Main Logo

Wednesday 1 November 2023

මුස්ලිම් හමාස් ක්‍රිස්තියානි බටහිර හා සිංහල බෞද්ධ ගෝඨාභය

 

මුස්ලිම් හමාස් ක්‍රිස්තියානි බටහිර හා සිංහල බෞද්ධ ගෝඨාභය

 

මෙරට මෙතරම් ප්‍රශ්න තියෙද්දී හමාස් ඊශ්‍රායල යුද්ධය ගැන ලියන්නේ අහවල් දේකට කියා අහන අය ඉන්නවා. යුද්ධය ගැන ලියන  ලිපිවලට කැමති පිරිස ඉතා අඩුයි. ඔවුන් සාමයකට ලැදිය කියා මා කියන්නේ නැහැ. මිනිසුන් හැසිරෙන්නේ එලෙසයි. පොදුවේ ගත් කල පිරිමි තරම් දේශපාලනය ගැන උනන්දුවක් ගැහැණු දක්වන්නේ නැහැ. ගැහැණුන් ඡන්දය දෙන්න යනවා. එහෙත් දේශපාලනය ගැන දක්වන උනන්දුව අඩුයි. ඔවුන්ගේ උනන්දුව පවුල ගැනයි. ගෙදර ගැනයි. ගෘහණිය කියන එකේ තේරුමත් තියෙනවා. පඬි නැට්ටන් හා නැට්ටියන් කියන්න පුළුවන් මා ගැහැණුන් කුස්සියට තල්ලු කරන්න හදනවා කියා. ඒක පැත්තකින් තියලා තමන්ගේ ආච්චිලා අම්මලා සොහොයුරියන් පෙම්වතියන් බිරින්දෑවරුන් දියණියන් ගැන කල්පනා කරන්න. මා දන්නවා කාට හරි කියන්න පුළුවන් සමාජ බලපෑමක් කියලා

 

පිරිමින් පොදුවේ ගත් කල ඊට වඩා රටේ තොටේ වැඩ ගැන උනන්දුවක් දක්වනවා.  එය ගමේ කටයුතු රැකියාව කරන ආයතනයේ කටයුතු ආදී වශයෙන් විහි දී යනවා. තමන්ට  බලපාන ආකාරයට කියා ගැහැණුන් පිරිමින් හිතනවා වෙන්න පුළුවන්. ටික දෙනකු පිටරට තොරතුරු ගැනත් උනන්දුවක් දක්වනවා. බොහෝ දෙනා හිතන්නේ පිටරට සිද්ධ වෙන දේ තමන්ට එතරම් වැදගත් නැහැ කියා. එහෙත් අද ලෝකය හැම අතින් බැඳිලා.

 

පෘථිවියෙන් පිටත දේත් අපට බලපානවා. සූර්යයා නැත්නම් මිනිස් ජීවය නැහැ. අපට ග්‍රහයන් (ග්‍රහ වස්තු නොවෙයි) බලපාන්නේ කෙසේ ? චන්ද්‍රයාගේ බලපෑම නම් මෙටාවෙ පඬි නැට්ටන් පෝ දිනවල පෙන්වනවා. කෙසේ වෙතත් ජ්‍යොතිෂය කියන්නෙ පඬි නැට්ටන් හිනහවුනාට ග්‍රහයන් පුද්ගලයන්ට බලපාන්නෙ කෙසේ යන්න විස්තර කිරීමට ගොඩ නැගුණු ශාස්ත්‍රයක්. සෞර්ය ග්‍රහ මණ්ඩලයෙන් එහා වස්තුත් (විශ්වය) අපට සුළුවෙන් නමුත් බලපානවා. ඒත් හැම පිරිමියා හැම ගැහැණිය ගැන විමසිලිවත් වන්නේ නැහැ. 

 

හමාස් ඊශ්‍රායල යුද්ධය කීවට එය මුස්ලිම් සභ්‍යත්වයට එරෙහි කෙරෙන යුද්ධයක්. අද ලෝකය පාලනය කෙරෙන්නේ බටහිර ක්‍රිස්තියානි රටවල් විසින්. අපත් අනුගමනය කරන්නේ රටවල්. අප පදිංචියට යනවා නම් යන්නේ රටවලට මිස විශේෂ අවස්ථාවක දී හැර රුසියාවට හරි චීනයට හරි කියුබාවට හරි අරාබි රටකට හරි නො වෙයි. මුස්ලිම් රටවලත් තත්වය එහෙමයි. ජපානයත් ඊනියා දියුණුව අත්පත් කර ගන්න උත්සාහ කෙළේ බටහිර ක්‍රිස්තියානි රටවල් අනුගමනය කිරීමෙන්.

 

එහෙත් හැම රටක පාහේ තම සංස්කෘතිය සභ්‍යත්වය ගැනත් ඇල්මක් තියෙන අය ඉන්නවා. සමහර විට ලෝකයේ ප්‍රතිශතයක් ලෙස එවැන්නන් අඩුවෙන් ඉන්නෙ ලංකාවෙ සිංහලයන් අතර වෙන්න ඕන. පඬි නැට්ටන් දන්නෙ වලිගෙ වනන්න විතරයි. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ තමා සිංහලයකු නොව මනුෂ්‍යයකු කියා. කොහොම වෙතත් මට හිතෙන හැටියට ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ රටවල ජාතිකත්ව බලවත් වුණා. අපෙත් පනස්හය එහි ප්‍රතිඵලයක්.

 

මූස්ලිම් ලෝකයේ මතයක් ඇති වුණා හත්වැනි සියවසේ පමණ සිට නැපෝලියන් ජයග්‍රහණ දක්වා තම සභ්‍යත්වය ලෝකය පුරා පැතිර ගිය බවත් තමන් ආපසු සභ්‍යත්වයට යා යුතු කියාත්. එහි ප්‍රතිඵලය තමයි ඉස්ලාම්වාදය. ඔටෝමාන් අධිරාජ්‍යය පරාජය වී බටහිරයන් පලස්තීනය පාලනය කිරීමත් මුස්ලිමුන්ට තම සභ්‍යත්වය ගැන හිතන්න හේතුවක් වෙන්න ඇති. 1948 පිහිටුවන ලද ඊශ්‍රායලයට මුස්ලිම් ලෝකය විරුද්ධ වීම පුදුමයක් නො වෙයි.

 

මා දන්නවා පඬි නැට්ටන් දැන් කියන බව මෙරට ජතිකවාදීන්ට වුවමනා කරන්නේ ආපසු අනුරාධපුරයට බරකරත්තයෙන් යන්න ගියා. එදා ජාතික චින්තනය නමින් හැඳින්වුණු ජාතිකත්වය තේරුම් ගැනීමට පඬි නැට්ටන්ට බැහැ. ජාතිකවාදීන්ට අවශ්‍ය අපේ සංස්කෘතියට බටහිර දැනුම අවශෝෂණය කර ගැනීමට. කියන්නෙ බටහිර සභ්‍යත්වයේ කරුණු කිසිම වග විභාගයක් නැතුව අනුකරණය නොකර අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීම. බොගෝ පඬි නැට්ටන් ලියන කියන දෙයින් පැහැදිලි වන්නෙ ඔවුන්ට අවශෝෂණය යන්න නොතේරෙන බවයි.

 

ඔය සංස්කෘතික ප්‍රශ්නය හැත්තෑවේ දශකයේ අග බටහිර විශ්වවිද්‍යාලවල සාකච්ඡා වුණා. එහි දී එඩ්වඩ් සයිඩ් තම ප්‍රාචීනවාදය (Orientalism) පොතෙන් සාකච්ඡා කෙළේ බටහිරයන් පෙරදිග ලෝකය විශේෂයෙන් මුස්ලිම් ලෝකය තමන් දකින ආකාරයකට විස්තර කිරීම. 1978 දී නිකුත් වී ඇති පොත මා කියෙව්වේ 1986 දී මගේ ලෝකය පළ වීමෙනුත් පසුව. සයිඩ් කතා කරන්නේ දැනුමේ සාපේක්‍ෂතාව බව මට වැටහුණා. එහෙත් ඔහු බවක් සංකල්පීය කියා තිබුණේ නැහැ. සයිඩ් බිරිතානි පලස්තීනයේ ක්‍රිස්තියානි පවුලක උපන් පලස්තීනයකු බව අමතක නොකළ යුතුයි. ඔහු අධ්‍යාපනය ලැබුවේ බටහිර ආයතනවල. ඔහුට සංස්කෘතික වෙනස්කම් තේරෙන්න ඇති.

 

කෙසේ නමුත් අද වන විට බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හමාස් සංවිධානය විනාශ කිරීමට ඉටා ගෙන ඇති බව පැහැදිලියි. බටහිරයන් පමණක් නොව ඉන්දියාවත් අද ඉන්නෙ ඊශ්‍රායලය පැත්තේ. 1948 දී ඊශ්‍රායලය බිහි කරන අවස්ථාවේ නේරු විරුද්ධ වුණා. පලස්තීනය මුලින් පිළිගෑණුනු අරාබි නොවන රට ඉන්දියාව. එහෙත් මෝදිගේ නායකත්වය යටතේ අද ඉන්දියාව හමාස් ත්‍රස්තවාදයට විරුද්ධ ඊශ්‍රායල ත්‍රස්තවාදයට ආධාර කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සටන් නැවෑත්වීම සඳහා ගෙන යෝජනාවේ දී ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියා.

 

මෝදි කියන්නේ මුස්ලිම් ත්‍රස්තවාදය ඊශ්‍රායලයට පමණක් නොව ඉන්දියාවට විරුද්ධ ක්‍රියාත්මක වන බවයි. නිසා ඔහු මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධ වෙනවා. මෝදි හා නෙතන්යාහු  ඊශ්‍රායලයට හා ඉන්දියාවට සංචාර හුවමාරු කරන් තියෙනවා. මා මෙහි සඳහන් කරන්නේ රටවල් ඊනියා කරුණු (facts)  තේරුම් ගන්න ආකාරයයි.

 

අපට නම් මුස්ලිම් විරෝධී වීමට හේතුවක් නැහැ. මෙරට මුස්ලිමුන් සිංහල බෞද්ධ නායකයකු වූ ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත් කිරීම සඳහා දිවි හිමියෙන් සටන් කළ අය. පාස්කු ප්‍රහාරයේ දී මුස්ලිමුන් කී දෙනෙක් ගෝඨාභය බලයට පත් කර ගැනීමට ජීවිත පූජා කළා ?

 

කොහොම වෙතත් බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය තම ලෝක ආධිපත්‍යය තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්නවා. මෙරට දේශපාලනයට එය වැදගත් වෙනවා. එය හුදෙක් තෙල් මිල වැඩි වීමේ ප්‍රශ්නයක් නො වෙයි. තෙල් මිලත් අපට බලපානවා. ඊට වඩා දේශපාලන හා දැනුම් ආධිපත්‍යය බලපානවා. බටහිර ක්‍රිස්තියානි හා ඉන්දීය හින්දු සභ්‍යත්ව හමුවේ සිංහල බෞද්ධ ජාතිකත්වයට මුහුණ දීමට ඇති අභියෝගය තවත් බලවත් වෙනවා.