Main Logo

Tuesday 17 October 2023

රයිගමයා ගම්පලයා හා මාගධිය

 

රයිගමයා ගම්පලයා හා මාගධිය

 

ඊයේ ලිපිය ගැන ප්‍රතිචාර කිහිපයක් ලැබුණා. ප්‍රතිචාර රයිගමයා ගම්පළයා ගැන, සංවාදයේ යෙදුන රයිගමයා ගම්පළයා කවුද යන්න ගැන, මාගධිය ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව ලෙස දිගට පැවතුණද යන්න ගැන. ගැන සඳහන් කිරීමට පෙර කිව යුත්තේ ඊයේ ලිපියට මේ ලිපිය ලියන මොහොතේත් ජාත්‍යන්තර "හා හා" ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි. ප්‍රතිචාර ජෙප්පන්ගේ බව පැහැදිලියි. ජෙප්පන් ව්‍යාජ ගිණුම්වලින් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ කොඳු නාරටිවල ප්‍රශ්නයක් නිසයි. ඔවුන්ට අඩු තරමේ සිංහල නම්වලින් ව්‍යාජ ගිණුම් සකස්කර ගන්නවත් කැඩී ඇති කොඳු නාරටිය ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් ජාත්‍යන්තර නම්වලින ව්‍යාජ ගිණුම් සකස් කර ගෙන.

 

ජෙපි දේශපාලනයත් සෙපි දේශපාලනයත් පදනම් වන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මතයි. ඔවුන් මනුෂ්‍යත්වයක් ගැන කතා කරනවා විය හැකියි. එහෙත් මූලික වශයෙන් තම ඊර්ෂ්‍යාව ක්‍රෝධය හා වෛරය වසා ගැනීමටයි. ඔවුන්ට කුලය රැකියාව ආදායම ආදී නොයෙකුත් කරුණු නිසා සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඉන් ගොඩ ඒමට ඇති එක මාර්ගය අධ්‍යාපනයයි. එහෙත් එයින් වැඩක් වෙන්නේ නැහැ. ඔවුන් මාක්ස්වාදී සිහිනය මගින් තම වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව පිරිමසා ගන්න හදනවා. විරුද්ධවාදීන් ඝාතනය කිරීම,  ගෙවල් ගිනි තැබීම, රාජ්‍ය දේපොළ විනාශ කිරීම ආදිය පමණයි ඔවුන්ට කරන්න පුළුවන්.

 

පැරණි වමත් මාක්ස්වාදය සරණ ගියේ විශේෂයෙන් එංගලන්තයේ දී  ඔවුන්ට සිදු වූ අසාධාරණකම් නිසා. මෙරට ප්‍රභූ පුතුන් වු ඔවුන්ට මෙයට සියවසරකට පමණ පෙර එංගලන්තයේ දී කෙණෙහිළිකම්වලට අසාධාරණකම්වලට මුහුණ දෙන්න සිදු වුණා. ඔවුන් සමහරකු බුදුදහමේ පිහිට පැතුවා. තවත් අය මාක්ස්වාදයේ පිහිට පැතුවා. ඔවුන් ලංකාවට පැමිණ ඊනියා කම්කරු පංතිය නමින් වෘත්තීය සමිති සංවිධානය කළා. ඔවුන්ට ප්‍රභූන් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් ප්‍රභූ පුතුන්.

 

එහෙත් විජේවීර සමය වන විට නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ඇවිත් ප්‍රභූන් වීමට බලපොරොත්තුවෙන් සිටි තරුණ තරුණියන්ගේ සිහින බිඳ වැටුණා. තරමක උසස් කියන රැකියාවක් ලැබුණු කිහිප දෙනාටත් ප්‍රභූන් වීමට  නොහැකි වුණා. ප්‍රභූ වීමට තිබූ එක මග ප්‍රභූ විවාහයක් කර ගැනීමයි. එය හැමෝට කරන්න පුළුවන් දෙයක් නො වෙයි. පැරණි වමේ නායකයන් අඩු තරමෙන් පොතපත කියවා කම්කරු පංතිය නැත්නම් ප්‍රොලිටේරියට් එක ගැන දැන සිටියා. විජේවීරට දැනුම තිබුණෙත් නැහැ. ඔහු දැක්ක කම්කරු පංතියකුත් නැහැ. ඔහු ඊනියා නිර්ධන පංතියක් දැක්කා. ඇත්තට ඔහු දැක්කේ නිර්ප්‍රභූන්. අද වන විට ජෙපි සෙපි දේශපාලනය වචනයේ පරිසමාප්තාර්ථයෙන්   නිරප්‍රභූ දේශපාලනයක් බවට පත්වෙලා. ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය හා වෛරය සංසිඳෙන එකක් නො වෙයි. ඔවුන් අඩු තරමෙන් බුදුදහම ගැන හිතනවා නම් වෛරී හැඟීම් නැති කර ගන්න පුළුවන්. එහෙත් ඔවුන් බුදුදහමටත් වෛර කරනවා. සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරනවා.

 

පැරණි රයිගමයා හා ගම්පළයා පැවත එන්නෙ ගම්පොළ හා රයිගම බලයට පත් මෙරටට දහතුන්වැනි සියවසේ දක්‍ෂිණ භාරතයෙන් පැමිණි අලකේශ්වරගෙන්. ඔවුන් පැමිණියේ කාංචිපුරයෙන් කියා කීමට උත්සාහයක් ගන්නවා. කාංචිපුරය වත්මන් තමිල්නාඩුවේ පිහිටි නිසා. එහෙත් කාංචිපුරය එකල තිබුණේ ආන්ද්‍ර ප්‍රදේශයේ. එහි බෞද්ධ සිද්ධස්ථානත් බිහි වුණේ ආන්ද්‍ර ප්‍රදේශයේ පැවති කාලයේ. අනෙක් අතට අලකේශ්වර කේරළ කර්නාටක පැත්තෙන් බවට සාධක තියෙනවා. දහතුන්වැනි සියවසේ කේරළ කර්නාටක ප්‍රදේශයෙන් මෙරටට විශාල පිරිසක් සංක්‍රමණය වී තියෙනවා. මෙරට මුස්ලිමුන් මෙන් බස්නාහිර පළාතේ ඇතැමුන් යාපනයේ ඇතැමුන් පැවත එන්නේ එකල පැමිණි අයගෙන්.

 

පැමණි සමහරු ගම්පොළ රාජධානියට එකතු වී පසුව බලයටත් පත් වුණා. ඔවුන්ගෙන් පැවත එන  අයගෙන් කොටසක් රයිගම රාජධානියක් පිහිටුවා ගෙන. අද පවතින කෝට්ටේ රාජධානිය ඇති කෙළෙත් අලකේශ්වර කෙනෙක්. කෝට්ටේ කියන්නේ මලයාලම් (කේරළ) බසින් බලකොටුවට බලකොටුව තනා ඇත්තේ යාපනයේ තිබූ අනුමැති රාජයේ (vassal state) ආක්‍රමණවලින් ආරක්‍ෂා වීමට. කෙසේ වෙතත් රයිගමයන් හා ගම්පළයන් සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්‍ෂා කිරීමට කටයුතු කර තියෙනවා. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා.

 

ලිපියේ සඳහන් සංවාදය නුතන රයිගමයකු හා ගම්පළයකු අතර රූපවාහිනි නාළිකාවක. ඔවුන් සිංහල බෞද්ධ පවුල්වල උපත ලද අය. එහෙත් පැරණි රයිගමයා හා ගම්පළයා මෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැහැ. ඔවුන් සිංහල බෞද්ධ (ගොවිගම)  විරෝධීන්. ඔවුන්ට කුල හා වෙනත් ප්‍රශ්න ඇති. ඔවුන්ගේ ඊනියා කම්කරු පංති විප්ලවය ඉවර වෙලා තරමක් කල්. ඔවුන් දැන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව අධිපතිවාදී ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියට කඩේ යනවා. විවිධ රූපවාහිනි මාධ්‍ය ඔවුන්ට උපකාර කරනවා. මාධ්‍ය හසුරවනු ලබන්නේත් සිංහල බෞද්ධ විරෝධීන් විසින්. රනිල් යටතේ ඔවුන්ට තානන මාන්න වරප්‍රසාද ලැබෙනවා.

 

ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව බවට පාළි පත් වූයේ පසු කලෙක ලංකාව නිසා. බුදුහාමුදුරුවන් ධර්මය දේශනා කෙළේ මගධයේ ජනපද නිරුක්තියෙන්. උන්වහන්සේ සංස්කෘතෙන් ධරමය දේශනා කිරීමට එකඟ වුණේ නැහැ. බුදුහාමුදුරුවන් ලංකාවට වැඩම කර නාගයන්ට යක්‍ෂයන්ට ධර්මය දේශනා කෙළේ මොන භාෂාවෙන් කියා කිසිවකු කියා තියෙනවා ? මෙරට වැසියන් මාගධී බස දැන සිටියේ යැයි සිතීමට බැහැ. කෙසේ වෙතත් මහිඳු හිමියන් ධරමය දේශනා කර ඇත්තේ හෙළ බසින්.

 

මා කියන්නේ ථෙරවාදී බුදදුහම ජාත්‍යන්තර වුණේ ලංකාවෙන් බවයි. අද ඇති ථෙරවාදී රටවල් පහට හා චීනයේ දකුණු දෙසටත් වියට්නාමයේ (චම්පා) දකුණු දෙසටත් ථෙරවාදය පැතුරුණේ ලංකාවෙන්. කලින් අශෝක රජු කාලයේ ධර්මදුත ව්‍යාපාර තිබුණත් සාර්ථක වී ඇත්තේ ලංකාවේ. එයින් මා අදහස් කරන්නේ අවුරුදු දහස් ගණනක් බුදුසසුන පැවතීමට පදනම දැමුණේ සිංහලයන් අතින් කියන එකයි. සිංහල දේශයෙන් තමයි පසුව අද ලෝකයේ ඇති ථෙරවාදය පැතිර ගියේ. අද ඇත්තේ සිංහල දේශයෙන් පැතිර ගිය ජාත්‍යන්තර ථෙරවාදයක්.

 

එසේ පැතිර යෑමේ දී සිංහල භාෂාව යොදා ගැනීමට තිබුණා. එහෙත් එය වැළකී බුද්ධඝෝෂ හිමියන් ලියූ පාළිය (පොතේ භෂාව) එසේ පැතිර ගිය ජාත්‍යන්තර ථෙරවාදයේ බස වුවා. මට ඇති කණගාටුව එයයි. ජෙප්පන් නිසා කණගාටුව නැතුව ගොස්. අද ජාත්‍යන්තරයේත් සිංහලෙන් මා ලියන ලිපි කියවන පිරිස් ඉන්නවා. ඔවුන් මහත් උද්‍යොගයෙන් "හා හා" ලකුණූ කරනවා.    ඔවුන්ට මා හා හා කියනවා.