Main Logo

Monday 23 October 2023

සුද්දන්ටත් එහා යන රනිල්

 

සුද්දන්ටත් එහා යන රනිල්

 

මන්නාරමේ මුසාලි ජාතික පාසලේ පැවති උත්සවයක දී පාර්ලිමේන්තුව මගින් ජනාධිපති කෙරුණු රනිල් වික්‍රමසිංහ කියා තියෙනවා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සියලු ආගම්වලට එක හා සමාන සලකීමත් සෑම රටවැසියකුට සමාන අයිතිවාසිකම් සැලසීමටත් කියා. මා දන්නේ නැහැ එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාගේ ප්‍රතිපත්තිය කියා. සෑම රටවෑසියකුට මෙරට සමාන අයිතිවාසිකම් නැහැ.

 

මා දන්නා තරමින් මෙරට ජනාධිපති මෙරට රටවැසියෙක්. එහෙත් ජනාධිපතිට නීතිය ඉදිරියේත් විශේෂ අයිතිවාසිකම් තියෙනවා. ඔහුට මුක්ති වරප්‍රසාද තියෙනවා. ඔහු ව්‍යවස්ථා සභාව ගණන් ගන්නේ නැහැ. ඔහු මේ ළඟ දී තම කැමැත්තට පමණක් ඉඩ දී ව්‍යවස්ථා සභාවේ මතයට විරුද්ධ පොලිස්පති පොලිෂ් කළා. සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ අධිකරණයට යන්න බැහැ.  සියලු රටවැසියන් නීතිය ඉදිරියේ සමාන යැයි කීවේ මොන බටහිර විද්වතා ?  මුදල් නැති අයකු දක්‍ෂ නීතිඥයකු හොයා ගන්නේ කොහොමද?

 

අනෙක් අතට නීතිපති ඇතැමුනට විරුද්ධ සාක්‍ෂි සහිත නඩු පවරන්නේ නැහැ. සමහරවිට සාක්‍ෂි නැති වෙන්න පුළුවන්. ඔය හැම කරුණක් සොයා බැලීමට අපට බැහැ. නීතිපති කියන එක අපට පිළිගන්න වෙනවා. කෙසේ නමුත් ඇතැමුන් නිදොස් කොට නිදහස් කෙරෙනවා. අධිකරණය කියනවා නඩුව ගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නැහැ කියා. නීතිපති සියල්ල දන්නවා ඇති. මා දන්නා නීතියක් නැහැ.

 

අර මහා දවල් මහා බැංකු මංකොල්ලය ගැන බන්දුල ගුණවර්ධනත් නිහඬයි. බන්දුල ගුණවර්ධන එහි මහා මොළකරු හොයා ගෙන ඇති. කාදිනල්තුමා ගැන වචනයක් කතා කරන්නේ නැහැ. අර්ජුන් මහේන්ද්‍රන්ගේ තාත්තා රාජකීය විදුහලේ ඉගැන්වූ බව නම් මා දන්නවා. ප්‍රභූ දේශපාලනය ගැන මට වැටහීමක් තියෙනවා. අපේ දෙමවුපියන්ට හා මාමාට පින්සිදුවන්න කුඩා කල සිට ප්‍රභූන් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා.

 

නිර්ප්‍රභූන්ට මෙරට කරන්න පුළුවන් ඉටිගෙඩිය ප්‍රභූන්ගේ අතකොළු වීම පමණයි. වමේ පක්‍ෂවලත් කතාව එයයි. විජේවීර එය වෙනස් කරන්න උත්සාහ කර මිය ගියා. ප්‍රේමදාස පමණක් ප්‍රභූ පෙළැන්තියට බලෙන් ඇතුල් වුණා.  ප්‍රභූ පාසලක් වූ ශාන්ත ජෝසෆ් විදුහල ඔහු නමින් තම ක්‍රීඩාගාරය නම් කර තියෙනව. ප්‍රේමදාසට අවසානයේ  දී රාජකීය විිදුහලත් නිර්ප්‍රභූ වුණා. ඔහු තම පුතාණන් එම විද්‍යාලයෙන් අස්කර එංගලන්තයේ ප්‍රභූ පාසලකට ඇතුල් කළා. අනුර කුමාර ප්‍රභූ  දාසයෙක් පමණයි. 

 

රනිල් නීතිය ඉදිරියේ අපට සමාන නැහැ. ඔහු නීතිය ඉදිරියේ කිසි දේකට වරදකරු වෙලත් නැහැ. මෛත්‍රිපාල අඩු තරමෙන් පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැලකිළිමත් වෙලා නැහැ කියා අධිකරණය තීරණය කළා. රනිල් සැලකිළිමත් වෙන්න ඇති. එහෙමත් නැත්නම් සැලකිළිමත් වෙන්න ඉඩක් තිබුනෙ නැති වෙන්න ඇති.  රනිල් අතිපාරිශුද්ධයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් වඩා පාරිශුද්ධයි.

 

එහූ රනිල් කියනවා සියලු ආගම්වලට එක හා සමානව සලකනවා කියල. දැන් ප්‍රශ්නය වන්නේ ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය එහෙම නොකියන එකයි.   රනිල් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා ? ව්‍යවස්ථා සභාව ගණන් ගන්නෙ නැති රනිල් බුදුසසුන ගණන් ගනීවි ?

 

ලන්දේසින් ඉංගිරිසින් මෙරට බුදුසසුනට හිමි විශේෂත්වය පිළිගත්තා. 1815 ගිවිසුමෙනුත් ඉංගිරිසින් බුදුසසුන රැක ගනෙීමට පොරොන්දු වුණා. මෙරටට පැමිණි බටහිරයන් වෙනත් ආගමක් රැකීමට පෝෂණය කිරීමට පොරොන්දු වෙලා නැහැ. පෘතුගීසීන්  අවසානයේ දී යාපනය අල්ලා ගත්තේ සිංහල බෞද්ධ රජකු වූ සෙනරත් රජුගෙන්. බටහිරයන් කවුරු කවුරුත් මෙරට අවසාන වශයෙන් අල්ලා ගෙන ඇත්තේ සිංහල බෞද්ධ රජවරුන්ගෙන්. එහෙමත් නැත්තන් පසුව කතෝලිකයකු වූ සිංහල බෞද්ධයකු වූ දොන් හුවාන් (ජුවාන්) ධර්මපාලගෙන්. ඔහුට ධර්මපාල කියා කොටසකුත් නමට තිබුණා. ධර්මපාල කියන්නේ ධර්මය ආරක්‍ෂා කරන්නාට.

 

පඬි නැට්ටකු අහන්න බැරි නැහැ ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල බෞද්ධ කියල. ඔව් රජු සිංහල බෞද්ධ රජකු ලෙසයි රජ කෙළේ. නෙදර්ලන්ත විශ්වවිද්‍යාලවල එහෙම පිළිගැනීමක් නැද්ද? අර යාපනයේ හිටපු කෝවියාර් නලවර් ආදී කුලවල ජනයා සිංහල බෞද්ධකමින් ඉවත් කර වෙල්ලාලයන්ගේ වහලුන් බවට නීතියෙන් පත් කළ නෙදර්ලන්තය සිංහලයන්ට මොනවා නොකියාවි ? ඉංගිරිසින් 1815 දි පමණක් නොව පසුව 1892 ආඥා පනතිනුත් බුදුසසුනේ විශේෂත්වය පිළිගත්තා. ආඥා පනත මා කලින් ලිපිවල සඳහන් කර ඇති. අවශ්‍ය නම් හොයා ගෙන කියවන්න. මගෙන් ඉල්ලන්න එපා. 

 

රනිල් සුද්දන්ටත් එහා ගිහින්. ඔහු ව්‍යවස්ථාවටත් පටහැණි බුදුසසුනට විශේෂත්වයක් දක්වන්නේ නැහැ. ඔහුගේ මිතුරු ඩේවිඩ් කැමරන් නම් එහෙම නො වෙයි. එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමට ඇති තැන වෙන කිසිම ආගමකට නැහැ. එහෙ වෙසක් පෝයටවත් නිවාඩු දෙන්නෙ නැහැ. නත්තලට නම් සතියකට වඩා නිවාඩු ලැබෙනවා. රනිල් කැමරන් එක්ක පොඩ්ඩක් කතා කරනවා ?