Main Logo

Tuesday 6 December 2022

වමෙන් දකුණට

 වමෙන් දකුණට

 

වර්තමානයේ දේශපාලනයේ යෙදෙන්නන් බොහෝ දෙනකු තම ආත්මාර්ථකාමීත්වය නිසා එසේ කරන බව පේන්න තියෙන කරුණක්. තමන්ට සමාජයේ වෙන කිසියම් අසාධාරණයක් නැති කර ගැනීමට හරි සමාජයේ යම් තැනක් ලබා ගැනීමට හරි දේශපාලනය කරන බව පැහැදිලියි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය එයට රුකුල් දෙනවා. අසාර්ථක වි පෙ ත්‍රස්තවාදී ක්‍රියාවලින් හා දෙමළ කොටි ත්‍රස්තවාදී ක්‍රියාවලින් පසු  අද සියල්ලන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණ තිබෙනවා. මෙටාව කියවන හා එයට ලියන දේශපාලනයක යෙදෙනවා කියා හිතන අයත් දැන් ඇත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ.

 

පරගලයට සහභාගි වූ අයගෙන් පිරිසක් මගින් ක්‍රමය වෙනස් කරන්න හිතන් ඉන්න ඇති. ඒත් ඔවුන් නොදන්නා ක්‍රමයක් ගැනයි කතා කෙළේ. ඔවුන්ගේ මුලික අවශ්‍යතාව වුණේ ගෝඨාභය හා සෙසු රාජපක්‍ෂලා ගෙදර යැවීම කියා කිවුවත් ඔවුන් දැන හිටියේ නැහැ බලයට පත් කරන්නේ කවුරුන් කියා. ඔවුන් දැනගෙන ඉන්න විධියක් නැහැ. එයට හේතුව පරගලය වෙන පිරිසක් විසින් මෙහෙයවනු ලැබීමයි. විවිධ කණ්ඩායම් විවිධ පුද්ගලයන් ජනාධිපති කිරීමේ බලාපොරොත්තු සහගත වැඩ කළත් අයට තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට ලැබේවි කියා දැන සිටියේ නැහැ. අචසානයේ ඔවුන්ගෙ බලාපොරොත්තු ඉටු වුණෙත් නැහැ.

 

එහෙත් සියල්ලන්ට තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවක් තිබුණා. මූලික වශයෙන් ඔවුන්ට තිබුණේ සිංහල බෞද්ධ විරෝධයක්. එය බොහෝ අයට සිංහල බෞද්ධ ගොවිගම විරෝධයක් වුණා. ඇතැම් ගොවිගම අය සිංහල බෞද්ධ අය පරගලයට සහභාගි වුණේ එමගින් තම මධ්‍යම පාංතික අවශ්‍යතා ඉටු කර ගැනීමට ලැබේවි කියන අපේක්‍ෂාවෙන්. එහෙත් පරගලය මෙහෙය වූ බටහිරයන්ට තිබුණේ ලංකා වසන්තය ඉටු කර ගැනීමේ වුවමනාව. එනම් ලංකාවේ තමන් අකමැති ආණ්ඩුව හා පුද්ගලයන් ඉවත් කිරීම. ඔවුන් එය කර ගත්තා. එහෙත් දේශීය වශයෙන් රනිල් හා ඔහුගේ හෙංචයියලා හැරෙන්න අනෙක් අය පරාජය වුණා. රාජපක්‍ෂලා යනු සිංහල බෞද්ධත්වය හා සිංහල බෞද්ධත්වය යනු රාජපක්‍ෂලා යැයි සිතන පඬි නැට්ටන්ට නම් තම සිහින ලෝකවල තව ටිකක් කල් ඉන්න පුළුවන්.

 

දක්‍ෂිණාංශිකයන් නම් ඉතා පැහැදිලිව පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශපාලනයට එන්නෙ. බලයත් සමග ලැබෙන ලාභ ප්‍රයෝජන ඔවුන් දන්නවා. අද ක්‍රිඩා හා වෙනත් දේශපාලනවල එය දකින්න පුළුවන්. ක්‍රීඩාවට වඩා එහි නිලතල දරන්නන් දියුණු වෙනවා. ඔවුන් තම සුඛ විහරණය සඳහා ආයතන මුදල් යොදා ගන්නවා. වාමාංශිකයන් තමන්ට කුල පීඩනය නිසා හරි දිළිඳුකම නිසා හරි දෙමවුපියන්ගේ අඩුලුහුඬුකම් (ඔවුන් හිතන ආකාරයට) නිසා හරි තමන්ට සුදුසු පාසලකට ඇතුල්වීමට නොහැකි වීම නිසා හරි විශ්වවිිද්‍යාලයකට ඇතුල්වීමට නොහැකි වීම නිසා හරි රැකියාවක් ලබා ගැනීමට නොහැකි වීම හරි එවැනි වෙනත් කරුණක් නිසා හරි දේශපාලනයෙහි යෙදෙන අය. සමහරුන්ට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඉතා කෙටියෙන් කියනවා නම් තමන්ට යම් හේතුවක් නිසා හරි හේතු නිසා හරි සමාජයේ ඉහළට යෑමට නොහැකි වීම නිසා දේශපාලනයෙන් එය ඉටු කර ගැනීමට මාන බලන්නන් දේශපාලනයේ යෙදෙනු දකින්න පුළුවන්.

 

සමාජයේ ඉහළට යෑම යන්න සාපේක්‍ෂ වුවක්. ඇතැමුන්ට සමාජයේ ඉහළ රැකියා ලැබෙනවා. ඇතැමුන්ගේ දෙමවුපියන් ඉහළ රැකියා කළ අය. එහෙත් සමහර විට කුලය නිසා ඔවුන්ට සමාජයේ ඊනියා වැදගත් තැනක් නොලැබෙන නිසා ඔවුන් දේශපාලනයට ඇදී එනවා. ඔවුන් බොහෝ විට දේශපාලන න්‍යායාචාර්යයන් වෙනවා. මේ අය නම් අනිවාර්යයයෙන් සිංහල බෞද්ධ විරෝධී වෙනවා. එමෙන් උසස් පෙළෙන් පසු උසස් අධ්‍යාපනයක් ලංකාවේ ලබා ගැනීමට බැරි ඇතැමුනුත්  දේශපාලනයට එනවා. ඔවුන්ට විවිධ මාර්ගවලින් මුදල් හොයන්න පුළුවන්. රාජ්‍ය නොවන ආයතන දේශපාලනඥයන් හා තම අරමුණු සඳහා යෙදවීමට පුද්ගලයන් සොයන ඇතැම් ධනවතුන් ආදීන්ගෙන්.

 

මෙසේ යොදවා ගන්නවුන් කරන හරි හමන් රැකියාවක් නැහැ. ඔවුන් බොහෝ විට අපේක්‍ෂා භංගත්වයට පත්වුවන්. ඔවුන් බොහෝ විට දේශපාලනය කරන්නේ තම දැනුම ප්‍රදර්ශනය කිරීමෙන්. ඔවුන් සඳහා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පරිපාලන නිලධාරීන් ආදීන්ට අපහාස කරමින් තම ඊනියා විශිෂ්ට දැනුම ප්‍රදර්ශනය කරනවා. මෙරට උගතුන් ගැන මගේත් ගෞරවයක් නැහැ. ඔවුන් අලුත් සංකල්පයක් කතාවක් (ප්‍රවාදයක්) සංස්කරණය නොකරන බැවින්. එහෙත් මා දන්නවා ඔවුන් බොහෝ දෙනකු යම් දැනුමක් ලබාගත් අය බව. අඩු තරමෙන් මතක තබා ගත් අය බව. ඔවුන් ඊනියා ප්‍රාමාණිකයන් නම් නො වෙයි. එහෙත් ඔවුන් අරක දන්නෙ නැහැ මේක දන්නෙ නැහැ ආදී වශයෙන් කියන්නන් නම් හීනමානයෙන් පෙළෙන අය.

 

අද වාමාංශික දේශපාලනයෙහි යෙදෙන බොහෝ දෙනා හීනමානයෙන් පෙළෙන අය. ඔවුන් දේශපාලනයෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට ලබා ගැනීමට නොහැකි යයි සිතන  යම් කිසිවක් ලබා ගැනීමයි. සමහරු දේශපාලනයෙන් යම් යම් දේ ලබා ගන්නට සමත් වෙනවා. එවිට ඔවුන් වාමාංශික දේශපාලනය අත්හැර දක්‍ෂිණාංශිකයන් වෙනවා.