Main Logo

Monday 12 December 2022

පොන්නම්බලම් - කුමාරස්වාමි පවුලේ නායකත්වය

 පොන්නම්බලම් - කුමාරස්වාමි පවුලේ නායකත්වය

 

මෙරට ඉන්න කොළඹ ප්‍රභූ දෙමළ කොටස්වලට ඉංගිරිසින් වරප්‍රසාද තනතුරු දීල ඔවුන් ඇතැම් සිංහලයන්ට උඩින් තියන්න කටයුතු කළා. එකල, කියන්නෙ දහනවවැනි සියවසේ අග හා විසිවැනි සියවසේ මුල ඉංගිරිසින් සමග කිට්ටුවෙන් වැඩ කෙළෙ සිංහල කරාව කුලය, ගොවිගම කුලය හා දෙමළ වෙල්ලාල කුලය. ඔවුන් සියල්ලන් පාහේ එක්කෝ ඇංග්ලිකන් ක්‍රිස්තියානි නැත්නම් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් තිබූ අය. ඔවුන් සමාජයේ ප්‍රභූන් වුණා. සිංහල බෞද්ධ ප්‍රබෝධයට ක්‍රිස්තියානි නොවූ කරාව කුලයෙ අයත් සලාගම දුරාව දේව ආදී කුලවල අයත් නායකත්වය දුන්න. අය තමයි පංච මහාවාදවලට දායකත්වය සැපයුවෙ.

 

පංච මහාවාදවල පැවිදි නායකත්වය මොහොට්ටියවත්තෙ ගුණානන්ද හිමියන්ට හිමි වුණා. මෙරට බෞද්ධ ප්‍රබෝධයට අමරපුර නිකාය පිහිටුවීමත් විශාල වශයෙන් දායක වුණා. බෞද්ධ ප්‍රබෝධයෙ  ප්‍රතිඵල තමයි ධර්මපාලතුමාත් ඕල්කට්තුමාත්. ධර්මපාලතුමා පසුව ඕල්කට්තුමාට විරුද්ධ වුණා. ගුණානන්ද හිමියන් ඕල්කට්තුමාට විරුද්ධ මතයක තමයි කටයුතු කෙළෙ. එහෙත් බෞද්ධ පුනරුදයෙන් නායකත්වයට පත් වුණෙ සිංහල බෞද්ධ ගොවිගම කුලය. ඔවුන්ට හැකියාව තිබුණ ධර්මපාලතුමා රටින් පිට කරන්න. එතුමා රටින් පිට කිරීමට නායකත්වය දුන්නෙ විජේවර්ධනලාගෙ ලේක්හවුසිය. ධර්මපාලතුමා උභය කුල පාරිශූද්ධ ගොවිගම නොවන බව අමතක කරන්න බැහැ.

 

බෙදා පාලනය කිරීමේ අතිශූරයන් වූ ඉංගිරිසින් සියලු කොටස් ඉතා සුක්‍ෂම කළමනාකරණය කළා. ඔවුන්ට අවශ්‍ය වුණෙ සිංහලයන් අතර තව තවත් භේද ඇති කර දෙමළ වෙල්ලාලයන් රටේ නායකත්වයට පත් කිරීමමෙරට තනතුරු නම්බුනාම ආදිය දීමේ දී ඉංගිරිසින් වෙල්ලාලයන්ට විශේෂ සැලකිල්ලක් දැක්වූවා. මේ වෙල්ලාල ප්‍රභූන් තමන් රටේ නායකයන් කියන මානසිකත්වයක් ඇති කර නොගත්තා නම් තමයි පුදුමය. සිංහල බෞද්ධ නායකයන් වෙල්ලාලයන්ට නායකත්වය දීමට මැළි වෙලා නැහැ.

 

දහනවවැනි සියවස අග හා විසිවැනි සියවස මුල මෙරට තිබුණේ ප්‍රභූ දේශපාලනයක්. එය බොහෝ විට කුල පදනමකින් කෙරුණෙ. ඉංගිරිසින් ප්‍රධානත්වය දුන්නෙ සිංහල ගොවිගම හා දෙමළ වෙල්ලාල කුලවලට. එය මහමුදලි වැනි තනතුරුවලට පත් කිරීමේ දී පේන්න තිබුණා. 1912 දී සීමිත ඡන්දදායකත්වයක් තිබූ මැතිවරණයේ දී කරාව කුලයේ මාකස් ප්‍රනාන්දුට විරුද්ධ වෙල්ලාල කුලයේ රාමනාදන්ට ඡන්දය දීමට ගොවි කුල පිරිසක් හෙක්ටර් ජයවර්ධනගේ නිවසේ රැස් වී තීරණය කර තිබුණා. රාමනාදන් ඉතා විශාල වැඩි ඡන්දයකින් ජයගත්තා.   

 

1917 සිංහල මුස්ලිම් කෝළාහලයේ සිංහලයන් සිරභාරයට ගැනීම් ආදියට විරුද්ධව රාමනාදන් වැනි අය කටයුතු කර තියෙනවා. විශේෂයෙන් පොන්නම්බලම් රාමනාදන් එංගලන්තයට ගොස් ඉංගිරිසින් එකල පනවා තිබූ යුද්ධ නීතියටත් සිංහලයන් සිරභාරයට ගැනීමටත් විරුද්ධව ක්‍රියා කර තියෙනවා. ඔහු ආපසු ලංකාවට පැමිණි අවස්ථාවේ සිංහල නායකයන් ඔහු රැගෙන යෑමට පැමිණ තිබූ අශ්ව කරත්තයේ අශ්වයා මුදා හැර තමන් රථය ඇද ගෙන ගොස් තියෙනවා.

 

ඔහුට ඉංගිරිසින් ඉතා ඉහළින් සලකා තියෙනවා. 1897 දී ඔවුන්ගේ වික්ටෝරියා රැජනගේ මෞලි මංගල්‍යයේ ස්වර්ණ ජයන්තියේදී කතාවක් කිරීමට එවකට එංගලන්ත අගමැති පොන්නම්බලම් රාමනාදන්ට ආරාධනා කර තියෙනවා. අර මිරිහානේ ජුබිලි කණුව ඇත්තේත් ජුබිලිය නිමිත්තෙන්. මා තවම දන්නේ නැහැ එය මිරිහානට අවශ්‍ය වුණේ මොකද කියලා. කෙසේ වෙතත් ඩී එස් සේනානායක වරක් කියා තියෙනවා මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පොන්නම්බලම් රාමනාදන් බව.

 

පොන්නම්බලම් රාමනාදන්ගේ හා පොන්නම්බලම් අරුණාශලම්ගේ මාමා මුතු කුමාරස්වාමි. පවුලට ඉංගිරිසින් විශේෂ සැලකිලි දක්වා තියෙනවා. මෑතක දී පවුලේ අය මෙරට වැදගත් තනතුරු දරා තියෙනවා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි රධිකා කුමාරස්වාමි මෙන්   ඩී එම් ස්වාමිනාදන් පවුලේ සාමාජිකයන්. මුතු කුමාරස්වාමි ඉංගිරිසින් විසින් නයිට් පදවියකට පත් කරනු ලැබූ පළමු ආසියාතිකයා. ඔහු විවාහ වුණේ ඉංගිරිසි කාන්තාවක් සමග. ආනන්ද කුමාරස්වාමි ඔවුන්ගේ පුතා.

 

රාමනාදන් මෙරට සොලිසිටර් ජෙනරල් පදවියට පත් පළමු ලාංකිකයා. පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ලංකාවේ ප්‍රධාන පවුල වූ බව පැහැදිලියි. ඔවුන් හින්දු ක්‍රිස්තියානි මෙන් බෞද්ධ පොතපත ගැන උන්දුවක් දැක් වූ අය. දේශපාලනය මූලික වශයෙන් කුලය මත පදනම් වූ දහනවැනි සියවස අග ගා විසිවැනි සියවස මුල පවුල සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන උනන්දුවක් දැක් වූවා. මුතු කුමාරස්වාමි දාඨාවංසය හා සුත්තනිපාතයේ කොටස් ඉංගිරිසියට පරිවර්තනය කර තියෙනවා. ආනන්ද කුමාරස්වාමි මධ්‍යකාලීන සිංහල චිත්‍ර කලාව ගැන ලියා ඇති පොත ගැන බොහෝ දෙනා දන්නවා.

 

එහෙත් විසිවැනි සියවසේ තුන්වැනි දශකයේ පමණ තත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. ඡන්ද බලය ක්‍රමයෙන් පුළුල් වත්ම දේශපාලනයේ කුල පදනම වෙනුවට වෙනත් පදනමක් ඉදිරියට පැමිණුනා. දෙමළ වෙල්ලාල නායකයන්ට තම නායකත්වය තබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය මතු වුණා. ඡන්ද බලය ප්‍රභූන්ට පමණක් සීමා වී තිබුණා නම් වෙල්ලාලයන්ට ප්‍රශ්නයක් වන්නේ නැහැ. (මතු සම්බන්ධයි) .

 

මෙහි ඇති ඡායාරූපය මුතු කුමාරස්වාමිගේ.