Main Logo

Tuesday 7 November 2023

අර්ජුන රණතුංග දැවී යන්නේ කවදා ද?

 

අර්ජුන රණතුංග දැවී යන්නේ කවදා ?

 

රොෂාන්ගෙ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න රනිල් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරලා. සිස්ටම් චේන්ජ් වෙලා. පරගලය ජයගෙන. අපි ගෙදර යන්නෙ නැහැ. කුරුඳුවත්තෙ රනිල් එක්ක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග හැප්පෙන්න පොළොන්නරුවෙ රොෂාන්ට තියා පොළොන්නරුවෙ මෛත්‍රීපාලටවත් බැහැ. අර්ජුන රණතුංග අතුරු කමිටු සභාපති ලෙස කොපමණ කාලයක් වැඩ කරාවි ? ඉංගිරිසි කියමනක් තියෙනවා ඉට්ස් නොට් ක්‍රිකට් කියල. තුට්ටු දෙකේ වැඩක් කළාම ක්‍රිකට් නොවෙයි කියනවා. ක්‍රිකට් මහත්වරුන්ගෙ ක්‍රීඩාව. මහත්වරු ජරා වැඩ කරන්නෙ නැහැ. ජරාව ගන්නවා පමණයි.

 

ඉහත ඡෙදය තේරුම් කරන්න කෙටි ලිපියකින් නම් බැහැ. එහෙත් දන්නා අයට කෙටි ලිපියක්වත් අවශ්‍ය නැහැ. ක්‍රිකට් මහත්වරුන්ගෙ ක්‍රීඩාව කියලයි කියන්නෙ. ඒක නිසා තමයි ඊයේ ඇන්ජිලෝ මැතිව්ස් එක පන්දුවකටවත් පහර නොදී දැවී ගියේ. මහත්වරු වෙලාවට  පිටියට ඇවිත් පන්දුවට පහර දෙන්න පටන් ගන්න ඕන. සඳහා වෙලාවක් තියෙනවා. වෙලාවට ආවෙ නැත්තන් එන්න බැහැ. කාලය දැවී ගිහින්.

 

ක්‍රිකට් කියන්නෙ අද නිර්ප්‍රභූන් ක්‍රීඩා කළත් ප්‍රභූන්ගෙ ක්‍රීඩාවක්. ඒකෙ නීති හදල තියෙන්නෙ එංගලන්තෙ මහත්වරු. ක්‍රිකට් පමණක් නොවෙයි රගර් පාපන්දු ආදී ක්‍රීඩාවලත් නීති රීති හදල තියෙන්නෙ  බටහිර මහත්වරු. ඔවුන්ගෙ පද්ධතියෙ වැඩ. නැත්නම් සිස්ටම් එකේ වැඩ. ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් කියාවි ක්‍රීඩාවට දේශපාලන බලපෑම් කරන්න බැහැ කියලා. ඒත් මුළු ක්‍රීඩාව පමණක් නොවෙයි අධ්‍යාපනය නීතිය උසාවිය රැකියා විතරකුත් නොවෙයි දේශපාලනයත් කෙරෙන්නෙ බටහිර විධියට. අද සියල්ල බටහිර ඉවුරේ ඇණ තියාගෙන.

 

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයත් බටහිරයන්ගෙ. පැරණි ග්‍රීසියෙ වහලුන්ට තිබූ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද රටවල බටහිර වහලුන්ට විතරයි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ. අනික් අය බලයට පත් වුණත් වැඩි කල් ඉන්න දෙන්නෙ නැහැ. අපි තරමක් හොඳයි. පනස්හයෙන් පස්සෙ ටික කලක් හරි ශ්‍රී නි පොහොට්ටු ආණ්ඩු තිබිල තියෙනවා. මා කියන්නෙ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව නැතුව. ඇතැමකුට විජය කුමාරතුංග ආකර්ෂණීය චරිතයක් වුණත් ඔහු බලයට පත්වුණා නම් සිංහල බෞද්ධකම බටහිරයන්ට යට කරනවා. චන්ද්‍රිකා ශ්‍රී නි පක්‍ෂයේ හිටපු බටහිර නියෝජිතවරිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කෙනකුට වඩා කුමාරතුංග කෙනෙක්. මා මෙහි සඳහන් කරන්නේ පවුල් කතන්දරයක් නො වෙයි. ජාතිකත්වය හා විජාතිකත්වය අතර කතාවක්.

 

මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය තෝරන්නෙ ඡන්දයෙන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කියනවා. ඒත් ඡන්දෙ දි වෙන දේ බොහොමයක් අපි දන්නෙ නැහැ. මුදල් බෙදීම් ගැන අපි දන්නෙ නැහැ. ක්‍රීඩා සමාජ කිහිපයක ඡන්දෙන් තෝරපු මණ්ඩලයක් ඉවත් කරන්න රටේ ඡන්දෙන් තෝරපු මන්ත්‍රී මණ්ඩලයෙ ඇමති කෙනෙකුට බැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ක්‍රිකට් පාලනය කරන්න රටේ රාජ්‍යයට බැහැ. ක්‍රිකට් පාලනය වෙන්නෙ ඊනියා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්.

 

පොළොන්නරුවෙ රොෂාන්ට විරුද්ධ මෙරට ක්‍රිකට් බලධාරීන් නැගී හිටිනවා. ඔවුන්ට කුරුඳුවත්තෙ රනිල්ගෙ ආධාරය ලැබෙනවා. රොෂාන්ගෙ අතුරු මණ්ඩලය ගැන හොයන්න රනිල් කමිටුවක් පත් කරල. ඒක හරියට අර තුන්වැනි විනිසුරකුට විනිසුරුගෙ තීරණය ගැන තීරණයක් ගන්න කියනවා වගේ. තමයි ක්‍රිකට්. බොහෝ විට අර්ජුන රණතුංග දුවද්දී දැවී යන්න ඉඩ තියෙනවා. නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් කර ගනීවි. එතෙක් ලංකාවෙ ක්‍රිකට් තහනම් කරන්නත් ඉඩ තියෙනවා. රගර් ක්‍රීඩාවට වුණා වගේ. මෙරට ක්‍රිකට් තහනම් කළොත් අද ක්‍රිකට් මණ්ඩලයට විරෝධය පාන අය ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී ඉඳලා අතුරු පාලක මණ්ඩලය අහෝසි කරන්න කියා උද්ඝෝෂණය කරන්න ඉඩ තියෙනවා.

 

පරගලය කෙරුවෙ සිස්ටම් චේන්ජ් කරන්න කියා පඬි නැට්ටන් කියනවා. ඒත් පරගලය කෙරුවෙ වෙනස් වෙමින් තිබූ ක්‍රමය වෙනස නොකර රැක ගැනීමට. මහින්ද ගෝඨාභය යටතේ ක්‍රමය ටිකක් හරි වෙනස් වුණා. අපි කොටි පැරුද්දුවා. බටහිරට ඉන්දියාවට යට වුණෙ නැහැ. ටිකක් හරි වෙනස්වීම නවත්තල නැවත බටහිර ගැති ක්‍රමයට යෑමටයි අවශ්‍ය වුණේ. සඳහා පඬ නැට්ටන් ලවා සිස්ටම් චේන්ජ් කතාවක් කියෙවුවා. ඒත් ඇත්ත කතාව වුණෙ බෑක් ටු සිස්ටම් යන්නයි. අනුව ක්‍රමයේ (සිස්ටමයේ) රනිල් පත් කර ගත්තා. ඔහු රොෂාන්ට ඉඩ දෙන එකක් නැහැ. තරමක් හරි ක්‍රමයෙන් පිට ඉන්න අර්ජුනටත් ඉඩ දෙන එකකුත් නැහැ.

 

අප කුඩා කල සිසුන් ක්‍රිකට් ක්‍රීඩා නරඹන අතර කී බයිලාවක කන්න දෙනව නම් බොන්න දෙනවා නම් අපි ගෙදර යන්නෙ නෑ  වගේ කතාවක් තිබුණ. මට වචන හරියට මතක නැහැ. බයිලාව තවත් බයිලාවක් වුණත් හොඳ කතාවක් කියනවා. අපට කන්න දෙනවා නම් අපි ගෙදර යන්නෙ නැහැ. හරියට ගෙදර යන්නෙ කන්න වගේ. අපට බටහිරයන් දෙන දෙයක් කාල බීල ඉන්නවා හැරෙන්න අපේ ක්‍රමයකට යන්න වුවමනාවක් නැති වගයි බයිලාවෙන් කියැවෙන්නෙ කියල විවරණයක් කරන්න පුළුවන්.

 

කමෝන් රනිල් බෝල් හිම් (අර්ජුන) අවුට්.    ත්‍රී හාටියස්ට් චියර්ස් ෆො ක්‍රිකට් කවුන්සිල්!