Main Logo

Wednesday 8 November 2023

අර්ජුන දැවී ගිහින් හොරු ගෙදර ගිහින්

 

අර්ජුන දැවී ගිහින් හොරු ගෙදර ගිහින්

 

මා ඊයේ ලිපිය ලියා ටික වෙලාවකින් අර්ජුන රණතුංග දැවී ගිහිල්ල. ඔහු ඇන්ජලෝ මැතිව්ස් වගේ පන්දුවකට පහර දීමටත් පෙර දැවී ගියේ නැහැ. ෂම්මි සිල්වා යැවූ ගුග්ලි පන්දුවකට ඔහු දැවී ගියේ රොමේෂ් සිල්වා උඩ පන්දුව රැකීමෙන්. රොෂාන් රණසිංහ අනෙක් කෙළවරේ තුන්වැනි විනිසුරු රනිල් වික්‍රමසිංහට දෙස් දෙවොල් තියනවා. රණතුංගලාට රණසිංහලාට පුළුවන් සිල්වලාට වික්‍රමසිංහලාට ගේමක් දෙන්න කියා පරගල කොල්ලෙක් අහන්න බැරි නැහැ. ගෙදර නැති සම්මන්ත්‍රණවල දී  පමණක් ඇති කාන්තා විමුක්තිය සඳහා ඕන නම් පරගල කෙල්ලෙක් කියා කියන්න.

 

මා නම් සජිත් ප්‍රේමදාස වගේ ක්‍රිකටර් කෙනෙක් නොවෙයි. අපි පාසල් යන කාලෙ බුක් ක්‍රිකට් නම් ගහලා තියනවා. දැනුත් බුක් ක්‍රිකට් තියෙනවා කියා දන්නේ නැහැ. බුක් ක්‍රිකට් ගැන දන්නෙ නැත්තන් චැට්ජීපීටියෙන් අහන්න. සජිත් කොහොම වෙතත් රනිල් නම් දන්නවා ඇති. ඒත් අය හම්බවෙන එක ලෙහෙසි නැහැ. චැට්ජීපීටිය ඊට වඩා ලේසියි.

 

පරගලය ජයගෙන. කියන්නේ පරගල කොල්ලන් කෙල්ලන් ජයගෙන කියන එක නො වෙයි. පරගලයෙදි ඔවුන් කිවුවෙ නම් සිස්ටම් චේන්ජ් කරනවා කියා. බටහිරයන් මේ කජු කිරි කොල්ලන් කෙල්ලන් හොඳට යොදා ගත්තා. ඊනියා සිස්ටම් චේන්ජ් එකකට නෙවෙයි. සිස්ටම් චේන්ජ් වෙන එක නවත්තලා ආපහු සිස්ටම් එකට යන්න. ඒක සහසුද්දෙන් කෙරිලා තියෙනවා. රනිල්ලා ෂම්මිලා බලයේ.

 

රොෂාන් කියනව රනිල් කිවුවලු අතුරු මණ්ඩලය අස්කර ගන්න කියා. රනිල් අතුරු මණ්ඩලය පත්කිරීම ගැන දැන හිටියෙ නැහැලු. ඇමතිවරු කරන හැම දෙයක් ජනාධිපතිට කියන්න ඕන ? රොෂාන් කොයි එකටත් ඊළඟ ගමන පොළොන්නරු යන විට රනිල්ට කියල ගියොත් හොඳයි. හබරණ අලි ඉන්න පුළුවන්. මා කිවුවෙ කකුල් හතරෙ අලි ගැන.

 

කොහොමටත් ෂම්මි සිල්වා රොමේෂ් සිල්වත් එක්ක උසාවි ගිහින්. මෙරට නීතිය ඉංගිරිසි නීතියෙන් සංශෝධනය වෙච්ච රෝම ලන්දේසි නීතිය. ඒක ගැන දැන ගන්න නීතිපති දෙපාර්තමේන්තුවට යන්න ඕන. ඔවුන් දන්නවා රෝම ලන්දේසි නීතිය. නීතිය අනුව උසාවියෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන අන්දමට නඩු පවරන්න ඔවුන් දන්නවා. උසාවිය කියන්නෙ උස් අවිය කියා නිරුක්ති දන්න අයකුගෙන් අහන්න ඕන. නීතිඥයකුගෙන් අහල වැඩක් නැහැ. ඔවුන් කියාවි උසාවිය තියෙන්නෙ අලුත්කඩේ එතැන ටිකක් උසයි කියලා.

 

කතාවලින් වැඩක් නැහැ. මේ සියල්ලෙන් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. ලංකා කණ්ඩායම දිරි ගැන්වීමට   ඕස්ත්‍රේලියාවට ගිය සුරතලියන් ගැන නො වෙයි. මොන කණ්ඩායම කියල මගෙන් අහන්නත් එපා අහගන්නත් එපා. මා කියන්නේ හොරු ගැන. දැන් සක්සුදක් සේ පැහැදිලියි ලංකාවෙ හිටියෙ හොරු දෙන්නෙක් විතරයි කියල. දෙන්නව පරගලයෙන් ඉවත් කෙරුණා. දෙන්නා අයියයි මල්ලියි. ඔවුන් සතුටින් කියා දන්නේ නැහැ. අපි සන්තෝසෙන් ඉන්නේ .. .. අයියා මල්ලී ව්ගේ.  දැන් මේ සසිරිබර සිරිලක පින් බිමක්. මේ බිමේ දැන් හොරු නැහැ. කිසිම දුෂණයක් නැහැ. හීනෙන්වත් පවු කරන්නන් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව නම් පිනේ පින් වැඩක්.

 

හොරු දෙන්න දැන් ගෙදරට වෙලා ඉන්න නිසා මේ පින් බිමේ කිසිම හොරකමක් සිද්ධ වෙන්නෙ නැහැ. ඔවුන් ගෙදර පොඩි පොඩි හොරකම් කරනවා කියල විශ්ව ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න ඕන. විශ්වය අනන්තයට දික් වෙනවා කියනවා. බහු විශ්ව තියෙනවා කියලත් කියනවා. ඒකට කමක් නැහැ. මේ දෙරණේ නොවෙයි ගෙදර හොරකම් ගැන කාගෙන් අහන්න ? ඒත් ඔය හොරු දෙන්න නැත්තන් තාම ප්‍රභාකරන් බෝම්බ පුපුරවනවා. රනිල් කිලිනොච්චි යනවා.

 

රනිල් කියන විට හොරකම් ගැන කියන වට මහා දවල් මහා බැංකු මහා මංකොල්ලය මතක් වෙනවා. බන්දුල ගුණවර්ධන ශූරීනුත් දැන් ගැන කියන්නෙ නැත්තෙ එය හොරකමක් නොවන බව එතුමාටත් අවබෝධ වෙලා වෙන්න ඕන. හොරකම් කෙළෙ හොරු දෙන්න විතරයි. මට පොඩි කතාවක් මතක් වුණා. දාර්ශනිකයන්ගෙ වසවර්ති මාරයන්ගේ ප්‍රීති ප්‍රමෝදය සඳහා අවබෝධ වන්නෙ දැනුම, සම්මාබෝධ වන්නෙ නොදැනුම කියන්න පුළුවන්.

 

අපි තාම ණය ගෙවන්න පටන් ගත්තෙ නැහැ. ඒත් මහා බැංකුව මොනව කිවුවත් බඩු මිළ අහස උසට. අලුත්කඩේට වඩා උසයි. ණය ගෙවන්න පටන් ගත්තොත් මොනව වෙයි ? බටහිරයන්  රනිල් ගියොත් එන අයට ණය ගෙවන්න කියනවා. ඔය කයිවාරු කියවන කවුරුත් දන්නවා ණය ගෙවන්න ගියා සිදු වෙන දේ. ණය ගෙවන්නෙ නැති විටත් මෙච්චර අමාරු නම් ණය ගෙවන්න වුණොත් කොහොමට හිටීවි ?

 

අද රනිල් බයයි ඡන්ද තියන්න. පරදින බව දන්න නිසා. අනෙක් අයත් බයයි ඡන්දෙ තියෙනවාට. බැරිවෙලාවත් දිනුවොත් වෙන සන්තෑසිය දන්න නිසා. නිසා මේ ආණ්ඩුව වට්ටන්න කිසිවකු ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ආණ්ඩුව හෙලවෙන දත වගේ ඔහේ තියෙනවා. අපි එක එකාගේ පුරාජේරු කතා අහන ගමන් බටහිර ආසියාවට දකුණු කොරියාවට ගිහින් ශ්‍රමය විකුණන අය විශේෂයෙන් අසරණ කාන්තාවන් එවන මුදලින් ඇපල් කනවා. මෙහෙමත් පින් බිමක්.

 

මා නම් කිසි දිනෙක කියන්නෙ නැහැ මා අර හොරු දෙන්නට ආධාර කළේ නැහැ කියලා. මට ජනාධිපති සිහිනයක් නැහැ.