Main Logo

Friday 9 December 2022

සේරිවාණිජ ජාතකයෙ ආච්චි හා අයවැය

 සේරිවාණිජ ජාතකයෙ ආච්චි හා අයවැය

 

අයවැය සම්මත වුණා. ඔය ගණන් හිලවු ගැන කතා කරන එකත් තේරුමක් නැති දෙයක්. ආර්ථික අර්බුදයට අයවැයෙන් විසඳුමක් ලැබෙන්නෙ නැහැ. එයට මූලික හේතුව අර්බුදයට හේතුව හරි හේතු හරි නොදැනීමයි. හේතු නොදැන ප්‍රශ්නයකට පිළිතුරු හොයන්න බැහැ. තාම මිනිසුන් වැඩි හරියක් හිතන්නෙ රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා ආර්ථික අර්බුදය ඇති වුණා කියල. හේතුව ඒක නම් එයට විසඳුමත් දීල තියෙන්නෙ. දැන් රාජපක්‍ෂලා බලයේ නැහැ. ප්‍රශ්නය විසඳිලා ඉවරයි. දැන් තෙල් පෝලිම් නැහැ. ගෑස් පෝලිම් නැහැ.

 

ආණ්ඩුව තවමත් කල්පනා කරන්නෙ ණය ගන්නෙ කොහොමද කියල මිසක් ණය ගෙවන්නෙ කොහොමද කියල නො වෙයි. ණය දේශීය ණයත් තියෙනවා. විදේශීය ණයත් තියෙනවා. දේශීය ණයත් තව ගන්න ඕන. ඒක නම් කොහොම කොහොම හරි කර ගත්තා කියමු. විදේශීය ණය ගන්නෙ කොහොම ? අපට ඕන ඩොලර්. අපි බංකොළොත් රටක් බව අපි කියා ගත්තා. ආර්ථික විශේෂඥයන්ගෙ බලපෑම් මත. දැන් විශේෂඥයන් දැක ගන්න නැහැ. ඔවුනුත් උගත්තු. ඔවුන්ගෙන් බදු අය කරනවා ? විශ්වවිිද්‍යාල ආචාර්යවරුන් නම් ඉල්ලල තිබුණ තමන්ගෙන් බදු අය කරන එක නතර කරන්න කියල. ඒක ඇහුණ ගමන් මගේ හිතට ආවෙ ඔවුන් උගතුන් වුණත් අදහස් නැති අය ලෙස මා කියන එක තහවුරු වුණු බව.

 

ඔය උගතුන්ට අදහස් තිබුණ නම් මේ රටට මෙහෙම වෙන්නෙ නැහැ. අපි වැඩියෙන් හිඟා කන්නෙ අදහස්. අපට නැත්තෙ ඩොලර්වලට වඩා අදහස්. අදහස් තියෙනවා නම් ඩොලර් වුණත් හොයා ගන්න පුළුවන්. මා කියන්නෙ ඩොලර් ණයට ගන්න නො වෙයි, උපයා ගන්නඔය ආර්ථික විද්‍යාව ගැන මෙරට ඉන්න එක ආර්ථික විද්‍යාඥයකුවත් අලුතෙන් අදහසක් සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්) ඉදිරිපත් කරල තියෙනවා ? මා නම් වශයෙන් සඳහන් කරන්නෙ නැහැ. එහෙත් ඔය විශ්වවිිද්‍යාලවලින් ආර්ථික විද්‍යාඥයන් කී දෙනකු අවුරුදු පතා බිහි කරනවා ? ආර්ථික විද්‍යාඥයන් බිහි කිරීමට කොපමණ මුදලක් යනවා ? මුදලුත් අප ණයට ගන්න එපායැ.

 

මා ආර්ථික විද්‍යාඥයකු තබා කිසිම විිද්‍යාඥයකු නො වෙයි. මට එකල තිබුණු ප්‍රශ්නය මට විද්‍යාඥයකු වීමට නො හැකි වූයේ ඇයි යන්නයි. මා එය විසඳා ගෙන ඉවරයි. මට විද්‍යාඥයකු වීමට නොහැකි වූයේ මා ථෙරවාද බෞද්ධයකු වීම නිසයි. දැන් ඔය උගතුන් අතර නිරාගමිකයන් ඉන්නවා. ඔවුන්ට බැරි ආර්ථික විද්‍යාඥයකු වෙන්න. මා නම් හිතන්නෙ බැහැ කියා. ඔවුන් නිරාගමික වුණත් තවමත් වැඩ කරන්නෙ බෞද්ධයන් ලෙස නිසා. කියන්නෙ ඔවුන් වැඩ කරන්නෙ බෞද්ධ සංස්කෘතියක. ඔවුන්ට හිතන්න බැරි එකත් ප්‍රශ්නයක්. ඒත් ඒක වෙන ප්‍රශ්නයක්.

 

ආර්ථික විිද්‍යාවෙ ප්‍රශ්නය අපේ ආර්ථික අර්බුදය විසඳන්නට අපට බටහිරින්වත් අදහසක් හිඟා කන්න බැරි එක. බටහිරත් හරි හමන් අදහසක් නැහැ. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවඋගතුන් අකමැති වුණත් බදු වැඩි කිරීම, ණයට ගැනීම, මුදල් නෝට්ටු අච්චු ගැහීම, පොලී අනුපාතය වැඩි කිරීම, ආණ්ඩුවේ වියදම අඩු කිරීම, සහන කැපීම, තියෙන දෙයක් විකිණීම වගේ කතා තමයි ඇහෙන්නෙ. අර සේරිවාණිජ ජාතකයෙ ආච්චි තමා සන්තක තිබුණු රන්තළිය විකුණන්න ගත්ත තීරණයට වඩා හොඳ දෙයක් ආර්ථික විද්‍යාඥයන්ට කියන්න පුළුවන් ? ඒත් අපි ආච්චිට ආර්ථික විද්‍යාඥවරියක කියන්නෙ නැහැ.

 

ඇගේ වාසනාවට බෝසත් වෙළෙන්දකු පැමිණ රන් කහවුණු දී තළිය ගත්තා. දැන් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. එකක් ආච්චිත් හා සම්බන්ධයි. ඇයට ලැබුණු රන් කහවුණු ඉවර වුණාට පස්සෙ ඇය මොකක් කෙළෙ. ජාතක කතාවෙ ගැන කියන්නෙ නැහැ. ඇයට විකුණන්න වෙන මොනවවත් තිබුණ ? අර මිණිබිරියට මොක වුණේඅපත් අප සතු දේ විකුණුවට පස්සෙ මොනවා විකුණන්නෙ? මීළඟ පරම්පරාවලට මොක වෙන්නෙ? දෙවැන්න අපේ රන් තළි ගන්න බෝසතුන් වහන්සේලා පැමිණෙයි ? අපට ඉන්නෙ දේවදත්තයන් ටිකක් ?

 

අප ධනපතියන්ට බණිනවා. ඒත් මේ රටේ ධනපතියන් නැහැ. මෙරට බුද්ධිමතුන් නැතුව වගේ ධනපතියනුත් නැහැ. මෙහෙ ඉන්නෙ බයින් ඇන්ඩ් සෙලින් එහෙම නැත්තන් මිළ දී ගෙන විකුණන වෙළෙන්දන් ටිකක්. එහෙමත් නැත්තන් දේශපාලනඥයන්ගෙ පිහිටෙන් කැසිනො ගහන අය. මෙරට ධනපතියන් කියන අය එදා ඉඳල බිහිවෙලා තියෙන්නෙ එහෙමයි. අර කුමාරි සොයිසා ජයවර්ධන කියන්නෙ එයාගෙ කුරුඳුවත්තෙ ගිරිගෝරිස් මාවතේ පිහිටි ගෙදර බිත්ති හීරුවා අරක්කු ගඳ එනවා කියලා. බිරිතානින්ගෙ පිහිටෙන් අරක්කු රේන්දෙ ගත්ත අය ගැන කියන්නෙ. හැබැයි විශාඛා විද්‍යාලය හැදුවෙත් අයමයි. වතු ආර්ථිකය ගත්තත් එහෙමයි.

 

පස්සෙ කාලෙක දාස මුදලාලි මැලිබන් මුදලාලි ඩී එස් අයි මුදලාලි වගේ තම උත්සාහයෙන් යමක් නිෂ්පාදනය කරල වෙළෙඳ පොළට දැම්ම ටික දෙනෙක් හිටියා. දැන් මුදලාලි නැහැ. දැන් ඉන්නෙ ව්‍යවසායකයන් කවුද කියන අය. ඔවුන් මොනව අලුතෙන් නිෂ්පාදනය කරන්නෙ. නිෂ්පාදන ආර්ථිකය ගැන දැන් හැමෝ කටින් බතල කොළ හිටවනවා. බතලත් නැහැ කොළත් නැහැ. කොළ තිබුණ නම් කාට හරි හිටවන්න පුළුවන්.

 

ආර්ථික අර්බුදයෙන් ගොඩ යන එක ලෙහෙසි වැඩක් නො වෙයි.   ඒක සම්මන්ත්‍රණ තියල කරන්න පුළුවන් වැඩක් නො වෙයි. අයවැය සම්මත කරල කරන්න පුළුවන් වැඩකුත් නො වෙයි. තිස්ස අත්තනායක වුණත් කී දෙයක් අමතක කරන්න හොඳ නැහැ. ඔහු කියා සිටියෙ ලංකාවෙ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නෙ නැති බව. ක්‍රියාත්මක කළත් නැතත් වෙන්නෙ තව තවත් ණය වීම පමණයි. අර කථිකාචාර්යවරුන්ගෙන් බදු අය කළා කියල ලොකු මුදලක් එකතු වෙන්නෙ නැහැ. නරක ඔවුන්ට බදු ගෙවීම සඳහා බදු දීමනාවක්  (Tax Allowance) දුන්න නම්. මට මතක් වෙන්නෙ අපි කාලෙ හරියට අවුරුදු තිහකට ඉහත කරපු සටන. අපි මොන තරම් දීමනා ලබා ගත්ත ? මා සේවයෙන් අස් කිරීමට පෙර වැඩ තහනම් කරලත් ගිය මාසෙට හරියට අවුරුදු තිහක් වුණාමට එක දීමනාවක්වත් ලැබුණෙ නැහැ.