Main Logo

Sunday 30 January 2022

අලි හෙම්බිරිස්සාව ගැන බටහිරයනුත්

 

අලි හෙම්බිරිස්සාව ගැන බටහිරයනුත්

 

මා දැනන් හිටියෙ නැහැ පාරම්පරික වෙදමහතුන්ට මෙරට බලයක් තිබෙන බව. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ඉහළ ම බලධාරියකු තම මාධ්‍ය සංදර්ශනයක දී කියා තිබුණා මෙරට ජනයා අර වර්ධකය නැත්නම් බූස්ටරය ලබා නොගන්නේ වෙදමහතුන් එය නොගන්න යැයි ජනතාවට කියා ඇති නිසා කියා. බලධාරියාත් තවත් බලධාරීනුත් නිතර කියන දෙයක් තමයි වර්ධකය ගන්න ඕන කියන එක. අද අප දන්නවා මෙරට ඉන්න බටහිර වෛද්‍ය විශේෂඥයන් රාශියකගේ නම්. ඔවුන් මාධ්‍ය සංදර්ශනවල දකින්න පුළුවන්. උපුල් රෝහණ, රවි කුමුදේශ් ඉන් ප්‍රධානයි. ඒ සියලු දෙනාත් මැති ඇමතිවරුත් කියද්දිත් ජනතාව පාරම්පරික වෙදමහතුනට සවන් දීමෙන් කියන්නේ එකී වෙදමහතුන්ට රටේ විශාල බලයක් තියෙන බවයි. මා ඒ බවක් දැන හිටියෙ නැහැ.

 

අර බලධාරියාට බැරි වෙන්න ඇති පාරම්පරික වෙදමහතකු දෙදෙනකු ලවා වර්ධකයට ප්‍රචාරයක් ලබා දෙවන්නට. අද සියලු දෙනා ම පාහේ මුදලට යට වෙද්දී පාරම්පරික වෙද මහතුන් මිල දී ගන්න බැරි නම් අප ඒ ගැන සතුටු වෙන්න ඕන. අද දේශපාලනයේ ඉන්න පක්‍ෂ සියල්ල ම පාහේ මුදලට යටවෙනවා. අර ඊනියා නිර්ධන පංති ගැලවුම් කාරයන් වැඩ වර්ජන අරඹන්නේත් අවසන් කරන්නේත් මුදල් ලබා ගෙන බව මා කී පමණින් කිසිවකු විශ්වාස කරන එකක් නැහැ. අඩු තරමින් එකී ගැලවුම් කාරයන්වත් විශ්වාස කරන එකක් නැහැ. ඔය ඊනියා පාරිශුද්ධිකයන් සතු රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් ගැන ඒ සමහරක් විකිණීමේ දී නිර්ධන පංති ගැලවුම් කරුවන් බ්‍රෝකර්වරුන් ලෙස මැදිහත් වී රුපියල් දශලක්‍ෂ ගණන් මුදල් ලබා ගන්නා අන්දම ගැන ඊනියා නිර්ධන පාංතිකයන්ට කිසි දිනෙක දැන ගන්න ලැබෙන එකක් නැහැ.

 

ඒ කුමක් වුවත් පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය මූලාශ්‍ර පමණයි. ඔවුන් දිනන තුරු බලන් ඉන්නවා. ඔය පැරණි වමේ හරි ඊනියා නව වමේ හරි මෙරට ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ප්‍රශ්නවලට ඔවුන් ද දකුණ ද කොටස් කාරයන්. අර සින්දුවක් තියෙන්නෙ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියො කියල. ඒක වෙනස් කරන්න අමතක වෙන්න ඇති. අපි ඔක්කොම වැඩ්ඩො ඔක්කොම රජ හොරු කියා තමයි වෙනස් කරන්න වෙන්නෙ. 

 

මට කියන්න ඕන වුණෙ අර වර්ධකය නැත්නම් බූස්ටරය ගැන. ඒ කියන්නෙ වසංගතය ගැන. මා වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ බලධාරීන් විශේෂඥයන් වගේ උගතකු බුද්ධිමතකු වියතකු විද්‍යාඥයකු නොවන බව මතක් කරන්න වෙන්නෙ මේ වගේ අවස්ථාවලදි. නැවත නැවතත් කියනවා මා විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයකු බව. වෛද්‍ය විශේෂඥයන් විිද්‍යාඥයන් සමාජයීය විද්‍යාඥයන් ගැන කියද්දි එය මතක් කර ගන්න ඕන.

 

මා විද්‍යාඥයන්ගෙන් ඇසූ එක් ප්‍රශ්නයකටවත් උත්තර ලැබුණෙ නැහැ. කමක් නැහැ වෙසක් පෝය ලබන තෙක් බලන් ඉඳිමු. නැහැ, වෙසක් පොහොයට මා සසර කළකිරිලා ගිහි ගේ අත්හැරලා යන්නෙ නැහැ. ගිහි ගේ අත්හැරලා කොහෙ යන්න ද? කොහොමත් මගේ ජීවිතයෙ සත්‍යය කියා එකක් නැහැ. වැඩ කෙරෙන විධිය ගැන පමණයි මා සැලකිලිමත් වෙන්නෙ. සසර දුකයි. එයින් ගැලවෙන විධියක් බුදු හාමුදුරුවන් දේශනා කරල තියෙනවා. දේශපාලනයෙ වැඩ කෙරෙන විධිය නම් මා හොඳාකාරව ම දන්නවා. මට එයට හුරු වෙන්න බැරි කමයි ප්‍රශ්නය. බල්ලොත් නොකන සල්ලි කිව්වෙ අපේ තාත්තලා. දැන් සල්ලි බල්ලන්වත් කනවා.

 

ඔය වසංගතය ඇවිල්ල දැන් අවුරුදු දෙකකට වැඩියි. මටත් ඒක හැදුණ. මා මරණයේ එළිපත්ත පාගල ආපහු පැමිණි බව කියා ඇති. මා එන්නත් ගහන්න කියන්නෙවත් එපා කියන්නෙවත් නැහැ. මා නම් ගහගෙන තියෙනවා. ඒ පිටරට යෑමට එන්නත අනිවාර්ය නිසා. වසංගතය ගැන අද බටහිර වෙදමහත්තුරු දන්නෙ මොනවා ද? මා කියන්නෙ මෙරට බටහිර වෙදමහත්තුරු ගැන නො වෙයි. ඔවුන් නිවේදන කියවන්න දන්නවා. පඬි නැට්ටන් දන්නෙත් එච්චරයි. පඬි නැට්ටන් මගේ ලිපිවලට දක්වන ප්‍රතිචාර කියවීම කාලය කා දැමීමක් පමණයි. කිසිම නිර්මාණශීලිත්වයක් නැති ඒ අනුකාරකයන්ට අවශ්‍ය නම් සීගිරි කුරුටු ගී ලියු පැරැන්නන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්.

 

වසංගතය ගැන බටහිර ඉන්න බටහිර වෙද මහත්තුරු ඔවුන්ගෙ ක්‍රමයට ඊනියා පර්යේෂණ කරලා. ඒත් අප කියා ඇති මෙය අලි හෙම්බිරිස්සාවක් පමණක් ය කියා. මෙයට වැඩියෙන් ගොදුරු වෙන්නෙ සෙම අධික අය. මට හිතෙන්නෙ මේ රෝගයෙන් එකල රෝගීන් මිය ගියෙ වැඩියෙන් ම බයට ම කියා. හෙම්බිරිස්සාව හැදිලත් රෝගීන් මිය යන්න ඉඩ තියෙනවා. සමහරුනට නියුමෝනියා තත්වයට එනවා. එහෙත් අප හෙම්බිරිස්සාවට බය නැහැ.

 

අලි හෙම්බිරිස්සාව හැදුණු මුල දී බටහිර වෙදමහතුන් කිසි දෙයක් දැන හිටියෙ නැහැ. එයට ප්‍රතිකාර නැහැ. ඔවුන් එන්නත් හදන්න පටන් ගත්තා. එක එක කතා කිවුවා. මිනිසුන් අලි හෙම්බිරිස්සාවට හොඳට ම බය වුණා. බය කෙරුවා කියන එක වඩා හොඳයි. බයට රෝගීන් රෝගයෙන් පැන යන්න හැදුවා. රෝගීන් රෝහල්වලින් පැන ගියා කිවුවට ඔවුන් පැන යන්න උත්සාහ කෙළෙ ප්‍රතිකාරයක් නැති රෝගයෙන්. බය ඇති වන්නෙ මනසෙ. මනස මිනිසුන් ශාරීරික රෝගීන් බවට ද පත් කරනවා. මට නම් අලි හෙම්බිරිස්සාව හැදුණ ම මතක් වුණෙ ඇරිස්. ඔහු තමයි මුලේ මුල. එහෙම නැත්නම් මුලට යන්න ඊනියා ශාස්ත්‍රීය ව ඉගැන්නුවෙ ඇරිස්.

 

මට දැන ගන්න ලැබී ඇති ආකාරයට දැන් සමහර බටහිර වෙදමහත්තුරුත් හිතනව මේක තවත් හෙම්බිරිස්සාවක් පමණක් කියා. මෙරට සමහර බටහිර වෙදමහතුන් ඒ බව දන්නවා. මෙය දෙයියන්නෙ ලෙඩක්. අපේ සංස්කෘතියෙ දෙයියන්නෙ ලෙඩ කියල කිවුවෙ ප්‍රධාන වශයෙන් ම අද වයිරස් රෝග කියන ඒවට. වයිරස් පැතිරෙන විට වයිරල් වෙනවා කියන්න පුළුවන්. අද මුහුණු පොතෙත් සමහර දේ වයිරල් වෙනවා. මුහුණු පොතත් වයිරසයක් තමයි. ඒත් ඒක දෙයියන්නෙ ලෙඩක් නො වෙයි.

 

අපි අලි හෙම්බිරිස්සාවෙනුත් පරෙස්සම් වෙන්න ඕන. අර මාස්ක්වාදය කොයි එකටත් හොඳයි. අද ලෝකයේ කොහොම වෙතත් ලංකාවෙ ඉන්නෙ මාක්ස්වාදීන් හා මාස්ක්වාදීන් පමණයි. අර කවුද කිවුව වගේ මාක්ස්වාදීන් කියන්නෙ මාක්ස් අනුගමනය කරන්නන් නොව ලකුණු දා ගන්න වැඩ කරන්නන්. මට ලකුණු දාගන්න ඕන නැහැ. මා එන්නත ගන්න කියන්නෙත් නැහැ එපා කියන්නෙත් නැහැ. බටහිර රටවල ෆ්ලූ ෂොට් කියා හෙම්බිරිස්සා උණටත් එන්නතක් විද ගන්නවා.

 

එන්නත ගත්ත ම බය නැති වෙනවා. එන්නත ගත්ත ම අලි හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැහැ කියල මුලදි කිවුවා. පස්සෙ කිවුව ඒක ගත්ත ම මැරෙන්නෙ නැහැ කියල. මරණ බය නැති කරන එක නම් හොඳයි. ධම්මික පැණියට මහා විද්‍යාඥ පුවත්පත් සංස්කාරකවරයකු උඩ පැන පැන ගැහුවත් ධම්මික පැණිය ගත් කිසිවකුත් මැරුණ බවක් මා දන්නෙ නැහැ. මා නම් ඉතින් ඒ සංස්කාරක වගේවත් පඬි නැට්ටන් වගේවත් විද්‍යාඥයෙක් නො වෙයි.