Main Logo

Thursday 26 October 2023

සිංහලයන්ට අහිමි උතුර හා නැගෙනහිර

 

සිංහලයන්ට අහිමි උතුර හා නැගෙනහිර

 

උතුරු හා නැගෙනහිර පළාත් සිංහලයන්ට අහිමි ? දිවයිනේ ඕනෑම පෙදෙසක පදිංචි වීමට සිංහල නොවන ජනයාට බාධාවක් නැති නමුත් සිංහලයන්ට උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි වීමට දෙමළ ජාතිවාදීන් බාධා පමුණුවනු පමණක් නොව සිටින සිංහලයන් පළාත්වලින් පිටමං කිරීමට කටයුතු කරනු දැක ගත හැකියි. 

 

ඊයේ පෙරේදා බුදුපිළිම වහන්සේ නමක් ඉවත් කිරීමට පොලීසිය හා හමුදාව කටයුතු කරලා. ප්‍රදේශයේ සිංහලයන් කලක් තිස්සේ පදිංචි සිට ඇත්තේ. ඔවුන් තම ජීවිකාව කර ගත්තේ කුඹුරු වගාවෙන්. දෙමළ කොටි ආක්‍රමණ කාලයේ ඔවුන් එහි පදිංචි සිටි බවට සාක්‍ෂි තියෙනවා. එය එකල තිබූ ඊනියා මායිම් ගම්මානයක්. ගමේ නම දිවුලපතාන දිස්ත්‍රික්කය මඩකලපුව. විහාරස්ථානය වෙහෙරගොඩැල්ල රජමහා විහාරය.

 

මේ නම්වලින් පැහැදිලිවන්නේ ගම් නම් දෙමළකරණයකට පවා හසු නොවී ඇති බවයි. දෙමළ කොටි ත්‍රස්තවාදීන් නිසා පසුව සිංහල ජනයා ප්‍රදේශය අත්හැර ගොස්. එහෙත් නැවතත් 2010 දී පමණ මහින්ද රාජපක්‍ෂ කොටි පැරදවීමෙන් පසු  එතුමාගේ ජනාධිපතිත්වය යටතේ නැවතත් අර සිංහලයන් හා ඔවුන්ගෙන් පැවත එන අය එහි පදිංචියට ගිහින්. එය කිසිසේත් සිංහලයන් අලුතෙන් පදිංචි කිරීමක් නො වෙයි. පසුව ජඩපාලන සමයේ දී ඔවුන්ට අකටයුතුකම් සිදු වී තිබෙනවා. රනිල් බලයේ සිටින අවස්ථාවල සිංහලයන්ට අසාධාරණකම් ඉටු වන්නේ කෙසේ ?  

 

මාස කිහිපයකට පෙර එකී විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් නැවත තැන්පත් කර තිබෙනවා. එහෙත් මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී රාසමානික්කම් රනිල් වික්‍රමසිංහ ලවා හමුදාව හා පොලීසිය මගින් බුදුපිළිම වහන්සේ ඉවත් කර තියෙනවා. දැනටත් දිවුලපතානේ සිංහල පවුල් හාරසිය පනහක් පමණ පදිංචි සිටින බවයි දැන ගැනීමට ඇත්තේ. ඔවුන් අති විශාල බහුතරය බෞද්ධ වෙන්න ඕන. රනිල් රාසමානික්කම් ආදීන්ට බුදු පිළිම වහන්සේ නමක් ඉවත් කර සිංහල බෞද්ධයන්ට වැඳුම් පිදුම් කිරීමට ඇති අයිතිය නැති කරන්න පුළුවන් ?

 

මේ පියවර සිංහලයන් දිවුලපතානෙන් පළවා හැරීමේ පළමු පියවර වෙන්න පුළුවන්. රනිල් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට කටයුතු නොකරන බව පැහැදිලියි. ඔහු ඊනියා දෙමළ බෞද්ධයන් ගැන කියවනවා. මෙරට දෙමළ බෞද්ධ වාසස්ථාන තබා දෙමළ වාසස්ථානවත් දහතුන්වැනි සියවසට පෙර නොතිබූ බව පවසන්නේ යාපන විශ්වවිිද්‍යාලයේ පළමු ඉතිහාස මහාචාර්යවරයා සිටි කාර්තිගේසු  ඉන්ද්‍රපාල මහතා ලන්ඩන් විශ්වවිිද්‍යාලයට ඉදිරිපත් කල  තම ආචාර්ය උපාධි නිබන්ධයෙන්. රනිල් හරි රාසමානික්කම් හරි පුළුවන් නම් මෙරට දෙමළ බෞද්ධයන් ස්ථිර පදිංචි සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් කරන්න. ඉන්ද්‍රපාල මහතාගේ නිබන්ධයේ පිටපතක් මා ළඟ තියෙනවා. රනිල්ට හරි රාසමානික්කම්ට හරි අවශ්‍ය නම් එය කියවීමට දෙන්න පුළුවන්.

 

මෙරටට තමිල්නාඩුවෙන් දෙමළ ජනයා සංක්‍රමණය වූයේ නැති තරම්. මුලින් මෙහි සිටියේ දහතුන්වැනි සියවසේ පමණ සංක්‍රමණය වූ කේරළ නැත්නම් මලබාර් වැසියන්. ඉංගිරිසින්ගෙ කාලෙත් මුල දි අද දෙමළ කියන ජනකොටස හඳුන්වනු ලැබුයේ මලබාරයන් කියා. කෙසේවත් දෙමළ බෞද්ධයන් මෙරටට සංක්‍රමණය වූ බවක් හරි මෙරට දෙමළ ජනකොටස් බෞද්ධ වූ බවට හරි සාක්‍ෂි නැහැ. අනෙක් අතට දෙමළ බෞද්ධයන් සිටි බව කියන කාංචිපුරම් අද තමිල්නාඩුවේ වුවත් එදා ආන්ද්‍ර ප්‍රදේශයේ. වත්මන් තමිල්නාඩුවෙන් ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණ ඇත්තේ කලක් කල්ලතෝනි ලෙස හඳුන්වනු ලැබූ අය පමණක් වෙන්න පුළුවන්.          

 

සිංහල බෞද්ධ රජවරුන් නැගෙනහිර පළාතේ (රුහුණු රට) තැනූ දාගැබ් නැවියන් ලයිට් හවුස් ලෙස යොදා ගත් බව පැවසුවේ රනිල්. ඔහුගේ අවශ්‍යතාව කුමක් දැයි පැහැදිලියි. වත්මන් නැගෙනහිර පළාත කියන්නේ පැරණි රුහුණු රටෙන් කොටසක්. රට පළාත් නවයකට බෙදුවේ 1889 දී. රුහුණු රට ඊට වඩා හුඟක් පැරණියි.

 

සිංහලයන් රුහුණු රටේ පදිංචි වූයේ අද ඊයේ නො වෙයි. අප සිංහල වූ පසු මුළු දිවයිනේ සිංහලයන් වශයෙන් පදිංචි වී සිිටියා. කලින් සඳහන් කළ පරිදි මෙරට දෙමළ වාසස්ථාන ඇති වුණේ දහතුන් වැනි සියවසෙන් පසුව. ඒත් වත්මන් නැගෙනහිර පළාතේ නො වෙයි. ඉංගිරිසින් වෙල්ලස්සෙන් සිංහලයන් පන්නා දමා දහනවවැනි සියවසේ දී දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙනා දෙමළ කුලීකරුවන් පදිංචි කළා. රාසමානික්කම් නැගෙනහිර පළාතේ නම් ඔහුට දහනවවැනි සියවසට එහා යන ඉතිහාසයක් මෙරට නැහැ. ඔවුන් මෙරටට ස්වේච්ඡාවෙන් සංක්‍රමණය වූවන් නොවෙයි. ඔවුන් ඉංගිරිසින් විසින් වත්මන් නැගෙනහිර පළාතේ දැනට සියවස් දෙකකට මෙහා පදිංචි කෙරුණු දෙමළ කුලී කරුවන්ගෙන් පැවත එන්නන්.

 

අප ඔවුන් මෙරට රටවැසියන් හට පිළිගන්නවා. ඔවුන්ට මෙරට රටවැසියන්ට හිමි අයිතිවාසිකම් තියෙනවා. එහෙත් ආනයිනතයන්ගෙන් පැවත එන්නන්ට වත්මන් නැගෙනහිර පළාතේ සිංහලයන් පදිංචි වීමට විරුද්ධ වීමට ඇති අයිතිය කුමක් ? නැගෙනහිර පළාතේ සිංහලයන් අද ඊයේ පදිංචි කළ අයගෙන් පැවත එන්නන් නොවෙයි. එසේ නූණත් මෙරට ආණ්ඩුවට අයිතියක් තියෙනවා අද වුණත් සිංහලයන් රටේ ඕනෑම තැනක පදිංචි කිරීමට.

 

ඉංගිරිසි යටත්විජිත ආණ්ඩුවට පුළුවන් වුණා නම් දහනවැනි සියවසේ හා ඉන්පසු දකුණු ඉන්දියාවෙන් ගෙනා කුලීකරුවන් වත්මන් නැගෙනහිර පළාතේ හා උඩරට අවස්ථා දෙකක දී පදංචි කරවීමට නිදහසින් පසුව ඇති වූ ආණ්ඩුවලට  අවුරුදු දහස් ගණනක් තිස්සේ මෙරට ජීවත්වන සිංහලයන් රටේ ඕනෑම තැනක පදිංචි කිරීමට අයිතියක් තියෙනවා. රනිල් අයිතිය දෙමළ ජාතිවාදීන්ට පාවා දෙනවා නම් කළ යුත්තේ කුමක් කියා තීරණය කිරීම සිංහලයන්ට භාර වෙනවා. රනිල් ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වු අයකු නොවන බව නොදන්නේ කවුද?