Main Logo

Saturday 25 November 2023

රනිල් හා පොලිස්පති

 

රනිල් හා පොලිස්පති

 

රනිල් වික්‍රමසිංහ නීතිඥයෙක්. ඔහු උසාවියේ නඩු කීයකට පෙනී සිට ඇද්ද කියා මා දන්නේ නැහැ. ජේ ආර ජයවර්ධනගෙන් පසු නීතිඥයන් දෙදෙනකු ජනාධිපති වී තියෙනවා. මහින්ද රාජපක්‍ෂ හා රනිල් වික්‍රමසිංහ. ජේ ආර්ගෙ මල්ලි නම් ලංකාවෙ දක්‍ෂ නීිතිඥයකු ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබුණා. එහෙත් ඔහූ ජනාධිපති වුණේ නැහැ.

 

ඊයේ රනිල් පාර්ලිමේන්තුවේ දී තවත් නීති මතයක් ඉදිරිපත් කළා. ඔහු උසාවියට නීති මත ඉදිරිපත් කරනවා කියා මා දන්නේ නැහැ. ඔහු ඊයේ පාර්ලිමේන්තුවට කියා හිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් කියා. ඒක නම් ඇත්ත. එහෙත් ඉන් ඔහු බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථා සභාව විධායක ජනාධිපති කියන විධියට වැඩ කළ යුතු බව ? එහෙමත් නැත්නම් ව්‍යවස්ථා සභාව විධායක ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බව ?

 

මා නම් නීතිඥයකු නොවෙයි. මා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට නම් කිහිප වරක් ගිහින් තියෙනවා. එහෙත් නීති විද්‍යාලයට ගොස් ඇත්තේ එක් වරක් පමණයි. නීති ශිෂ්‍ය සංගමය ඉදිරියේ කතාවක් කිරීමට. මා එදා කතා කෙළේ කුමක් ගැන කියා මට හාංකවිසියක මතකයක් නැහැ. එහෙත් ව්‍යවස්ථා සභාව ගැන නම් නො වෙයි. එකල ව්‍යවස්ථා සභාව තිබුණේ නැහැ. මා නීතිඥයකු නූණත් මට ව්‍යවස්ථා සභාව ගැන යමක් කීමට තියෙනවා. මා දාර්ශනිකයකු විද්‍යාඥයකු නොවී දර්ශනය ගැන විද්‍යාව ගැන කතා කරන විධියට.

 

ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කවුදැයි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍ය කතානායක ආදීන් එහි සාමාජිකයන්. වෙනත් සාමාජිකයන් සඳහා නිර්දේශ කළ යුතු අන්දමත් ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. පත්කිරීම් මූලික වශයෙන් ජනාධිපතිවරයාගේ. එහෙත් ඔහුට වුවමනා ආකාරයකට පත් කරන්න බැහැ. ව්‍යවස්ථාවේ අදාළ අනුඡෙද මෙසේයි. 

 

"41(6) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ () සහ () ඡේද යටතේ කරන ලද නාම යෝජනා නිශ්චිතව දක්වමින් ලිඛිත දැනුම් දීමක් ජනාධිපතිවරයා වෙත ලැබී දින දහ හතරක් ඇතුළත ජනාධිපතිවරයා විසින් අවශ්‍ය පත්කිරිම් කරනු ලැබිය යුත්තේ . එකී දින දහහතරක කාල පරිච්ඡේදය ඇතුළත අවශ්‍ය පත්කිරීම් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වන විටෙක, නාම යෝජිත තැනැත්තන්, එකී කාල පරිච්ඡේදය අවසන් වූ දින සිට බල පවත්වන පරිදි සභාවේ සාමාජිකයන් ලෙස පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු .

 

41. (1) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තකු පත් කිරීම සභාවේ නිර්දේශය මත හැර, නොකරනු ලැබිය යුත්තේ

 

(5) මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව යටතේ පත් කරනු ලබන යම් තැනැත්තකු හෝ කොමිෂන් සභාවක සභාපතිවරයාගේ හෝ සාමාජිකයකුගේ වැඩ බැලීම සඳහා පත්කරනු ලබන තැනැත්තකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවල සලසා තිඛෙන පරිදි හැර ඉවත් කරනු නොලැබිය යුත්තේ . එවැනි විධිවිධානයක් නොමැති අවස්ථාවක දී තැනැත්තා සභාවේ පූර්ව අනුමතය ඇතිව පමණක් ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබිය යුත්තේ ."

 

ජනාධිපති දින දහතරක් ඇතුළත නිර්දේශ අනුව ක්‍රියා කළ යුතුයි. එසේ නොකළත් ප්‍රශ්නයක් නැහැ. නිර්දේශ අනුව කොහොමටත් පත් වෙනවා. මට තේරෙන විධියට ව්‍යවස්ථා සභාවෙන් කෙරෙන්නේ ව්‍යවස්ථාදායකය මගින් විධායකයේ බලතල සීමා කිරීමයි. මිස ව්‍යවස්ථා සභාව විධායකයේ රබර් මුද්‍රාවක් නො වෙයි. ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් බව ඇත්ත. එහෙත් කොටස ව්‍යවස්ථාදායකයට බලය ලැබෙන පරිදි පිහිටුවන ලද එකක්.

 

අද පොලිස්පති විනිසුරුවන් පත් කිරීම ප්‍රශ්නයක් වෙලා. නීතිපති පොලිස්පති ආදී උපලේඛනයේ සඳහන් තනතුරු ගැන ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථා සභාවට දී ඇති බලතල මෙසේ යි.

 

"41. (1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ .

 

(2) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් ධූරයක දින දහහතරකට වැඩි කාලයක් වැඩ බැලීම සඳහා පත් කරනු ලබන යම් තැනැත්තකු සම්බන්ධයෙන් අදාළ විය යුත්තේ යඃ එසේම තව ¦ දින දහහතරක් නොඉක්මවන අනුක්‍රමික කාලසීමා

සඳහා එවැනි කවර හෝ ධූරයක වැඩ බැලීමට යම් තැනැත්තකු පත් කිරීම ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශ මත සභාව විසින් අනුමත කරනු ලැබ ඇත්නම් මිස, නොකළ යුත්තේ ."

 

 

ව්‍යවස්ථාව ඉතා පැහැදිලියි. පොලිස්පති තනතුර සඳහා වැඩ බැලීමටවත් කිසිවකු දින දහහතරක කාලයකට වඩා ජනාධිපතිට තම වුවමනාවට පත් කරන්න බැහැ. ජනාධිපති පාර්ලිමේන්තුවට කියන නීති මත වැඩක් නැහැ. ජනාධිපතිටවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ව්‍යවස්ථා සභාව මහ හැර පොලිස්පතිවරයකු පත් කරන්න උත්සාහ ගන්නවා ?