Main Logo

Monday 2 October 2023

රාම හා යේසුස් වහන්සේ

 

රාම හා යේසුස් වහන්සේ

 

අන්න බලන් සඳ ලිපියට ප්‍රතිචාර කිහිපයක් ලැබී තියෙනවා. සමහරු තම මෙටා පිටුවල ප්‍රතිවාර දක්වලා. සමහරු යමක් ඉගෙනීමට ප්‍රශ්න අහලා. තවත සමහරු තම දන්න බව පෙන්වීමට ගොස් නොදන්න බව හෙලි කරලා. තවත් සමහරු ප්‍රතිචාර දක්වලා පැය කිහිපයකින් ඉවත් කරගෙන. තවත් අය සතුටු වෙනවා මා නොදන්න දේ ගැන නොලියා යම්තම් ටිකක් දන්න දේ ගැන ලිවීම ගැන.

 

මේ සියල්ලට පිළිතුරු අවශ්‍ය නැහැ. මා බුදුදහම ක්වොන්ටම් භෞතිකය සමග සැසඳීමට උත්සාහ කරන්නෙ නැහැ. ක්වොන්ටම් භෞතිකය කියන්නෙත් බටහිර විද්‍යා දැනුම් පද්ධතියේ තවත් දැනුම් කාණ්ඩයක් පමණයි. මුළු මහත් බටහිර විද්‍යාව සහ බටහිර විද්‍යාඥයන් පදනම් වෙන්නෙ එකම එක උපකල්පනයක් මත. යථාර්ථයක් ඇති බව. බටහිර විද්‍යාව හා විද්‍යාඥයන් උත්සාහ කරන්නේ යථාර්ථය තේරුම් ගැනීමට. මා විද්‍යාව ගැන කියන්නේ ක්වොන්ටම් භෞතිකයේ එක් විවරණයක් මත පදනම් වෙමින් කියා කියන අය මා ලියූ කිසි දෙයක් තේරුම් ගත් අය නො වෙයි.

 

මා බටහිර විද්‍යාව දෙස බලන්නේ බෞද්ධයකු ලෙස මිස බෝර්ගේ හරි ෆෙයරාබන්ඩ්ගේ හරි වෙනත් අයකුගෙ හරි අදහස් විවරණ ආදිය මත පදනම් වෙලා නො වෙයි. ඇතැම් අදහස් මට එක් කාලෙක පහුරක් වෙලා තියෙනවා. ඒත් මා පහුර කර තබාගෙන යන්නේ නැහැ. බටහිර විද්‍යාවේ කියා අමුතු විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. එහි කෙරෙන්නේත් හිතළු ඉදිරිපත් කර හිතළු ඊනියා යථාර්ථය තේරුම් ගැනීමේදි වැඩ කරනවා යන්න සොයා බැලීම පමණයි.

 

බෝර් කළෙත් එයමයි. ඊනියා ක්වොන්ටම් යථාර්ථය තේරුම් ගැනීමට හිතළු ඉදිරිපත් කිරීම පමණයි. හිතළු සමහරක් වැඩ කරනවා. පහුගිය වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් ඇස්පෙ හා පිරිස කෙළේ ක්වොන්ටම් අංශු ඊනියා ස්ථානීය යථාර්ථය ප්‍රතික්‍ෂෙප කරන බව පෙන්වීමයි. යථාර්ථයක් ප්‍රතික්‍ෂෙප කරන බවක් එහි කියැවෙන්නෙ නැහැ. ඇමරිකාවේ ඉන්න මගේ මිතුරෙක් ඔහු දන්නා එහි විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුට ලංකාවේ යථාර්ථය ප්‍රතික්‍ෂෙප කරන අය ඉන්නා බව කී විට මහාචාර්යවරයා කියා ඇත්තේ යථාර්ථයක් නැතැයි තමාට සිතන්නවත් බැරි බවයි.

 

තවත් නොබෙල් ත්‍යාගලාභියකු වූ මැසචුසෙට්ස් තාක්‍ෂණවිද්‍යාව පිළිබඳ ආයතනයේ (MIT) මහාචාර්ය ෆ්රෑන්ක් විල්සෙක් යථාර්ථයට යතුරු දහයක් (Ten Keys to Reality) යනුවෙන් පොතක් ලියා තියෙනවා. ඔහු එහි කියන්නේත් යථාර්ථය දැන ගැනීම ගැනයි. බටහිර විද්‍යාවේ ඊනියා ආත්මය යථාර්ථයයි.

 

මෙරට ඇතැම් බුද්ධාගම්කාරයන් යථාර්ථයක් ඇති බව පිළිගන්නවා. මා බුද්ධාගමේ නො වෙයි. මා බෞද්ධයකු පමණයි. මා අසන එක් ප්‍රශ්නයකට ඔය කිසිවකුට පිළිතුරක් නැහැ. මනසින් තොර යථාර්ථයක් පවතින බව මනසින් තොරව පෙන්වන්න. නිදා ගෙන ඉන්න විට මනසින් තොරව හුස්ම ගන්නවා කියන එක කරුණු දෙකක් නිසා වැරදියි. නිදාගත්තා කියා විඤ්ඤාණය නැති වන්නේ නැහැ. බටහිර අවිඤ්ඤාණය වගේ කතා බුදුදහමට වලංගු වෙන්නේ නැහැ. බටහිරයන් කියන අවිඤ්ඤාණික අවස්ථාවෙත් විඤ්ඤාණය තියෙනවා. විඤ්ඤාණ පච්චයා නාම රූප නාම රුප පච්චයා විඤ්ඤාණ කියා දේශනා කර ඇත්තේ බුදුහාමුදුරුවන්. එය දිය සුළියක් වගෙයි. ගැන වැඩි විස්තර අපවත් වී වදාළ කටුකුරුන්දෙ ඤාණානන්ද හාමුදුරුවන් ලියා ඇති පොතපත කියවීමෙන් දැන ගන්න පුළුවන්. 

 

අනෙක් අතට අප හුස්ම ගන්නවා කියන්නේ දැනුමක්. දැනුම (අභි)සංස්කරණය කර ඇත්තේ අප. සියලු දැනුම් අපේ සංස්කරණ. අපේ සංස්කරණ කියන එකෙන් අදහස් වන්නේ අප සියල්ල සංස්කරණය කර ඇති බව නො වෙයි. වෙනත් අය සංස්කරණය කරන දේත් අපි අපේ කර ගන්නවා. අපට සමහර දැනුම් දෙවියන්ගෙන් ලැබෙනවා. දැනුම් දෙවියන්ගේ සංස්කරණ. බයිබලයේත් වෛදිකයන්ගේත් ඇති බොහෝ දැනුම් අපට දෙවිවරුන්ගෙන් ලැබුණු දැනුම්. අග්ගඤ්ඤ සූතයේ කියැවෙන්නේ එක් අයකු තමන් බ්‍රහ්මයා කියන දැනුම අභිසංස්කරණය කළ ආකාරය.

 

මා බොහෝ කලකට පසු ඊයේ රාමායණය කියෙවුවා. එහි දී රාම ගැන රාවණ ගැන මට වෙනත් අදහස් ඇති වුණා. විෂ්ණු දෙවියන් හා යෙහෝවා දෙවියන් වහන්සේ කතා එකම වර්ගයේ කතා වෙන අවස්ථාවක් තියෙනවා. යේසුස් වහන්සේ කියන්නේ යෙහෝවා දෙවියන් වහන්සේ. යෙහෝවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ලෙස ඉපදිලා. කිතුණු බැතිමතුන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව කියනවා. රාම කියන්නේ විෂ්ණු දෙවියන්. විෂ්ණු දෙවියන් දශරථ (රිය දහයක් වැනි)  රජුගේ හා කෞෂල්‍යයා දේවියගේ පුතා ලෙස ඉපදිලා. යෙහෝවා දෙවියන් වහන්සේ මරියතුමියගේ පුතා ලෙස ඉපදිලා. 

 

දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවේ දී යෙහෝවා දෙවියන් වහන්සේත් විෂ්ණු දෙවියනුත් යේසුස් වහන්සේ හා රාම රජු සමග සමගාමී ඉන්නවා කියා. මගේ  වැටහීම නම් ඉන්නවා කියා. එවිට අහන්න පුළුවන් විෂ්ණු දෙවියන්ට එකවර දෙවියන් ලෙසත් රාම රජු ලෙසත් ඉන්න පුළුවන් කියා. එසේ ඉන්න පුළුවන් ත්‍රිකෝටික න්‍යායෙ. මා ඔය කතාව කොළඹ මොටාවේ දී යෙහෝවා දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් කියා තියෙනවා. මා ඔය වගේ කතා තමයි කිව්වෙ. උගන්නපු ගණිතයක් නැහැ. විෂ්ණු දෙවියන් ගැනත් එය එලෙස කියන්න පුළුවන්. විෂ්ණු දෙවියන් නම් අවතාර දහයක් ලෙස ඉපදී තියෙනවා. වෛදිකයන් කියන විධියට බුදුහාමුදුරුවන් විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්. 

                                            

මට කිසිම වුවමනාවක් නැහැ බුදුදහම විද්‍යාත්මක බව පෙන්වීමට. එහෙමත්් නැත්නම් අද බටහිර විද්‍යාඥයන් කියන දේ බුදුහාමුදුරුවන් අවුරුදු දෙදහස් පන්සියකට පෙර දේශනා කර ඇති බවක් කීමට. බුදුහාමුදුරුවන් එහෙම දේශනා කර ඇත්නම් බැරි බුද්ධාගම්කාර විද්‍යාඥයකුට ඇසුරෙන් අද යමක් කියන්න. බුදුදහම හා බටහිර විද්‍යාව චින්තන දෙකක බිහි වී ඇත්තේ. යා දෙක නොරත රත සමග පැහීමක් නැත කීවාක් මෙන් බුදුදහම හා බටහිර විද්‍යාව පෑහෙන්නේ නැහැ. බුද්ධාගම්කාරයන් බුදුදහම විද්‍යාත්මක බව පවසන්නේ එක්තරා හීනමානයකින්. බුදුදහමේ යථාර්ථයක් ගැන කියැවෙන්නේ නැහැ. ඊනියා යථාර්ථය මිනිසුන්ගේ අභිසංස්කරණයක්.

 

එක් අයකු කියා තිබුණා මා නොදන්න දේ නොකියා ටිකක් දන්න දෙයක් අන්න බලන් සඳ ලිපියේ කියා තියෙනවා කියා. අපොයි මා කිසි දෙයක් දන්නේ නැහැ. මා අවුරුදු දහඅටේ පමණ කාලයේ සිට දේශපාලනය ගැනත් දහසයේ පමණ කාලයේ සිට බටහිර විද්‍යාව ගැනත් උනන්දුවක් දක්වනවා. අවුරුදු හැටකට පස්සෙත් මා එකක්වත් දන්නේ නැහැ. මා හිතට එන දේ ලියනවා පමණයි.  

 

සඳ ගැන පසුවට.