Main Logo

Tuesday 27 December 2022

ගෝඨාභයගේ නික්ම යෑම

 ගෝඨාභයගේ නික්ම යෑම

 

ගෝඨාභය රාජපක්‍ෂ පවුල පිටින් ඇමරිකා එක්සත් ජනපද බලා පිටත් වූ බව වාර්තා වෙනවා. එය නිවැරදි කියා හිතන්න පුළුවන්. සමග බටහිරයන්ගේ සැලසුමේ එක් අවස්ථාවක් අවසන් වෙනවා. ඊළඟ අවස්ථාව වි පෙ හා රනිල් මගින් ක්‍රියාත්මක කෙරේවි. එය සාර්ථක වුවහොත්  මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරට ඉවර වෙන්න ඉඩ තියෙනවා. රනිල් හා රනිල්දාස ඉන්නෙ එක පිළේ. මාක්ස්වාදයත් ලිබරල්වාදයත් අවසානයේ දී ජාතිකත්වයට විරුද්ධ පැත්තෙ එකට ඉන්නවා.

 

බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න ක්‍රියාත්මක වුණෙ පෘතුගීසීන් පැමිණි දිනයේ සිට. ඉංගිරිසින් එය සියුම් කරගෙන ගියා. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ශක්තිය ඉදිරියේ ඇංග්ලිකන් සංස්කෘතියට කල් බලන්න සිදු වුණා. අද වන විට අවුරුදු පන්සිය දහසයකට පසු බටහිරයන් ශක්තිමත් සිටිනවා. ගෝඨාභයගේ නික්ම යෑමෙන් මෙන් ඊනියා උගත් ගැමි තරුණ හාමුදුරුවරුන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි.

 

ඊනියා මානව හිතවාදීන් කියනවා සියලු ආගම් සමානය කියා. එය පට්ටපල් බොරුවක්. මාටින් ලූතර්ගේ කාලය වන තෙක් තිබූ ආගම් හා ක්‍රිස්තියානි ආගම් අතර වෙනසක් තියෙනවා. මා ක්‍රිස්තියානි ආගම් ලෙස හඳුන්වන්නේ ඊනියා පුනරුදයෙන් පසු බිහි වූ ප්‍රොතෙස්තන්ත ආගම්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි මෙතෝදිස්ත වැනි ආගම්. ආගම් සාමූහිකත්වයට එරෙහින පෞද්ගලිකත්වය ඉස්මතු කළා. කලින් තිබූ ආගම් යම් ආකාරයකට සමස්තයක් ගැන කතා කළා. දෙවියන් වහන්සේ හරි බ්‍රහ්මන් හරි සමග මනුෂ්‍යයා ඒකාත්මික වන බවයි ආගම්වල  කිවුවේ. අද්වෛත වෙදාන්තයේ පමණක් නොව ඉස්ලාම් ආගමේත් කතෝලික ආගමේත් සංකල්පය විවිධ ආකාරයෙන් තියෙනවා. පෙරේදා කතෝලිකයන් නත්තල සැමරුවේත් පියා පුතා හා ස්ප්‍රිතුව එකයි යන අර්ථයෙන්. ආගම්වල සාමූහිකත්වය දකින්න පුළුවන්. කතෝලික යන්නෙහි තේරුම සාමූහිකත්වය යන්නයි.

 

එහෙත් මාටින් ලූතර්ගෙන් පසු මේ සියල්ල වෙනස් වුණා. දෙවියන් වහන්සේ වෙන් කෙරුණා. පෞද්ගලිකත්වය ඉස්මතු වුණා. අද ඇති ක්‍රිස්තියානි නූතනත්වය සමග එය බැඳිලා. අද ලෝකයේ රජයන්නේ ආධිපත්‍යය දරන්නේ බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සභ්‍යත්වයයි. ධනපති ක්‍රමය බටහිර විද්‍යාව නූතනත්වයේ ප්‍රතිඵල. යටත්විජිතවාදය ඇරඹුණේ ස්පාඤ්ඤය නූතනත්වයට මාරුවීමත් සමග. අද පාප්වහන්සේ අටවැනි හෙන්රි කල පාප්වහන්සේටත් වඩා දුර්වලයි. පාප්වහන්සේට බයිඩ්න්ට අණ කරන්න බැහැ.

 

බුදුදහම ආගමක් නො වෙයි. බෞද්ධයන් කතෝලිකයන්ට කිවුවෙ ආගම්කාරයන් කියා. බුදුදහමෙහි ඇත්තේ දැනුම අත්හැරීම. දැනුම නොදැනුම කිරීම. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා ඉස්ලාම් ආගම වැනි ආගම් අතරට වඩා විශාල වෙනසක් ක්‍රිස්තියානි නූතනත්වය හා බුදුදහම අතර තියෙනවා. බුදුදහමෙහි එකී කතාව කියැවෙන්නේ ථෙරවාදයෙහි. ථෙරවාදීන්ට දාර්ශනිකයන් අවශ්‍ය වුණේ නැහැ. දැනුත් අවශ්‍ය නැහැ.

 

මේ පූර්විකාව සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වය දැක්වීමටයි. එය නැති කිරීමට සියලු ආගම්වලට එකතු වෙන්න පුළුවන්. මා එයින් අදහස් කරන්නේ ආගම් අදහන අය නොවෙයි. ආගම්වල ප්‍රධානීන්. බටහිරයන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට අවශ්‍යතාව තිබුණත් එය කරගන්න බැරි වුණා. දහනවවැනි සියවසේ අගභාගයේ ඇති වූ බෞද්ධ පුනර්ජීවනය ඉන් පසු ධර්මපාලතුමාගේ ව්‍යාපාරය පනස්හය බැරි වීමේ සංකේත. එහෙත් එයට විරුද්ධ බලවේහත් සමග ඇති වුණා. ඕල්කට්තුමාගේ ව්‍යාපාරය බෞද්ධ පුනර්ජීවනය පීලි පැන්නීමට සමත් වුණා. ආනන්ද විදුහල හුදෙක් බෞද්ධ සායම් ගෑ රාජකීය විදුහලක් පමණයි. එය ආරෝපණයක් පමණයි. අවශෝෂණයක්වත් නො වෙයි.

 

ක්‍රිස්තියානි අධ්‍යාපනය විසින් ඊනියා තාර්කික විද්‍යාත්මක බෞද්ධයන් පිරිසක් බිහිකරණු ලැබුවා. බෞද්ධයන් කාළාම සූත්‍රය තර්කානුකූල ධර්මයක් බවට පත් කෙළේ එකී සූත්‍රය තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් යමක් පිළිගන්න එපා කියා තිබිය දී! අදවත් කාළාම සූත්‍රය හදාරනවා නම් හොඳයි. අපට වැඩිම වුවහොත් හැකි දෙකයි පනහේ විද්‍යාඥයන් වීමට පමණයි. මා එය තේරුම් ගෙන අවුරුදු පනහකට වැඩියි.

 

මෙරට ජාතිකත්වය පනස්හයේ ඉස්මතු වුණත් විජාතිකත්වය නැති වුණේ නැහැ. ඊනියා ප්‍රතිජාතිකත්වය යනු විජාතිකත්වය හෙවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්වය පමණයි. වෙනුවෙන් පෙනී සිටියේ පෙනී සිටින්නේ දෙකයි පනහේ බුද්ධිමතුන්. ඔවුන්ට කිසිවක් අලුතෙන් කියන්න බැහැ. බටහිරයකු කී දෙයක් තමන්ට තේරෙන ආකාරයට සිංහලෙන් කීම පමණයි ඔවුන්ට කරන්න පුළුවන්. එහෙත් ඔවුන් තමන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ශක්තිය විවිධාකාරයෙන් ලැබෙන නිසා පවතිනවා.

 

විජාතිකත්වයට පුළුවන් වුණා හැටපහේ දී ඩඩ්ලිගේ නායකත්වයෙන් හත්හවුල් ආණ්ඩුව හදන්න. එහෙත් ඔවුන්ටත් සිදු වුණා ජාතිකත්වය සතුටු කරන්න මෙන් පෝය නිවාඩුව ඇති කරන්න. එය හොඳ නරක යන්නට වඩා වැදගත් වන්නේ ඩඩ්ලි සේනානායක ජාතිකත්වය හඳුනාගත් ආකාරය හා ජාතිකත්වය රැවටීමට ගත් පියවර. හැත්තෑවේ දී ආණ්ඩුව පෙරළා දමනු ලැබුණා.

 

මේ ජාතික විජාතික ගැටුමට ලෝකයේ මෙතෙක් බිහි වී ඇති ලොකු මිථ්‍යාව වූ මාක්ස්වාදය විජාතික පැත්තෙන් පැමිණියා. මා මිථ්‍යාව යන වචනය යොදා ගන්නේ වැඩ නොකරණ හිතළුවක් යන අර්ථයෙන්. එතෙක් මෙතෙක් මාක්ස්වාදී රාජ්‍යයක් ලොව කොහේවත් බිහි වී නැහැ. මා සමසමාජ පක්‍ෂයේ සිටි කාලයේ ඔස්මන්ඩ් ජයරත්න සමග පාසල්වල දේශන සඳහා ගියා. අප කෙළේ ඊනියා විද්‍යා කතා මගින් මාක්ස්වාදය සිසුන්ට කියා දීම. ඔස්මන්ඩ් දවස්වල කී කතාවක් වුණේ විද්‍යාවට අනාවැකි පළ කිරීමට පුළුවන් බවත් මාක්ස්වාදයෙන් සමාජවාදී රාජ්‍යයන් ඇති වන බවට පළ කළ අනාවැකිය සෝවියට් දේශය බිහිවීමෙන් ඵල දැරූ බවත්. ඔහු සෝවියට් දේශය බිඳ වැටෙනු දුටුවා. වන විට ඔහු දේශන පවත්වන්න ගියේ නැහැ. මාක්ස්වාදය අසමත් වී ඇති නමුත් මෙරට වෙන රටකට වඩා මාක්ස්වාදී කුණුහරුප පිළිගන්නා ඊනියා උගතුන් පිරිසක් ඉන්නවා. ඉන් පෙනී යන්නේ සමස්තයක් ලෙස මෙරට දෙකයි පනහේ අනුකාරකයන්ගේ තරම. බටහිරයන් ගෝඨාභය එළවීමට ඔවුන්වත් යොදා ගත්තා. (මතු සම්බන්ධයි)         


ප. ලි. ගෝඨාභය රාජපක්‍ෂ නිවාඩුවකට ඩුබායි ගිය බවයි දැන් කියැවෙන්නේ. මේ ලිපියේ සඳහන් වන වාර්තාව වැරදියි. ඒ ගැන මගේ කණගාටුව. එහෙත් ලිපිය දිගට ම පළවේවි.