Main Logo

Wednesday 28 December 2022

කුල හීනමානය

 කුල හීනමානය

 

ඊයේ ලිපියෙහි ගෝඨාභය ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් ගොස් ඇති බව සඳහන් වුණේ ලංකා සී නිවුස් හි හා ලංකා ලීඩ් නිවුස් හි බව ප්‍රකාශ කර තිබූ නිසා. මා ප්‍රවෘත්තිය විශ්වාස කළා. එහෙත් ලිපිය පළ වීමෙන් පසු මට මිතුරකු කියා එවුවේ ප්‍රවෘත්තිය වැරදි බවත්  ගෝඨාභය රාජපක්‍ෂ පවුල සමග ඩුබායි ගොස් ඇති නමුත් ඔහුගේ පුතා ලේලිය හා මිණිබිරිය පමණක් එතැන් සිට එක්සත් ජනපද බලා යන බවත් එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ සිය භාර්යාව සමග ආපසු ලංකාවට පැමිණෙන බවත්. ගෝඨාභයට තවමත් එක්සත් ජනපදයට යෑමට වීසා ලැබී නැති බවයි කියැවෙන්නේ.  

 

මා ප්‍රවෘත්තිය දැන ගත් වහාම මගේ ලිපියේ පිළිබඳ කෙටි සටහනක් පළ කළා. එහෙත් පසුව ලංකා සී නිවුස් හා ලංකා ලීඩ් නිවුස් බැලූ විට ප්‍රවෘත්තිය ඉවත් කර තිබුණා. අඩුම තරමින් තම වරද ගැන සඳහනක්වත් කර තිබුණේ නැහැ. කාට හරි හිතෙන්න පුළුවන් ප්‍රවෘත්තිය මා හැදූ එකක් කියා. අර ප්‍රවෘත්ති වාර්තාවල ඡායාරූප මා ලබා ගත්තෙත් නැහැ. කෙසේ වෙතත් මගේ ලිපියේ වූ සඳහන ගැන මා ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සියල්ලන්ගෙන් යම් සිත් තැවුලක් වී නම්  සමාව අයදිනවා.

 

එහෙත් ලිපිය මා මෙසේ දිගට ලියනවා. එයට හේතුව බටහිරයන්ගේ සැලැස්මේ එක් අදියරක් අවසන් වී තිබීමත් තවත් අදියරක් පටන් ගෙන තිබීමත්. සැලැස්ම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැති කිරීමත් හැකි නම් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතු ගා දැමීමත්. මෙරට ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනක් සියවසකට වැඩි කාලයක් තිස්සේ පවතිනවා. එය මෙරට විජාතිකත්වය වෙනුවෙන් ඔවුන්ගේ වචනවලින් කඩේ යන ඊනියා උගතුන්ගේ වැඩක් නො වෙයි. ඔවුන් දෙකයි පනහේ උගතුන් හා හීනමානය වසා ගැනීමට උත්සාහ කරන දීනයන් පමණයි. විජාතිකත්වය එදා සිට මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසින්.

 

සටනේ දී බටහිරයන් අර හීනමානය ඇති දෙකයි පනහේ උගතුන් යොදා ගන්නවා. ඒ් අතර වැඩියෙන් ඇත්තේ වමක් නැති වමාලා. ඔවුන්ට ඇත්තේ ධනපති ක්‍රමය සමග සටනක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ වුවමනාව. ධනපති ක්‍රමය නැති කර ඊනියා සමාජවාදයක් ඇති කිරීමට නොහැකි බව ඔවුන්ට මේ වන විට තේරෙන්න ඕන. මාක්ස් අතිශයින් අසාර්ථක මිනිසකු බවත් ඔහුගේ හිතළු වැඩ නොකරන බවත් මොන සංශෝධනය කළත් ඔහු වලෙන් නැගිට්ටන්න බැරි බවත් අපට නම් පැහැදිලියි. දීන දෙකයි පනහේ උගතුන්ට පැහැදිලි නැද්ද යන්න කියන්න බැහැ. එහෙත් ඔවුන් බටහිරයන්ගේ එක් එක් කතා අපට කීමට නම් රුසියන්. අනුකාරකයන්ට කළ හැකි වෙන දෙයක් ඇත්තේත් නැහැ.

 

වමාලා කෙසේ නමුත් තම ඓතිහාසික කාර්යභාරය ලෙස සලකන්නේ සිංහල ජාතියට අවමන් කිරීම හා සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම. වමාලා එවැනි ස්ථාවරයකට පැමීණීමට හේතු කිහිපයකුත් තියෙනවා. ඔවුන්ට විවිධ කරුණු නිසා හීනමාන ඇති වෙනවා. මෙරට කුල භේදයක් තියෙන බව අප පිළිගන්නවා. සිංහල සමාජයේ ගොවිගම කුලය නුවර යුගයේ සිට ආධිපත්‍යයක් උසුලනවා. එය ප්‍රධාන වශයෙන් තමන්ට විරුද්ධ ක්‍ෂත්‍රියයන් නැති කිරීමට ලන්දේසීන් ඇති කළ ඉංගිරිසින් වර්ධනය කළ එකක්. අතින් ගත්තොත් එය යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක්. අප ආධිපත්‍යය නැති කිරීමට කටයුතු කළ යුතුයි. එහෙත් එහි දී සිංහල ජාතියට අවමන් කිරීමවත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමවත් නොකළ යුතුයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට සියලු වමාලා අද වි පෙ වටා එක්වනු පේන්න තියෙනවා. අනෙක් විජාතික අවශ්‍යතා ඇත්තවුන්  රනිල් වටා රොක් වෙනවා. රනිල් මොකද රනිල්දාස මොකද?

 

ඇතැම් පඬි නැට්ටන්ට තමන් ගොවිගම කුලයේ නොවී ඊනියා අඩු කුලයක උපත ලැබීම හීනමානයට එක් හේතුවක්. පරගලයේ සිංහල බෞද්ධ ගොවිගම විරෝධයක් මුල සිට දැක ගන්න පුළුවන් වුණා. බව අප දවස්වල සඳහන් කර ඇති. මෙරට කෙතරම් උසස් තනතුරක් දැරුවත් කුලය ප්‍රශ්නයක් වෙන අවස්ථා තියෙනවා. පරිපාලන ක්‍ෂෙත්‍රයෙත් විශ්වවිද්‍යාලවලත් ඇතැම් විට එය දකින්න පුළුවන්. නැති කිරීමට ක්‍රියා කිරීම කියන්නෙත් යටත්විජිතවාදයට විරුද්ධ පෙළ ගැසීමක්. එහෙත් යටත්විජිතවාදීන් ඉතා දක්‍ෂ ලෙස එය තමන්ට විරුද්ධ ක්‍රියාත්මක වණු වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ක්‍රියාත්මක වන දෙයක් බවට හරවා ගෙන තියෙනවා.

 

ඇතැමුන් ආශු සිද්ධියත් සිංහල ජාතියට අවමන් කිරීම සඳහා යොදා ගන්නවා. ආශු කතාව ඇත්තක් බොරුවක් යන්න වෙන ප්‍රශ්නයක්. එහෙත් පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ සුප්පා දේවිය සිංහයකුගෙන් දරුවන් ලැබී යැයි කියන සිද්ධිය. පඬි නැට්ටන් කතාව ඇත්තට විශ්වාස කරනවා ? ඔවුන් තමන් අදහන බටහිර ජීව විද්‍යාව විශ්වාස කරන්නේ නැද්ද? ඔවුන් බොහෝ දෙනා බටහිර විද්‍යාව විශ්වාස කරන්නන් පමණයි. බටහිර විද්‍යාඥයන් කියන කිසිවක් ඔවුන්ට කර බලන්න බැහැ. අඩු තරමෙන් සමීකරණයක් විසඳන්න නොවෙයි ලියා ගන්නවත් බැහැ. පරීක්‍ෂණයක් කරන්නවත් බැහැ. ඔවුන් කරන්නේ බටහිර විද්‍යාඥයන් කියන දේ විශ්වාස කිරීම පමණයි. අද ලොවේ පවතින ප්‍රධාන ආගම බටහිර විද්‍යාවයි. පඬි නැට්ටන්ට කෙතරම් කිවුවත් තර්කය කියන්නෙත් විශ්වාසය මත පදනම් වූවක් බව ඔවුන්ට එය තේරුම් ගැනීමටවත් ශක්තියක් නැහැ. නැවතත් මා කියනවා පුළුවන් නම් A=B හා B=C නම් A=C බව සාධනය කරන්න.

 

ඔය සිංහ කතාව මා මෙයට අවුරුදු විස්සකට විසිපහකට පමණ ඉහත දිවයින පත්තරේ සිංහබාහු ප්‍රවාදය නම් ලිපියකින් විස්තර කළා. ලිපිය මා ළඟ නැහැ. මට මතක තියෙන අයුරින් එහි සඳහන් වන්නේ කුමක් කියා හෙට කියන්නම්.