Main Logo

Friday 20 October 2023

අපේ ක්‍රිකට් හා අපි

 

අපේ ක්‍රිකට් හා අපි

 

පසුගිය දා අපේ ක්‍රිකට් ගැන ලෝක ශූරයන් දෙදෙනකු කතා කර තිබුණා. එක් අයෙක් දක්‍ෂ පිතිකරුවෙක්. අනෙක අය දක්‍ෂ පන්දු යවන්නෙක්. සුනිල් ගවස්කාර් හා මුත්තයියා මුරලිදරන්. මා හිතනවා ඔවුන් කියා ඇති දේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට පමණක් නොව පොදුවේ ජාතියටත් ජාතික ව්‍යාපාරයටත් ගැලපෙනවා කියා.

 

1996 දී අප ලෝක ශූරතාව දිනුවා. මට මතකයි එකල අප කළුතර සිට කතරගමට පයින් ගියා චන්ද්‍රිකා - ජී එල් පැකේජයට විරුද්ධ . ගමනට චන්ද්‍රිකාට විරුද්ධ ජා පාක්‍ෂිකයන් සහභාගි වුණා. අපට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. පා ගමනෙහි නායකත්වය දැරුවේ දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය. එනම් ජාතික බලවේගය. එකල ජාතිකත්වයේ නායකත්වය දැරුවේ අප සංවිධාන තුනයි. ගුණදාස අමරසේකර කිසිම සංවිධානයක හිටියේ නැහැ. දැනුත් නැහැ. වෛද්‍ය කමලදාස නම් අපට ආධාර කළා.

 

අප 1998 දී වෙල්ලස්සට ගොස් වෙල්ලස්සේ කුමරු සැමරුවා. චන්ද්‍රිකා එකල වේල්ස් කුමරු වූ දැන් තුන්වැනි චාල්ස් සමග රටේ නිදහසේ පනස්වැනි වසර සමරද්දී. ගමනටත් වෛද්‍ය කමලදාසත් සුමේධ විරවර්ධනත් ආධාර කළා. අප දෙමළ ජාතිවාදයට විරුද්ධ ජාතික මතවාදයක් ගොඩ නැගුවා. එහෙත් අප දෙස  විවිධ සංවිධාන බැලුවේ සැකයෙන්. ජයග්‍රහණය වීිරවිදහන වැනි වාමාශික නොවන සංවිධාන අප තම වැඩවලට සහභාගි කර ගත්තේ නැහැ. අපට කෙසේ නමුත් පැකේජය පරදවන්න පුළුවන් වුණා. එහෙත් වැඩිකල් නොගොස් වෙනත් සංවිධාන ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වුණා.  වමේ යැයි කියන සංවිධාන.

 

ඔවුන් අමරසේකර සමග බැඳුණා. අමරසේකරටත් මාක්ස්වාදී අදහස් බලපෑවා. මා හිතන්නේ නැහැ ඔහු මාක්ස්වාදී පොතපත ස්වල්පයකට වඩා පරිශීලනය කර තියෙනවා කියා. අමරසේකරගේ භෞතිකවාදී ස්ථාවර නිසා බටහිර විද්‍යාව කරපින්නාගත් අයත් ඔහු වටා එක් වුණා. ඔවුන් ඔහු මුලසුනේ තබා ගෙන තම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට උත්සාහ දැරුවා. ඔවුන්ට ජනමාධ්‍යයෙන් ආධාර ලැබුණා. එඩ්මන්ඩ් රණසිංහ මහතා දිවයිනෙන් යෑමෙන් පසු අපට ජනමාධ්‍යයක් නැති වුණා.

 

වි පෙ ඇතැම් කොටස් ජාතික ව්‍යාපාරය සමග බැඳීමත් සමගයි අර භෞතිකවාදීන් ජාතිකත්වයට පැමිණියේ. 2005 දී අප සියලු දෙනාට එක් වී මහින්ද බලයට පත් කිරීමට හැකි වුණා. අප දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කළා. එහෙත් බටහිරයන් හා බැසිල් 2015 දී ජාතිකත්වය පරාජය කළා. එසේ නමුත් අපට හැකි වුණා දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවා ගන්න. එහෙත් බටහිරයන් යටත්විජිත ආදී ජෙප්පන් පාර්ලිමේන්තු ගැබේ දුවවා ආණ්ඩුව බිඳ වැට්ටෙවුවා. එහි දී බැසිල් ජාතිකත්වයට විරුද්ධ වුණා. සියල්ල මැද 2019 දී ගෝඨාභය බලයට පත්කිරීමට අපට හැකි වුණා. එහෙත් බටහිරයන් ඉන්දියාවේ සහාය ඇතුව විවිධ උපක්‍රම මගින් ගෝඨාභයත් මහින්දත් ගෙදර යවා රනිල් බලයට පත් කර ගත්තා. එදා ඉඳන් රටේ අතිවිශාල බහුතරය මැරි මැරී ජීවත් වෙනචා.

 

අද ජාතික ව්‍යාපාරයටත් ජාතියටත් සිදු වී ඇත්තේ ක්‍රිකට් කණ්ඩායමට සිදු වී ඇති දේමයි. මුරලිදරන් කියන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ අයට අවශ්‍ය නායකයා වීමට කියා. මා දන්නේ නැහැ අර්ජුන රණතුංගගෙන් පසු අපට හරිහමන් නායකයකු සිටියා කියා. නායකයන් කියන්නේ ක්‍ෂෙත්‍රයෙහි දක්‍ෂයන් නො වෙයි. පිති හරඹයෙන් අර්ජූනට වඩා අරවින්ද සිල්වා අර්ජුනගේ සොයා ගැනීමක් වූ සනත් ජයසූරිය ආදීන්  දක්‍ෂයන්. පන්දු යැවීමේ දී මුරලිදරන් ඉතා ඉහළ තලයක හිටියේ. එහෙත් ඔවුන් සියලු දෙනා අර්ජුනගේ නායකත්වය පිළිගත්තා.

 

ගවස්කාර් කියන්නේ අපේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ඉන්දියාවේ වීදිවල ක්‍රීඩා කරන්නන් මෙන් කිසිම වගකීමක් නැතුව කියා. අපට අරමුණක් නැහැ. අප ක්‍රීඩා කරන්නේ සාමුහික වගකීමකින් නොව තනි තනිව වාරතා සඳහා. අපට විනයක් නැහැ. නායකයකු නැතුව අපට විනයක් පනවන්නෙ කවුද? අප පිටරට යන්නේ ක්‍රිකට් ගහන්න වෙනත් දේකට කියා සමහරුන් අහනවා. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් ගැහීම හැර වෙනත් සෑම දෙයක් කරනවා කියා කියැවෙනවා.

  

ජාතියක් වශයෙන් පමණක් නොව ජාතික ව්‍යාපාරය වශයෙන් අප ක්‍රිකට් කණ්ඩායමට සමානයි. මෑතක දී මෙරට පහළ වූ විශිෂ්ට ජාතික නායකයා වූ මහින්ද රාජපක්‍ෂ බටහිරයන් විසින් එළවා දමනු ලැබීමේ දී අපි ප්‍රීතිඝෝෂා පැවැත්වුවා. ගෝඨාභයට වැඩක් කරන්න ඉඩක් දුන්නේ නැහැ. හරින්ලා කාදිනල්තුමා හා විවිධ උණ්ඩියල් මුදලාලිලා එකතු වුණා. අද අර්ජුන නැහැ. එහෙත් සංගක්කාර එම් සී සී හි සභාපති. අද මහින්ද නැහැ. එහෙත් රනිල් රටේ ජනාධිපති. අද දේශප්‍රේමි භික්‍ෂූ පෙරමුණ රුහුණු රට භික්‍ෂු පෙමුණ චින්තන පර්ෂදය නැහැ. එහෙත් ඊනියා මාක්ස්වාදී භෞතිකවාදී ජාතික සංවිධාන ජඩමාධ්‍යවේදීන්ගේ ඇසට ලක් වෙනවා.

 

අද අප වගකීමකින් තොර හුදු පුද්ගලික නායකත්වය සඳහා බයිලා කියනවා. පාර්ලිමේන්තුව විගඩමක් වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇත්තේ නමට පමණක් බව රනිල් ඔප්පු කරලා. අපට ඇත්තේ සතියෙන් සතිය පොලිෂ් වෙන පොලිස්පති කෙනෙක්. අපි තව කොපමණ කලක් මැරී මැරී  ජීවත්වෙනවා ? ජඩමාධ්‍යට නොපෙනුනාට අප මැරී නැහැ.  අද හෙට මැරෙන්න අදහසකුත් නැහැ.