Main Logo

Tuesday 25 January 2022

ජාත්‍යන්තරයට යන්න හදන කාදිනල්තුමා

 

ජාත්‍යන්තරයට යන්න හදන කාදිනල්තුමා

 

කාදිනල්තුමා ජත්‍යන්තරයට යන්න හදනවා. මගේ ඇඟේ ලේ වතුර වුණා. මොකින් මොකක් වෙයි ද දන්නෙ නැහැ. මා විගහට බැලුවා පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන්  ජඩමාධ්‍යවේදීන් මොනව කියනවා ද කියල. බලන කොට කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊනියා විශ්ලේෂණාත්මක ව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ජඩමාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා නිහඬයි. ජඩමාධ්‍යවේදීන්ට එය ප්‍රවෘත්තියක් පමණයි.

 

මට හිතුණෙ අපි ජීවත්වෙන්නෙ දහසයවැනි සියවසේ කියලා. වරාය නගරය හෙවත් පෝට්සිටිය පැත්තට ගිහිල්ල බලන්න ඕනෙ ගෝවෙන් නාවික හමුදාවක් එනව ද කියල. රාජසිංහ රජ්ජුරුවොත් සීතාවක මොනව කරනවා ද දන්නෙ නැහැ. මේක හරි ප්‍රශ්නයක්. පඬි නැට්ටන් රටේ ස්වෛරීභාවයට හානියක් කියල කිසිම උද්ඝෝෂණයක් කරන්න හිතන්නෙවත නැහැ. සමහර විට රටේ ස්වෛරීභාවය තියෙන්නෙ ගෝවෙද කියල කියන්න දන්නෙ නැහැ.

 

එහෙම නැත්නම් ඔය පඬි නැට්ටන් විශ්ලේෂක ජඩමාධ්‍යවේදීන් නිකන් ඉන්නෙ නැහැ. රටේ ස්වෛරීභාවය ඔවුන්ට පණටත් වඩා වටිනවා. අර චීන පොහොර නැව සම්බන්ධයෙන් මොන නැටිල්ලක් ද නැටුවෙ. චීන පොහොර රටවල් පනස් ගණනකට යවනවා. එහෙත් ඒ රටවල චීන පොහොරෙ බැක්ටීරියාවක් දැකල නැහැ. ඒ රටවල මොන විද්‍යාඥයො ද ඉන්නෙ. අපේ රටේ නෙ වැඩ්ඩො ඉන්නෙ. බටහිර වැඩ්ඩන් අගය කරන නොබෙල් තෑගි විස්සක් පමණ දැනටමත් අපේ වැඩ්ඩන් දිනා ගෙන ඉන්නෙ. අර කරාපිටියෙත් නොබෙල් වැඩ්ඩෙක් ඉන්නවා. සමහර පඬි නැට්ටන් හිතන් ඉන්නෙ ඒ වැඩ්ඩා නාථ දෙවියන්ගෙ නියෝජිතයෙක් කියලා. වැඩ්ඩත් බටහිර වෙද වැඩ්ඩෙක්.

 

චීන පොහොරවල බැක්ටීරියා තියෙනවා කියල අපේ වැඩ්ඩො හොයා ගත්තා. චීන සමාගම තුන්වැනි පාර්ශ්වයකට යන්න තීරණය කළා. එයට බැහැ කියන්න බැහැ. ඒත් අපේ රටේ ස්වෛරිභාවය අගයන පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන් කිවුව එහෙම කරන්න බැහැ කියලා. අපේ වැඩ්ඩන් කියනව නම් බැක්ටීරියා තියෙනවා කියල ඒක ප්‍රශ්න කරන්න කාටවත් බැහැ. පඬි නැට්ටන් ඒ පොහොරවලට අශූචි පොහොර කියල නමකුත් දැම්මා. අපේ වැඩ්ඩන්ගෙ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියල කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමය රටේ ස්වෛරීභාවයේ නාමයෙන් පිට කාටවත් ප්‍රශ්න කරන්න දෙන්න බැහැ කිවුව.

 

පඬි නැට්ටන් පොහොර ටික බාන්න ඉඩ දුන්නෙ නැහැ. අපි ඒ දවස්වල නැව තියෙන්නෙ ඉන්දියන් සාගරයෙ කොතන ද කියල හරියට ම දැනගෙන හිටියා. හැමදාම ජඩමාධ්‍යවේදීන් ඒ තොරතුරු අපිට කිවුව. අන්තිමේදි සිංගප්පූරු සමාගමක් කිවුව චීන පොහාරවල බැක්ටීරියාව නැහැ කියල. පඬි නැට්ටන් වලිගෙ දෙකකුල් අතර රඳව ගත්තා. චීන නැවට සල්ලි ගෙවන්න සිද්ධ වුණා. අන්තිමට පොහොරත් නැහැ සල්ලිත් නැහැ.

 

ඒ පොහොර ටික ඒ වෙලාවෙ ගොවීන්ට ලබා දුන්න නම් මහා කන්නෙ අස්වැන්න තව වැඩි කරගන්න තිබුණා. අද අස්වැන්න අඩු නම් එයට පඬි නැට්ටනුත් ජඩමාධ්‍යවේදීනුත් වග කියන්න ඕන.  රටේ ස්වෛරිභාවය කොහොම වෙතත් චීන හොඳ හිත නම් පළුදු වුණා. අපට චීනෙන් හාල් ලබා ගැනීමේ දී ප්‍රශ්න මතුවෙලා. චීනය සමාජවාදී  රාජ්‍යයක් නොවන නිසා පඬි නැට්ටන්ට චීන මිත්‍රත්වය වටිනේනෙ නැතුව ඇති. සමහර විට පඬි නැට්ටන් අතර ඉන්න වමාලාත් සමාජවාදී නොවන චීන මිත්‍රත්වය පළුදු කරන්න වැඩ කළා ද දන්නෙ නැහැ.

 

ඒ මොනව වුණත් චීනය ජාත්‍යන්තරයට පොහොර ප්‍රශ්නය ගෙන ගියෙ නැහැ. ඔවුන් තවත් සමාගමකට කියල පොහොර පරීක්‍ෂා කරවා ගත්ත පමණයි. එතන ආණ්ඩු විරෝධයක් රාජ්‍ය විරෝධයක් තිබුණෙ නැහැ. ගිවිසුම පරිදි පොහොර ලබා නොගැනීම පමණයි ප්‍රශ්නය වුණෙ. ඒත් පඬි නැට්ටන්ට ජඩමාධ්‍යවේදීන්ට ඒක රටේ ස්වෛරීභාවයට කරපු කැළලක් වුණා. මේ කාදිනල්තුමා කරන්න යන්නෙ ඒ වගේ දෙයක් නො වෙයි. ආණ්ඩු විරෝධය  ජාත්‍යන්තරයට ගෙන යන්න.

 

මේ ආණ්ඩු විරෝධය මොකක් ගැන ද? පාස්කු ප්‍රහාරය ගැන. කාදිනල්තුමා තම ප්‍රකාශවලින් මූලික ව ම කියන්නෙ මහාමොළකරු හඳුනගන්න. මා නම් දන්නවා මහා මොළකරු කවුද කියල. ඒ තමයි මහා පිපුරුම. මහා පිපුරුම සිදු නූණා නම් මේ කිසිවක් නැහැ. ආරම්භය තමයි ප්‍රශ්නය. ආරම්භ නූණා නම් ප්‍රශ්නයක් නැහැ. අපිත් නැහැ කාදිනල්තුමාත් නැහැ සරත් වීරසේකරත් නැහැ මුණිත් නැහැ බෝම්බත් නැහැ. මොන එහෙකට මහා පිපුරුම ඇති වුණා ද? මහා පිපුරුම නැත්නම් බෝම්බ පුපුරන්නෙ නැහැ.

 

කාදිනල්තුමාට අද අවශ්‍ය සිරිසේන  පාස්කු ප්‍රහාරයට අල්ල ගන්න. එය ගෝඨාභයට ඡන්දය දීනීම සඳහා කරන ලද ක්‍රියාවක් බව අඟවන ප්‍රකාශ ජඩමාධ්‍යවේදීන්ට පැවසීම. ජඩමාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් ප්‍රචාරය කෙළේ නැහැ. අදාළ මාධ්‍ය සාකච්ඡාවේ කෙරුණු වෙනත් ප්‍රකාශවලට නම් ප්‍රචාරය දුන්නා. මගේ ප්‍රකාශය මේ පිටුවේ දින කිහිපයකට පෙර පළවුනා.

 

මහා පිපුරුම ළඟට පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු දින පනස්දෙකේ ආණ්ඩුව කඩා බිඳ දාපු යටත්විජිතලා රනිල්දාසලා  රනිල්ලා සජිත්ලා සුමන්තිරන්ලා චම්පකලා ඇතුළු පිරිස. දින පනස්දෙකේ ආණ්ඩුව තිබුණ නම් බුද්ධි අංශ හදල පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න තිබුණා. දින පනස් දෙකේ ආණ්ඩුව තිබුණ නම් ගෝඨාභයට ඡන්දය දිනන්න ප්‍රහාරයක් අවශ්‍ය වෙන්න තිබුණෙ නැහැ.

 

අනෙක් අතට මෛත්‍රිපාල වැරදි කාරයකු නම් රනිල් ද ඒ හා සමාන වැරදිකාරයකු වෙන්න ඕන. ඔවුන් දෙදෙනා අතර තිබූ අසමගියට එක් අයකු පමණක් වැරදිකරුවකු වෙන්න බැහැ. සමගියට වගේ ම අසමගියටත් අඩු ගණනේ දෙදෙනකු ඕන. දෙවැන්නා රනිල් නොවේ නම් කවුද?  අප්පුඩි ගහන්න අත්දෙකක් ඕන වගේ ම අප්පුඩි නොගහ ඉන්නත් අත් දෙකක් ඕන.

 

මහා පිපිරුම හා  දින පනස්දෙකේ ආණ්ඩුව අතර යහපාලන ආණ්ඩුව හැදූ අය ඉන්නවා. යහපාලනය හැදුවෙ නැත්නම් අසමගියක් නැහැ. අර සාධාරණ සමාජ ව්‍යාපෘතිය ම පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන. සෝභිත හාමුදුරුවො යුගපෙරළි කාරයො ජඩමාධ්‍යවේදීන් ආදී සියල්ලන් වග කියන්න ඕන. කාදිනල්තුමාට මහා පිපිරුම හා යටත්විජිත හේරත් අතර තවත් අතරමැදියන් ඕන ද?

 

බොරැල්ලෙ වැඩේට ඇමති සරත් වීරසේකර පැනල ප්‍රකාශ දුන්න කියල කාදිනල්තුමා කියනවා. සරත් වීරසේකර පොලීසිය භාර ඇමති හැටියට ඒ ප්‍රකාශය කෙළෙ කාදිනල්තුමා බොරැල්ල සිද්ධියෙන් කලබල වෙලා පැය විසිහතරක් යන්නත් පෙර පොලීසියට දොස් පැවරුවට පස්සෙ. සරත් වීරසේකර පොලීසිය වෙනුවෙන් ඒ ප්‍රකාශය කරන්න ම ඕන. මහා පිපිරුම නොතිබුණා නම් කාදිනල්තුමා ඒ කලබල ප්‍රකාශය නොකළ නම් සරත් වීරසේකරත් නැහැ ඔහුගෙ ප්‍රකාශයත් නැහැ.          

 

කාදිනල්තුමා  පාප්වහන්සේ වේවා කියා මා පතනවා. සිංහලයෙක් පාප් වහන්සෙ වුණා ම කාටද ආඩම්බරේ. කාදිනල්තුමා පටු ගෝත්‍රිකවාදියකු ලෙස සිංහලයකු කියා හිතන්නෙ නැද්ද දන්නෙ නැහැ. එතුමා ජාත්‍යන්තරයට යන ජාත්‍යන්තරවාදියකු වෙන්න පුළුවන්. ජාත්‍යන්තරවාදී පඬි නැට්ටකුගෙන් අහල බලන්න ඕන. ඒත් අපට නම් එතුමා සිංහලයෙක්. දෙමළ ජාතිවාදයට  විරුද්ධ ව කිසිත් නොකී සිංහලයෙක්.  


Uploading: 1858560 of 2436840 bytes uploaded.

Uploading: 371712 of 2681753 bytes uploaded.