Main Logo

Wednesday 11 October 2023

කුසල් නැති රටක්

 

කුසල් නැති රටක්

 

මා මෙරට ඈත අනාගතය ගැන කියන්න තරම් උගතකුවත් බුදධිමතකුවත් නො වෙයි. රනිල් වික්‍රමසිංහ නම් කටයුතු කරන්නේ 2048 සුඛිත මුදිත රටක් බිහි කරන්න. 2048 වන විට මා නම් නැහැ. මා හිතන්නේ රනිල්ටත් වයස අවුරුදු සියයක් පමණ වේවි. අගමැති දිනේෂ් ගුණවර්ධනටත් වයස වේවි. රනිල්ට දේශය බිහි කරන්න රනිල්දාස ඇතුළු පිරිස උදවු උපකාර කරාවි. රනිල්ට ආධාර කරන පිරිස සමාජයේ මහජනයා කියන අය අතර නැති වුවත් දේශපාලනයේ මහාජනයා අතර නම් ඉන්න බව පැහැදිලියි.

 

අපි 2048 පැත්තකින් තියමු. 2024 රටට මොනව වෙයි ? 2023 ලෝක කුසලාන දිනන්න පුළුවන් ? ලෝක කුසලාන දිනන්න අපට කුසල් තියේවි ? මා මෙහි කුසල් කියන්නෙ දක්‍ෂතාවට. කුසල් මෙන්ඩිස් කෙනෙකුයි කුසල් පෙරේරා කෙනෙකුයි දෙන්නෙකු අපට ඉන්නවා. මොනව වුනත් අපට නැත්තෙ කුසල් කියලයි මට හිතෙන්නෙ.

 

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අවුරුදු පතා නිකුත් කරන ලෝකයේ හොඳ විද්‍යාඥයන් සියයට දෙකේ  නම් ලැයිස්තුව කිහිප දෙනකු මට එවල තිබුණා. එහි ලංකාවෙ විද්‍යාඥයන් 35 දෙනකු ඉන්නවා කියනවා. මා නම් ගණන් කෙළේ නැහැ. දෙදෙනකු අසා තිබුණා ලැයිස්තුවේ මගේ නම නැත්තෙ ඈයි කියා. යහපත් චේතනාවෙන් නම් නො වෙයි. මා දන්නේ නැහැ හොඳ විද්‍යාඥයන් තේරීමේ දී ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය යොදා ගන්නා නිර්ණායක මොනවා කියා. පත්‍රිකා පළ කිරීම වෙනත් අය පත්‍රිකා මුලාශ්‍ර ලෙස සැලකීම ආදිය නිර්ණායක වෙන්න ඕන.

 

මා විද්වත් පත්‍රිකා පළ කරන්නකු නො වෙයි. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයකු පමණයිි. මා ලිපි පළ කරන්නේ මෙටාවෙ. මා හිතන්නෙ නැහැ මෙටාව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කිට්ටුව තිබුණත් ස්ටැන්ෆර්ඩ් තීරකයන් මෙටාවෙ මගේ ලිපි කියවනවා කියා. කුමක් වුණත් මෙරට විද්‍යාඥයන් ඉන්නවා කියාත් මා හිතන්නේ නැහැ. මා එසේ කියන්නේ ඊර්ෂ්‍යාවකින් නො වෙයි. අපට කුසල් නැහැ.

 

අපට බටහිර විද්‍යාවේ සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්) නිර්මාණය කර ගැනීමට කුසල් නැහැ. අපේ කුසල් ඇත්තේ වෙනත් තැනක. බටහිර විද්‍යාවේ නො වෙයි. පොදුවේ බටහිර දැනුමේ නො වෙයි. මෙටාවෙ තම දැනුම ප්‍රදර්ශනය කරන විද්වතුන් ලියන සමහර දේ මා කියවනවා. ඔවුන්ගේ දැනුම ගැන පුදුම වීම හැර කරන්න දෙයක් නැහැ. ඔවුන්ට අනුව මා තක්කඩියෙක්. සියළු තක්කඩින්ගේ නවාතැම්පොළ දේශප්‍රේමය කියා කියනවා.

 

මේ කියමන සැමුවෙල් ජොන්සන්ගේ ප්‍රකාශයක් බවයි කියැවෙන්නේ. ජොන්සන් හිටියේ දහඅටවැනි සියවසේ. ඔහු ඉංගිරිසි ශබ්දකෝෂයක් ගැනත් ප්‍රසිද්ධිය උසුලනවා. මේ ප්‍රකාශය ගැන කියන ඇතැමුන්ගේ මතය ජොන්සන් මෙයින් අදහස් කෙළේ ව්‍යාජ දේශප්‍රේමය කියා. එකල සුළු කාලයකට පේට්‍රියට් (Patriot) නම් පක්‍ෂයක් තිබී තියෙනවා. එය ව්‍යාජ දේශප්‍රේමින්ගේ පක්‍ෂයක් ලෙස කියැවෙන්නේ. ජොන්සන් පේට්‍රියටිසම් යන්නෙන් කියන්නේ මේ පක්‍ෂයේ සාමාජිකයන්ගේ දේශප්‍රේමය බවයි ඇතැමුන්ගේ මතය.

 

අපේ රටෙත් කෙතරම් දේශප්‍රේමී පක්‍ෂ තිබුණ තියෙනවා ? පක්‍ෂ කීයක ජාතික කියන වචනය තියෙනවා ? උරුමය කියන වචනය තියෙනවා ? සියළු දෙනා ජාතිකවාදීන් ? එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජාතිකවාදියෙක් ? අර ජර්මන් රූපවාහිනී වැඩ සටහනෙන් පස්සෙවත් ජාතික වුණා ? ඔහු ජාතික කඳවුර භේද කරන්න විවිධ පුද්ගලයන් යොදා ගන්නවා ? එහි දී බිම් මට්ටමේ නැති වුණත් ස්විට්සර්ලන්තයේ භූමිකාව කුමක් ? 

 

මා මේ උත්සාහ ගන්නේ මා තක්කඩියකු නොවන බව කීමට නො වෙයි. කොහොමටත් ජොන්සන් යෙදාගන්න ස්කවුන්ඩ්‍රල් (scoundrel)  යන වචනයේ පරිවර්තනය තක්කඩියා කියාත් ප්‍රශ්නයක් තියෙනවා. අප පරිවර්තනයේ දී එතරම් සැලකිලිමත් වෙනවා කියා හිතන්න බැහැ. අපට කුසල් නැත්නම් කරන්න දේකුත් නැහැ.

 

කොහොම වුණත් ලෝක කුසලානය දිනුවෙ නැතත් අපට 2048 කලින් 2024 ගැන හිතන්න වෙනවා. කාලයෙහි ගමන් කරන්න හැකිනම් 2024 නොගිහින් (නොනැවතී) 2048 යන්න පුළුවන්. කාල යාත්‍රා නැති නිසා අපට 2024 ගැන හිතන්න වෙනවා. ජනාධිපතිවරණයක් පවත්වනවා ? ජනමතවිචාරණයක් පවත්වල ධුර කාලය දීර්ඝ කර ගන්නවා ? ජනමතවිචාරණයක් පවත්වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ? ජාතික කඳවුර බිඳීම සඳහා කුමක් කරනවා ? සඳහා බටහිරයන් කිනම් මුදලක් දීමට සූදානම් ? දැනටමත් මුදල් කොටස් වශයෙන් ලැබෙනවා ? වගේ ප්‍රශ්න තියෙනවා. ලෝක කුසලානය වෙනත් රටකට අයිති වෙන හැටි බලා දුක් වෙන ගමන් අපි ප්‍රශ්න ගැනත් කතා කරමු.