Main Logo

Thursday 22 December 2022

ක්‍ෂත්‍රියයන්ගේ පැමිණීම හා මහාවංසය

 ක්‍ෂත්‍රියයන්ගේ පැමිණීම හා මහාවංසය

 

මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් තියෙනවා. අපොයි නැහැ පරගලය ඉන් එකක් නො වෙයි. පරගලය කියන්නෙ බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ වුවමනාවට මෙරට ජාතිකත්වය නැති කිරීමේ ක්‍රියාවලියේ එක් අවස්ථාවක් පමණයි. එය දැනටමත් අසාර්ථක වෙලා. පරගලයෙ ඊනියා නායකයො එකිනෙකා සමග ඇණකොටා ගන්නවා. වමක් නැති වමාලා තමන්ගෙ වැඩක් හැටියට පෙන්නපු පරගලය ගැන දැන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා. විප්ලවයවත් ක්‍රමය වෙනස්වීමක්වත් සිද්ධ වුණෙ නැහැ. රනිල් 2024 වෙනකම් ඉන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නවා. රනිල් පුංචි ඡන්දෙට එන්නෙ නැහැ වගේ. පොහොට්ටුවට තනියම එන්න වෙයි වගේ. ජාතිකත්වය නැති කර ගත් පොහොට්ටුවට විරුද්ධ යම් ජාතිකත්ව බලවේගයක් ගොඩ නැගෙන්න ඕන.

 

එහෙත් අද රටේ යම්කිසි ආකාරයක පෙළ ගැහීමක් සිද්ධ වෙමින් පවතිනවා. ක්‍රමය වෙනස් කිරීමක් ගැන නො වෙයි. පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුවෙමින් පවතිනවා. මහනුවර යුගයේ අවසාන භාගයේ සිදු වූ පෙරළියක් වෙනස් වීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්. මෙරට පාලන තන්ත්‍රය කිහිප අවස්ථාවක වෙනස් වෙලා තියෙනවා. මහාවංසය එය විස්තර කරන්නේ විජයගේ සිට. මහාවංසයට වුණත් කවුරු අමතක කළත් යක්‍ෂ නාග රාක්‍ෂස දේව අමතක කළත් කුවේණිය අමතක කරන්න බැහැ. කුවේණිය කවුද?

 

ඇය යක්‍ෂයන්ගේ ප්‍රාදේශීය පාලිකාවක්. මාන්තොට නැත්නම් මන්නාරම් ප්‍රදේශයේ වාසය කළ බවයි කියන්න පුළුවන්.  යක්‍ෂ නාග දේව පිරිස් අතර පාලකයන් හරි ප්‍රධානීන් හරි සිටි බව පැහැදිලියි. යක්‍ෂයන් තම පාලකයන්ට (ප්‍රධානීන්ට) කෙසේ ආමන්ත්‍රණය කළා කියා අප දන්නේ නැහැ. එහෙත් දේව පිරිස නම් තම ප්‍රධානීන්ට දේවයන් වහන්ස කියා ඇමතූ බවක් පේන්න තියෙනවා. පසු කලෙක සිංහල රජවරුන්ටත් ඇමතීමේ දී ආමන්ත්‍රණය යොදා ගෙන තියෙන බව පේනවා.

 

විජය පුවත කතා කිහිපයක එකතුවක් ලෙසයි පේන්න තියෙන්නෙ. භාරතයේ නැගෙනහිර වෙරළෙන් පිටත් වූ විජය හා පිරිස රවුම් ගසා බටහිර වෙරළට ගොස් සුප්පාරකින් පිටත්වීම එක කතාවක් වෙන්න බැහැ. අපට වංගය හා කාලිංගය මෙන් සුප්පාරකය වැදගත් වෙනවා. පරණවිතාන මහතා ග්‍රීකයෝ හා මෞර්යයෝ පොතේ සිංහලයන්ගේ ආරම්භය ගැන කියන්නේ වෙන කතාවක්. සිංහල කියා තැනැත්තකු ගැනත් කියැවෙනවා. ඔහුටත් සිංහ සම්භවයක් තිබුණා කියනවා. ඔහු හා සුප්පාරකය අතර සම්බන්ධයකුත් තියෙනවා.

 

මහාවංසය මේ සියළු කතා එකතු කිරීමේ වෑයමක් දරා ඇති බව පැහැදිලියි. මගේ උත්සාහය කතා ගෙන හැර දැක්වීම නො වෙයි. විජයගෙන් හරි සිංහලගෙන් හරි මෙරට පාලන තන්ත්‍රයට වූ වෙනස්කමයි අපට වැදගත් වෙන්නෙ. මා ඉතිහාසඥයකු නම් නො වෙයි. කවුරු හරි ඉතිහාසඥයකු කියන්න බැරි නැහැ නොදන්න ඉතිහාසයක් ගැන කතා නොකර විද්‍යාව ගැන කියන්න කියා. එහෙත් ප්‍රශ්නය වන්නේ මා විද්‍යාඥයකු නො වීමයි. මා දේශපාලනඥයකුවත් දේශපාලන විද්‍යාව කියන එක හැදෑරු අයකුවත් නො වෙයි. එහෙත් කිසිවක් නොහැදෑරු අයත් ගැන කතා කරනවා. කතාකරන්න බලන් ඉන්නවා.  මා ඉතිහාසය ගැන කියවා ඇති පොත් හරි දේශපාලන විද්‍යාව ගැන කියවා ඇති පොත් හරි මොනවා කියා ඇහුවොත් මට දිග ලැයිස්තුවක් දෙන්න බැහැ.

 

වුණත් වෙන් කිරීම අපේ සංස්කෘතියේ දකින්න නැහැ. අර කටපාඩමින් දැනුම ගෙනා දවස්වල නම් කටපාඩම් කිරීම සඳහා කොටස් එක එක පිරිස්වලට භාර දී තිබුණා. වගේ කටපාඩම් කිරීමේ ක්‍රම තිබුණා. එය පෞද්ගලිකව නොව සාමූහික කරන ලද්දක්. කෙසේ වෙතත් පිරිස් අනෙක් පිරිස් අතර සම්බන්ධයක් පවත්වා ගෙන ගියා. එසේ නොමැතිව වළගම්බා රජු දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කරන්න ලැබෙන්නේ නැහැ. මා  ඉතිහාසය වෙනත් ක්‍ෂෙත්‍රවලින් වෙන් කරන්නේ නැහැ.

 

විජය ආවත් නාවත් කවුරු ආවත් අපට කාල වකවානුවේ දී භාරතයෙන් පාලන තන්ත්‍රයේ වෙනසක් ගෙනැවිත් තියෙනවා. මා හිතන්නේ එය තමයි ප්‍රධාන කියා. එතෙක් ජනවර්ග (වෙනත් වචනයක් නැති කමට) පාලනය කරන්න ඇත්තේ ජනවර්ගවල ප්‍රධානීන්. යක්‍ෂයන්ගේ ප්‍රධානීන් වී ඇත්තේ යක්‍ෂයන්මයි. දේව නාග පිරිස්වලටත් එසේමයි. එහෙත් විජයගෙන් සංකේතවත් වන තැනැත්තාත් සමග අපට භාරතීය කුල ක්‍රමයත් යම් ප්‍රමාණයකට ලැබී තියෙනවා. විජය හරි කවුරු හරි ක්‍ෂත්‍රිය. එක ජනවර්ගයේ වුණත් වෙන පිරිසක්, වර්ණයක්, කුලයක්.

 

මා හිතන්නේ මහාවංසය පටන් ගන්නේ ක්‍ෂත්‍රිය පිරිසට රටේ හරි ප්‍රදේශයක හරි පාලන බලය හිමි කිරීමත් සමග කියා. මහාවංසය කියන්නේ මූලික වශයෙන් ක්‍ෂත්‍රියයන්ගේ කතාව. යක්‍ෂ නාග දේව පිරිස් අතර නොසිටි පෙළැන්තියක් අප අතරට ආවා. බ්‍රාහ්මණයන්ට එකල මුහුදින් එතර යෑමට නොහැකි වීම නිසා වැඩිපුර බ්‍රාහ්මණයන් ඇවිත් නැති බවයි පේන්නෙ. එහෙත් පණ්ඩුල වැනි බ්‍රාහ්මණයන්ගෙ මුත්තලා පැමිණ තියෙනවා. බ්‍රාහ්මණයන් කිහිප දෙනකු හරි එන්න ඇති. ක්‍ෂත්‍රියන් උපදෙස් ගන්න බ්‍රාහ්මණයන් එක්ක නෑවිත් ඉන්නෙ නැහැ.

 

ලංකාවට කුල ක්‍රමයක් හඳුන්වා දීම විජයත් සමග සිදු වෙනවා. ඉන්පසු රටේ පාලකයන් වීමට ක්‍ෂත්‍රීයයකු වීම අවශ්‍ය වෙනවා. කුවේණියට යන්න වුණෙත් ඇය ක්‍ෂත්‍රිය නොවීම නිසා. උභය කුල පාරිශූද්ධතාවක් ක්‍ෂත්‍රියයන්ගෙන් අවශ්‍ය වෙලා තියෙනවා. සාලිය කුමරුට බෞද්ධ පරිසරයකත් රජකම අයිති වෙන්නෙ නැත්තෙ අශෝකමාලාවට වඩා ඔහුගේ මව ක්‍ෂත්‍රිය නොවීම නිසා කියා හිතන්න පුළුවන්. (මතු සම්බන්ධයි)