි අරාබිය වහාබ්වාදයේ මූලස්ථානය වුණා. ඔවුන් වහාබ්වාදය ප්‍රචාරය කිරීම සඳහා මූල්‍යාධාර සැපයුවා. පහුගිය කාලෙ සෞදි සල්ලි මළු අපි නම් දැක්කෙ රූපවාහිනියෙන් පමණයි. අද වන විට අයිසිස් සංවිධානය ආදිය බිහි වී තියෙන්නේ වහාබ්වාදය මුල් කරගෙන.

 

ජෝන් නැත්නම් ජැක් ෆිල්බි ලංකාවටත් සම්බන්ධයි. ඔහුගේ පියා මොන්ටි ෆිල්බි බදුල්ල ප්‍රදේශයේ කෝපි වැවිලිකරුවකු ව සිට මහා ධනයක් උපයා ගෙන තියෙනවා. එහෙත් කෝපි වගාව නැතිවීමෙන් පසු ඔහු දුප්පතකු වෙලා. ජැක් ෆිල්බි දෙමවුපියන් සමග බදුල්ලේ ජීවත් වෙලා තියෙනවා. එහෙත් මොන්ටි ෆිල්බිගේ බිරිඳ ජැක් ෆිල්බි හා අනෙක් දරුවන් සමග ආපසු එංගලන්තයට ගිහින්. ජැක් ෆිල්බිගේ පුතා කිම් ෆිල්බි අර කේම්බ්‍රිජ් පස්දෙනාගේ කල්ලියේ. කිම් ෆිල්බි බිරිතානි ඔත්තු සේවයේ ඉන්න අතර සෝවියට් දේශයටත් සේවය කරලා. කිම් ෆිල්බි ඉපදී තියෙන්නෙ ඉන්දියාවෙ ඔහුගේ පියා ජැක් එරට සේවය කරන කාලයෙ.

 

මා විස්තර ප්‍රචාරකයකු නො වෙයි. මා ඉහත කරුණු සඳහන් කෙළේ ඉංගිරිසින් ලෝකය අවුල්කර ඇති ආකාරය පෙන්වීමටයි. මේ ලෝකය අද එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ ඉංගිරිසින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මගින්, එහි ආධිපත්‍යය මගින්. ඔවුන් එකිනෙකා එකිනෙකාට විරුද්ධ ව යොදා ගන්නවා. කේම්බ්‍රිජ් විශ්වවිිිද්‍යාලය ප්‍රසිද්ධ නිවුටන් ගැන රදර්ෆර්ඩ් ගැන ඩිරැක් ගැන පමණක් නොවෙයි, ෆිල්බිලා ගැනත් ප්‍රසිද්ධයි. ඒ වගේ ම ලංකාවේ හිටපු ඩොයිලි ගැනත් ප්‍රසිද්ධයි. අද ඊනියා සංහිදියාවක් ගැන ඉංගිරිසින් සහ ඔවුන්ගේ පඬි නැට්ටන් කතා කරන්නේ මේ සියල්ල අමතක කරමින්.

 

මා අහගෙන හිටියා පඬි නැට්ටකු බෙග්ලා බෞද්ධ ගීත ගැයූ බව කියමින් එකල තිබූ ආගමික සංහිඳියාවක් ගැන කියවනවා. ඔහුට වුවමනා කෙළේ අද ආගමික සංහිඳියාව නැති කිරීම ගැන වහෙන් ඔරෝ භාෂාවෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට. ඔහු කලින් දවසකත් සිහින තරුවක් පන්ජාබි ගීතයක් ගැයීම පිළිබඳ ව පඬි වදන් ප්‍රකාශ කළා. අදාළ නාළිකාව සිංහල බෞද්ධ විරෝධියකුගේ ග්‍රහණයට අහුවෙලා දමෙරට ආගමික සංහිඳියාවක් ඇත්තේ ම සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා. සිංහල බෞද්ධ පවුල්වල ඉපදුණු කිහිප දෙනකු තම අධ්‍යාපනය හා මාක්ස්වාදය හරහා ලැබුණු යම් ආකාරයක හීනමානයක් නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමෙන් ඊනියා වීරයන් බවට පත්වීමට උත්සාහ කරනවා.

 

මෙරට ආගමික සංහිඳියාව නැති කිරීමට ක්‍රියා කෙළේ ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන්. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට මුස්ලිමුන් බටහිර වෙරළබඩ පෙදෙස්වල සිංහල බෞද්ධයන් සමග සහජීවනයෙන් හිටියා. සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට කරදර කළ බවක් ඉතිහාසයේ, ඔවු ජී සී මැන්දිස් පාදිලිතුමාගේ ඉතිහාසයේවත් සඳහන් වෙන්නේ නැහැ. පඬි නැට්ටන්ට ඒ ගැන කියන්න පුළුවන් කුමක් ද?

 

ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධ ව ඇතැම් සිංහලයන් ක්‍රිස්තියානින් කර යොදා ගත්තා පමණක් නොව ඇතැම් මුස්ලිමුන් ද යොදා ගත්තා. 1915 දී ගම්පොළ පල්ලියේ සිද්ධිය මුල් කරගත් සිංහල මුස්ලිම් කෝළාහල ඉංගිරිසින්ගේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ ප්‍රතිඵල. අදත් ඉංගිරිසින් එහෙමත් නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඊනියා වීරයන් වීමට දඟලන හීනමානයෙන් පිරුණු පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ද සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව යොදා ගන්නවා. වහාබ්වාදයට උඩගෙඩි දෙමින් බෞද්ධ නායකයන් කෙරෙහි සැක උපදවන ප්‍රකාශ නිකුත් කරන කාදිනල්තුමාට මාතලේ වහකෝට්ටෙ ඉන්න කතෝලිකයන් රෙපරමාදු ක්‍රිස්තියානින්ගෙ අතවරවලින් බේරා ගෙන එහි පදිංචි කෙරෙව්වෙ සිංහල බෞද්ධ රජවරු බව අමතක වෙලාවත් ද?   (මතු සම්බන්ධයි)