Main Logo

Friday 2 December 2022

නව තාපස නිකාය රනිල් හා පරාභව සූත්‍රය

 නව තාපස නිකාය රනිල් හා පරාභව සූත්‍රය

 

අදත් ඉතා දරුණු ලෙස භික්‍ෂූන් වහන්සේට අපහාස කිරීමේ ව්‍යපාරයක් පටන් ගෙන. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන පොතපතින් අහුලා ගත් කරුණු පමණක් දන්නා රනිල් වික්‍රමසිංහ මහානායක හාමුදුරුවන්ට කියන්නේ මහානායක කියා. මා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රචාරයක මෑතක දී දැක්කා රනිල් එක් අතක් දිගු කර පිරිත් නූලක් බන්දවා ගන්නා අයුරු. පිංකම මොකක් කියා මට මතක නැහැ. වැඩි ඈතක නො වෙයි. තැන්නෙ කවුද කියල හාමුදුරු නමක් මහානායක හාමුදුරුවරුන්ට බත්බැලයන් කියා කියලා. වර්තමාන තාපස නිකාය දන්නෙ නැහැ. මේ උන්නාන්සෙලා සමග පාදිලි උන්නාන්සෙලත් දකින්න පුළුවන්. පරගලයේ ද පාදිලි උන්නාන්සෙල දකින්න පුළුවන් වුණා.   

 

රනිල් කතිකාවත් හදන්න යනවා. ජනබලයක් ජනවරමක් නැති ඔහුගෙ නායකත්වයෙන් හදන කතිකාවත්වලට වඩා අවශ්‍ය සිංහල බෞද්ධ නායකත්වයක්. රනිල් පත් කරනු ලැබූ පරගලයට වටිනාකමක් ඇත්තේ බටහිර පමණයි. සිංහල බෞද්ධ නායකත්වයක් කියන එකෙන් මා අදහස් කරන්නේ පෞද්ගලික සිංහල බෞද්ධ නායකයකු කියන එක නො වෙයි. රනිල්ගෙ කාර්යභාරය අවසන් වීමෙන් පසුව ඔහු අගමැති කමෙන් අස්කළා නම් ඊටත් කලින් ගෝඨාභය පරගලය පරාජය කළා නම් කියා හිතෙනවා.

 

ඒත් දැන් දැන් හෙළිවන තොරතුරු අනුව ගෝඨාභයට නිවැරදි තොරතුරු ලැබී නැහැ. ආතල්ගම සිට ජනාධිපති මන්දිරය වටලන්න එන තුරු ඔහු මන්දිරයේ තබා ගත්තේ අහවල් එකකට ? මෛත්‍රිපාල ඉස්සර කියනවා ඔහු යම් යම් දේ දැන ගත්තේ ජනමාධ්‍යයෙන් කියල. ආරංචි හැටියට ගෝඨාභයත් වැටලීම ගැන දැන ගෙන තියෙන්නෙ ජනමාධ්‍යයෙන්. පරගලයේ ආරම්භයටත් කලින් කාදිනල් උන්නාන්සෙ පාස්කු ප්‍රහාරයෙ මහා මොළ කරු හෙවුවා. දැන් සද්දයක් නැත්තෙ මහා මොළ කරු හොයා ගෙන නිසා වෙන්න ඇති. අර සර ෆේල් ව්‍යාපාරය පටන්ගන්න කොට ගෝඨාභය පත්වෙලා මාස කීය ? පරගලය නම් ෆේල් නැහැ. මෙරට සෙප්පන් හරි පඬි නැට්ටන් හරි නිසා නො වෙයි. බටහිර රටවල්වල සැලසුම් නිසා.

 

සිංහලයන් බටහිර රෝම ලන්දේසි හා ඉංගිරිසි නීතියෙන් හික්මවන්න බැහැ. සිංහලයන් හික්මුණෙ පන්සලෙන්. ඔවුන්ගෙ විනය පන්සල සමග මිස අධිකරණය පොලීසිය සමග බැඳුණු එකක් නො වෙයි. සිංහලයන් නැති කරන්න පන්සල නැති කරන්න ඕන. ඒක ඉංගිරිසින් දැන ගත්තෙ බ්‍රවුන්රිග්ගෙ කාලෙ ඉඳන්. භික්‍ෂූන් වහන්සේට වඩා ගිහි අප දන්නවා මානසිකත්වය ඇති කරල තරමක් කල්, එයට ඉංගිරිසි අධ්‍යාපනය ආරම්භ කළ මිෂනාරිවරුන් මෙන් ඕල්කට්තුමාත් වග කියන්න ඕනෙ.

 

තර්කයෙන් මිනිසුන් හදන්න බැහැ. තර්කයටත් ආරම්භයක් තියෙනවා. ඒවා විශ්වාසය මත පදනම් වූ දේ. බටහිර දර්ශනයෙන් මිනිසුන් හදල නැහැ. දර්ශනයෙ කටයුත්ත මිනිසුන් හදන එක නො වෙයි කියල ඕන නම් කියන්නත් පුළුවන්. කුමක් වුණත් තර්කය ස්වසිද්ධි (axioms) අනුමිති නීති (rules of inference) ආදියට යටයි. මා කියා ඇති හැකි නම් A=B නම් B=C නම් A=C බව පෙන්වන්න. මා ඊටත් වඩා ලෙහෙසි කියා හිතෙන දෙයක් කියන්නම් AB=BA බව පෙන්වන්න. අවශ්‍ය නම් ගණිතයේ න්‍යාස (matrices) ගැන මුලික දැනුම ඇති අයකුගෙන් අහන්න.

 

තර්කය නිවැරදි කියා තර්කයෙන් පමණක් පෙන්වන්න පුළුවන් ? පේරාදෙණියේ දර්ශන අධ්‍යනාංශය ඇති වූවාට පසු බුදුදහමට සිදු වී ඇති හානිය වෙන ලියන්න ඕන. මුඵ විශ්වවිද්‍යාල හා පාසල් පද්ධතිය වළක්. හාමුදුරුවරුන් මිනිසුන් හැදුවෙ නීතියෙන්වත් තර්කයෙන්වත් නො වෙයි. බෞද්ධ සංස්කෘතියෙ ගිහියන්ට අණ නීති නැහැ. භික්‍ෂූන් වහන්සේටත් විනය දේශනා කෙළෙ ශාසනය ඇතී වී අවුරුදු විස්සකට පස්සෙ. නීතිය කියන එක දෙවියන්ගෙන් එන දෙයක්. Though shalt not kill බෞද්ධ සංස්කෘතියෙ නැහැ. අප කරන්නේ සික්ඛා පද අනුව ජීවත් වීමට උත්සාහ කිරීමයි. මම සතුන් මැරීමෙන් වළකිමි. එපමණින් හැදුණු අප අද බටහිර නීතියෙන් හදන්න බැහැ. භික්‍ෂූන් වහන්සේ අවලංගු කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල.

 

පරාභව සූත්‍රයේ මුලින්ම කියන්නේ මෙයයි. “දියුණුවන පුද්ගලයා , කරුණුවලින් දත හැකි වෙයි. පිරිහෙණ පුද්ගලයා එසේම දත හැකි වෙයි. දශ කුශල ධර්මයට කැමැති වූ පුද්ගල තෙමේ දියුණු වෙයි. ධර්මයට ද්වේෂ කරන තැනැත්තේ පිරිහෙයි.” අද සමාජය ලෙස ගතහොත් ධර්මය පදනම් කර ගත් සංස්කෘතියට ද්වේෂ කරන්නන් බිහි වෙලා තියෙනවා. එමෙන් ධර්මය බටහිර විද්‍යාවට යට කරල තියෙනවා. භික්‍ෂූන් වහන්සේගේ කොන්ද කඩල තියෙනවා. භික්‍ෂූන් වහන්සේට බුදුදහම විද්‍යාත්මක බව කියන්න වෙලා තියෙනවා.

 

බටහිර අදහන පඬි නැට්ටකු අහන්න පුළුවන් බටහිර රටවල බුදුදහම පිළිගන්නවා භික්‍ෂූන් වහන්සේට ගෞරව කරනවා ආදී ප්‍රශ්න. බටහිර රටවල සංස්කෘතිය වෙනස්. එහි මිනිසුන් හික්මවන්නේ දේව නීතිය පදනම් කරගත් ක්‍රිස්තියානි නීතිවලින්. ඔවුන් දියුණුව ලෙස සලකන්නේ ස්වභාව ධර්මය සූරාකමින් මිහිපිට සුරපුරක් ඇති කිරීම. ඔවුන් තමන්ගේ ක්‍රමයට කටයුතු කරනවා. පරිසරය රැකීම කියන එක පොතට සීමා වූවක්. ඇතැම් තැන්වල ගස් ටිකක් නමට රකිනවා. ඔවුන් තම ක්‍රමයෙහි දියුණුවක් ලබා ගන්නවා. රනිල් ඊජිප්තුවට ගිහින් කිවුවට බටහිරයන් පරිසරය රකින්නෙ නැහැ. ඔවුන් රැස්වීමටවත් ආවෙ නැහැ. පරිසරය රැකල බටහිර දියුණුව අත් කරගන්න බැහැ. බටහිර විද්‍යාවට පරිසරය රකින්න බැහැ.  මා ගැන පොතකුත් ලියා ඇති. පොතක් කිවුවට ලිපි එකතුවක්. ඒක කඩල ඔතන්න අරන් ගිහින්.

 

අපට අපේ ක්‍රමයක් තියෙනවා.  අපට අවශ්‍ය පරිදි බටහිර ඇතැම් දේ අවශෝෂණය කරගන්න පුළුවන්. මා මේ ලිපිය වළාකුළට යවනවා. ඒත් මගේ පදනම සිංහල බෞද්ධ සංස්කෘතිය. අපි අපේ පදනම බිඳ ගන්න ඕන නැහැ. අද මෙරට බුද්ධි ආධිපත්‍යය ඇත්තේ අනුකාරකයන්ට. ඔවුන් දහමට වෛර කරනවා. මත පදනම් වූ සංස්කෘතියට ද්වේෂ කරනවා. මෙහි තෝතැන්න පාසල් හා විශ්වවිද්‍යාල හා දැන් ජනමාධ්‍ය. උදේට පිරිත් ප්‍රචාරය කළාට වැඩක් නැහැ. දවල්ට රෑට වෙනත් දේ ප්‍රචාරය කරනව නම්. අද අපි හැම තෑන කරන්නෙ ඒක. බණ අහනවා. බටහිර විද්‍යාව අදහනවා. හාමුදුරුවන්ට බණිනවා. බටහිර දැනුමට නමස්කාර කරණවා.