Main Logo

Thursday 29 December 2022

සිංහලයන් පැවත එන්නෙ සිංහයකුගෙන් ඉතින් මොකෝ

 සිංහලයන් පැවත එන්නෙ සිංහයකුගෙන් ඉතින් මොකෝ

 

සිංහලයන් පැවත එන්නෙ සිංහයකුගෙන්. මොකක් ප්‍රශ්නෙ. ඒක බටහිර විද්‍යාව එක්ක එකඟ වෙන්නෙ නැද්ද? බටහිර විිද්‍යාවෙ කතන්දර එක්ක එකඟ වෙන්නෙ නැද්ද? ඒක ප්‍රශ්නෙ. එතකොට මහා පිපිරුම ගැන මොකද කියන්නෙ. ඒක හරි ? විශ්වයට ආරම්භයක් තියෙනවා කියනවා. සිංහලයන්ට ආරම්භයක් තියෙන්න බැරි ? ජාතියකට ජනවර්ගයකට ආරම්භයක් තියෙන්න ඕන ? ඒක ඇරිස්ටෝටල්ගෙ වගේ කිසිම හේතුවක් නැති ආරම්භයක් ? විශ්වාසයක් ?  සිංහලයන් පැවතෙන්නෙ සිංහයකුගෙන් කියන එක මට නම් ප්‍රශ්නයක් නො වෙයි.

 

පඬි නැට්ටන් මේ වන විටත් දන්නව මා මිථ්‍යා මතධාරියකු මෝඩයකු මැන්ටලයක් හා තවත් දේ බව. නිසා මා කියන දේ නිසා ඔවුන්ගෙ අදහස් වෙනස් වෙන්නෙ නැහැ. තව තවත් තහවුරූ වේවි. මා අවුරුදු විස්සකට විසිපහකට විතර ඉස්සර සිංහබාහු ප්‍රවාදය කියල ලිපියක් ලිවුව ලිපිය නම් හොයා ගන්න බැරි වුණා. ඒත් ඊට ටික කාලෙකට පස්සෙ මා විදුසරට සිංහබාහුගෙ පියා කියල ලිවුව ලිපියක් මගේ මිතුරකු එවා තිබුණා. මා මෙහි කියන්නෙත් මූලික වශයෙන් කතා තමයි. සමහර විට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්.

 

පඬි නැට්ටකු මට කියනවා දෙමළ ජනයාගේ ආරම්භය ගැන තියෙන කතාවක්. ලංකාවෙ නම් ප්‍රශ්නයක් නැහැ. උතුරෙ හිටියත් නැගෙනහිර හිටියත් කඳුකරේ හිටියත් ඔවුන් ඇවිල්ල තියෙන්නෙ ඉන්දියාවෙන්. ඔවුන්ගෙ මුත්තල දෙමළ හරි මලයාලම් මිශ්‍ර දෙමළක් හරි කතා කරල තියෙන්නෙ. එතකොට ඉන්දියාවෙ දෙමළ ජනයාගෙ ආරම්භය. ඒක ගැන අය නම් කතාවක් හදාගෙන නැති පාටයි. ඉංගිරිසින්ටත් කතාවක් හදල දෙන්න අමතක වෙලා. මහා භාරතයෙවත් වෙන කොහෙවත් කතාවක් නැහැ. අර කුරු පාණ්ඩව යුද්ධෙටවත් ඈඳ ගන්න බැරි ? බ්‍රහ්මන්ට සම්බන්ධයක් හදා ගන්න බැරි ?  එහෙම කතාවක් නැති එකේ එක තේරුමක් තමයි ඔවුන්ට තම අනන්‍යතාව ගැන හරි අදහසක් නැති වීම.

 

සිංහලයන්ට තම ආරම්භය ගැන කතාවක් තියෙන්නෙ ඔවුන් ජාතියක් හැටියට හිතල තියෙන නිසාත් තමන්ගෙ අනන්‍යතාවක් ගැන ඔවුන්ට අදහසක් තිබුණ නිසාත්. අඩුම තරමෙන් හතරවැනි සියවස වෙන විට සිංහලයන්ට තම අනන්‍යතාව ගැන හැඟීමක් තිබිල තියෙනවා. මෙතන කියන ආරම්භය ඔය ඇරිස්ටෝටල්ගෙ හරි මහා පිපිරුමෙ හරි ආරම්භය වගේ එකක් නො වෙයි. කවුරුවක්වත් සිංහලයන් මැවුවෙ නැහැ. ඒත් සිංහලයන් තමන් අන්‍ය මිනිසුන්ගෙන් පැවත එන පිරිසක් නොවන බවට කතාවක් හදාගෙන තියෙනවා.

 

සිංහබාහුගෙ පියා සිංහයකු බව කීමේ වැදගත්කමක් තියෙනවා. එයින් කියන්නෙ සිංහලයන් වෙනත් ජාතියකින් හරි ජනවර්ගයකින් හරි පැවත එන්නන් නොවන බවත් තමන්ට වෙන අනන්‍යතාවක් තියෙන බවත්. මදිවට එය තවත් තහවුරු කිරීමට සිංහබාහු සිංහ සීවලී කියන අයිය නගෝ බන්දල. එය ව්‍යභිචාරයක් කියන්න පුළුවන්. ඒත් ඒකෙන් තවත් තහවුරු වෙනවා පිය පාර්ශ්වයෙන් වෙනත් ජාතියක් ජනවර්ගයක් සමග සම්බන්ධයක් නැති බවත් පිය පාර්ශ්වයෙන් වෙනත් ජනවර්ගයකින් පැවත එන්නෙ නැති බවත්.  

 

ඔය සිංහ කතාව හැදුවෙ කවුද කියන එක හරිහැටි පැහැදිලි නැහැ. සිංහල ජාතිය පිළිබඳ කතා කිහිපයක් තියෙනවා. අප කාලිංගයට හා වංගයට මෙන් බටහිර වෙරළටත් සම්බන්ධ කරන කතා තියෙනවා. පරණවිතාන මහතාගෙ අදහසකට අනුව සිංහලයන් ඉන්දියාවෙ පුණ්ඩ්‍ර දේශයේ පාලකයකුව සිටි සිංහල නමැත්තකුගෙන් පැවත එනවා. පුණ්ඩ්‍ර තියෙන්නෙ උතුරු ඉන්දියවෙ හර්යානා ප්‍රාන්තයෙ වෙන්න ඕන. එය පන්ජාබයට කිට්ටුයි. සිංහලත් සිංහයකුගෙන් පැවත එන බව යි කියන්නෙ. පණ්ඩුකාභය කියන්නෙ පුණ්ඩ්‍රක අභය කියලත් කියනවා. සිංහලයන් කාලයකට ඉහත මෙරට මෙන් පුණ්ඩ්‍ර ප්‍රදේශයත් පාලනය කළ බව කියනවා.

 

කොහොම වුණත් මහාවංසය විජය ඉන්දියාවෙ නැගෙනහිර වෙරළින් පිටත් කරල බටහිර වෙරළටත් යවනව. අහවල් දේකට ? මහාවංසය කියන කතාව අප තේරුම් ගන්න ඕන. සිංහල ජාතිය ඉන්දියාවෙ නැගෙනහිර වෙරළෙන් අයගෙන් මෙන් බටහිර වෙරළෙන් අයගෙනුත් ශාක්‍ය වාංශිකයගෙනුත් නාග දේව වාංශිකයගෙනුත් පැවත එන බව කියනවා. මහාවංසය යක්‍ෂයන් අත්හැරියෙ මොකද කියන එකටත් උත්තරයක් තියෙනවා. යක්‍ෂයන් මහාවිහාර ආධිපත්‍යය පිළිගෙන නැති බවයි මගේ අදහස. මැතක් වන තුරුම මින්නේරිය පැත්තෙ සමහර අය මහාවිහාරය පිළිගත්තෙ නැති බවට සාක්‍ෂි තියෙනවා. මා නම් කියන්න කැමති නැහැ. මහසෙන් රජුගෙ විරුද්ධතාවත් හා සම්බන්ධයි.

 

ඒක ද්විතීයික කතාවක්. අපට වැදගත් වෙන්නෙ සිංහලයන්ගෙ අනන්‍යතාව ගැන සිංහලයන් අතර තියෙන කතාව. ඇතැම් අප්‍රිකානු ගෝත්‍රිකයන් තමන් පක්‍ෂීන්ගෙන් පමණක් නොව ගස්වලිනුත් පැවත එන බව කියනවා. අනන්‍යතා කතන්දර. අනන්‍යතා කතන්දර හදන්නෙ තමන් ගෝත්‍රයක් ජනවර්ගයක් ජාතියක් හැටියට හිතන්න පටන් ගත්ත . සිංහලයන් අඩුම තරමෙන් හතරවැනි සියවසේ ඉඳන් තම අනන්‍යතාව ගැන සිහියෙන් ඉඳලා තියෙනවා. සිංහලයන්ට තමන්ගෙ වූ අනන්‍ය භාෂාවකුත් තියෙනවා. එය ඉන්දියාවෙ කොහෙවත් කතා කරන්නෙ නැහැ. 

 

පඬි නැට්ටන් බටහිර ජීව විද්‍යා කතා පමණක් පළිගන්නවා නම් අපට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් විද්‍යා විශේෂඥයන් නොවැ. එහෙම ජීව විද්‍යා කතා පමණක් පිළිගන්නවා නම් සිංහයාගෙ කතාව පිළිගන්න වුවමනාවක් නැහැ. එහෙත් ඔවුන් සිංහල ජාතියට අවමන් කිරීමට කතාව තමන්ට ඕන විධියට කියන්නෙ නම් විවිධ හීනමාන නිසා. හීනමාන ගැන හෙට කතා කරමු.  A=B හා B=C නම් A =C බව සාධනය කළා ? තව කොපමණ කාලයක් ඕන ?