Main Logo

Sunday 19 November 2023

පරගලයන් රනිල් තබා ගන්නේ ඇයි?

 

පරගලයන් රනිල් තබා ගන්නේ ඇයි?

 

ඇතැමුන් සිතා ඇත්තේ මා ඊයේ මහින්දට ප්‍රශස්ති ගායනා කරල කියලයි. මා වන්දිභට්ටයකු කියාත් අය හිතනවා ඇති. මා මහින්දට වඩා අවුරූද්දක් වැඩිමහල්. මහින්ද නැවත සක්‍රීය දේශපාලනයෙහි ටෙදෙන එකක් නැහැ. එබැවින් වන්දිභට්ටයකු වී මට ලබා ගත හැකි දේකුත් නැහැ. සමහරු කියන්න පුළුවන් මා තානාපතිකමක් ලබා ගත්තෙ රාජපක්‍ෂලාට කඩේ ගිහින්. දැන් කළ ගුණ සලකනවා කියා. තානාපතිකමත් ආචාර්ය උපාධිය වගේ මා ඉල්ලා ලබා ගත් දෙයක් නො වෙයි. දෙක   මට පිනට ලැබුණු දේ.

 

අද මේ රටේ දේශපාලනයේ ඇත්තේ එහෙමත් නැත්නම් දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කරුණු දෙකක් මත. එකක් රට ආර්ථික වශයෙන් අර්බුදයට ගියේ රාජපක්‍ෂලා හොරකම් කළ නිසා බව. දෙක එසේ හොරකම් කළ නිසා ජනතාව ගෝඨාභය පන්නා දැමූ බව. ඉතා සරලයි. සරල රේඛාවකටත් වඩා සරලයි. 

 

දැන් ආර්ථික අර්බුදය විසඳලා ඇති. නැත්නම් ඔය ජනතාවගේ කොටසක් ඊයේ නුගේගොඩින් නවතින්නෙ නැතුව ජනාධිපති කාර්යාලයට  ගිහින් අත්පත් කරගෙන රනිල් ජනාධිපතිකමින් පන්නා දමනු නිසැකයි. ප්‍රදේශය ඔවුන්ට හුරු පුරුදු ආතල්ගම. බැරි ආතල්ගමේ තව ආතලයක් ගන්න.

 

සුපිරි ජාතිකවාදීන් තම අකමැත්ත වෙනත් ආකාරයකින් පළ කරනවා. ඔවුන් සුපිරි ජාතිකවාදීන් පමණක් නොව සුපිරි බුද්ධිමතුන්. ඔවුන් අමරසේකර අභිනන්දනයට පැමිණියේ නැහැ. බුදුහාමුදුරුවන්ට විජේවීරට පසු තමාගේ වීරයා අමරසේකර යැයි කියන්නකුත් අමරසේකරට උපහාර දැක්වීමට පැමිණියේ නැහැ. බුදුහාමුදුරුවන් ඔහුගේ වීරයා වී ඇත්තේ කුඩා කල. තරුණ කල විජේවීර. පැසුණු පසු අමරසේකර. බුදුහාමුදුරුවන්ට ගිය කලක්. 

 

මේ ඊයේ ලිපියට ලැබී ඇති ප්‍රතිචාර තුනක්.

 

“ඒ කරපු දේවල් වලට මිනිස්සු සැලකුවා නේද? Ai ඉට passe උන දේවල් කරපු දේවල් mathak නොකරන්නේ.

 

බැරිද තමුසෙට මේ හොරු රැල ඇමරිකාවට ගෙන්න ගන්න?

 

නලීන් සිල්වා මහාචාර්ය තුමාගේ අදහස් පැහැදිලියි,පැහැදිලි කිරීමිි අපට පිළිගත හැකියි.ඒවා සත්‍ය කරුණු.එහෙත්,මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පරපුරේ අනික් අය හා ඔහුගේ නෑදෑ මිත්‍රයන් සමගත්,ඔහු වටා සිටින වෙනත් පිරිස් සමගත් ඉදිරි දේශපාලන ගමනක් යා නොහැකිය. කොටස් අතිශයින් දූෂිතයි.

අනික් කාරණය,දේශපාලන බලය හුවමාරුකරගත් ආකාරය.සභානායක ධුරය දැරූ දිනේෂ් ගුණවර්ධනට අගමැති ධුරය බාරනොදී අතර මංව සිටි රනිල්ට දීම .දිනේෂ්ට දුන්නා නමිි,රට අද තියෙන තත්ත්වයට වඩා යහපත් වියහැකිව තිබුණා.ඔහු වමෙිි කොටසුත් එකතු කරගෙන රට ගොඩගැනීමට කටයුතු කරනවානොවෙිද? ඉදිරි මැතිවරණයකදී ජනතාව අළුත් පිරිසකට බලය ලබාදෙනවා සිකුරුයි.”

 

පළමු ප්‍රතිචාරය ලියූ තැනැත්තාට සිංහලට වඩා ඉංගිරිසිය හුරු බවක් පේනවා. අඩුම තරමින් සිංහල අකුරුවලට වඩා ඉංගිරිසි අකුරු හුරු බව පේනවා. දෙවැන්නෙන් කියැවෙන්නේ අර හොරු කතාව. හොරු ටික අමෙරිකාවට පිටත් කළොත් මෙරට හොරු නැති වෙයි. තුන්වැන්නා සියල්ල දත් අයෙක්. ඔහු දිනේෂ්ට රට භාර නොදීමක් ගැන කියනවා. ඔහුට අනුව කිසි විමසීමක් නැතිව අගමැතිකම රනිල්ට දීලා. මා කිසිවක් දන්නේ නැහැ. ඔහුට තරම් මට දේශපාලනඥයන් සමග සම්බන්ධකම් නැහැ. අනෙක් අතට මේ වමක් ගැන කියන කතාව මොකක් ? මා නම් වමේ නො වෙයි. මා ජාතිකත්වයේ.

 

රාජපක්‍ෂලා 2015 දී පරාද කෙරුණා. බව අර පළමු ප්‍රතිචාරකයාට අමතක වන්න ඇති. පරාජයට හේතුව බැසිල්ගේ හා මහින්ද පුතුන්ගේ ක්‍රියා කලාපය ආකල්ප බව මා කියා ඇත්තේ වරක් දෙවරක් නො වෙයි. මෛත්‍රිපාලලා බටහිරයන්ගෙ යහපාලන ඔඩොක්කුවට වැටුණෙ බැසිල්ලගෙ වරදින්. අපට තාවකාලික හරි දින පනස් දෙකේ ආණ්ඩුවෙන් එය හරවන්න පුළුවන් වුණා. ඒක හොර ආණ්ඩුවක් නො වෙයි. අගමැති පත් කරන්න ජනාධිපතිට බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ තම ඡන්දය පමණක් තිබුණු රනිල් අගමැති වුණෙත් නීත්‍යානුකූලව. අද රනිල්  මහජන ඡන්දයකින් නොවුවත් ජනාධිපති වී ඇත්තේත් නීත්‍යානුකූල . අධිකරණය දින පනස්දෙකේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන බවට තීන්දුවක් දී නැහැ. එහෙම තීන්දුවක් දී ඇත්නම් පෙන්වන්න.

 

2019 දී තාවකාලික හැරවීම වඩා ස්ථාවර එකක් බවට පත් කරන්න හැකි වුණා. ගෝඨාභය රුවන්වැලි සෑය අබියස දිවුරුම් දුන්නේ තමා සිංහල බෞද්ධ ඡන්දවලින් බලයට පත් වූ බව සඳහන් කරමින්. එතෙක් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සෙවීමට උනන්දුවක් නොදැක් වූ කාදිනල්තුමා තම ගවේෂණය පටන් ගත්තේ ඉන් පසු. කොහොමටත් බටහිරයන්ට නන්දිකඩාල් පළිය ගන්න ඕන වෙලා තිබුණෙ. පඬි නැට්ටන්ගෙ භාෂාවෙන් නම් නන්දිකඩාල් ඇරියස් එක. එහි ප්‍රතිඵලය තමයි පරගලය. එය බටහිර හා ඉන්දියානු සැලැස්මක්. තෙල් නැවු පමා කිරීම ගෑස් පිපරවීම පිටරට සේවය කරන්නන්ගේ ප්‍රේෂණ නැවැත්වීම ආදිය ඒ් සැලැස්මේ කොටස්.

 

අද ප්‍රේෂණ එනවා. සංචාරකයන් ටික දෙනකුත් එනවා. සියල්ලට වඩා අද ණය ගෙවන එක නවත්තලා. එවිට ඩොලර් සංචිතය වැඩි වෙනවා. රනිල් වෙනුවට දිනේෂ් හරි වෙනත් අයකු හරි ජනාධිපති වුණොත් අපට නැවතත් ණය ගෙවීමට සිදු වෙනවා. ඊනියා වමේ ප්‍රගතිශීලී ජනතාව එයට සූදානම් ?

 

දැන් අර විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ කළ පන්දම් උද්ඝෝෂණ ඉවර ? බදු වැඩි කිරීම්වලට විරුද්ධ උසාවි යන්නෙ නැද්ද? විනිසුරුවන් බදු ගෙවනවා ? ඊනියා ජනතාව පන්දම් උද්ඝෝෂණයකින් ආතල් ටිකක් අරගෙන ආතලයේ ඉතිරි ටික ගෙදර ගිහින් ගන්නවා ? ස්ථාවර තැන්පතුවලට ලැබෙන පොලියෙන් පමණක් ජීවත්වන මා බදු ගෙවමින් විිදුලි බිලත් ගෙවනවා.

 

ඊයේ මා කෙළේ කාශ්‍යප රජුට හා රාජසිංහ රජුට විරුද්ධ ඇතැමුන්  පිතෘ ඝාතක චෝදනා නැගූ ආකාරයට මහින්දටත් ගෝඨාභයටත් හොරා චෝදනා ඉදිරිපත් කර සිංහල බෞද්ධ ජාතිකත්ව නායකත්වය ඉවත් කිරීමට බටහිරයන් හා ඉන්දියාව ක්‍රියත්මක වී ඇති බව කීමයි . අප බටහිරයන්ට හා ඉන්දියාවට බයේවත් සමාජයේ ඇතිකෙරී තියෙන මතයකට බයේවත් රාජපක්‍ෂලාගේ අගුපිල්වල හිටියෙ නැහැ වගේ කතා කියන්න ඕන නැහැ. එසේ කීමෙන් ශක්තිමත් වන්නේ සමාජයේ ඇති කෙරී තිබෙන හොරා මතය. මා නම් කිසිවකුගේ අගු පිලක කිසි දා සිටියේ නැහැ. මා ජාතිකත්වය ශක්තිමත් කිරීම සඳහා විවිධ පුද්ගලයන්ට අවස්ථාවල සහාය දී තියෙනවා. මා සමාජයට බියේ එසේ නොවේ යැයි කියන්නේ නැහැ. එමෙන් බැසිල් නාමල් වැනි ජාතිකත්වයක් නැති අයට සහාය දෙන්නෙත් නැහැ.

 

උසාවි නඩු තීන්දුවෙන් මහින්ද හා ගෝඨාභය හොරකම් කළ නිසා ආර්ථික අර්බුදයක් ඇති වූ බවක් කියන්නේ නැහැ. බුද්ධිමතීට තේරුම් ගන්න බුද්ධියක් නැහැ. උසාවිය තමන් ආවේණික වූ තර්ක ක්‍රමයකින් තීරණය කර තියෙනවා රාජපක්‍ෂලා සහ තවත් අය ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පියවර   නොගැනීමෙන් ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝණය කෙරි ඇත කියා. වගන්තිය මෙසේයි."12. (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම , නීතියේ රැකවරණය , සර්ව සාධාරණ විය යුත්තේ ." ඇරිස්ටෝටල්ගෙන් අහන්න ඕන නිගමනයට තම න්‍යාය අනුව එළඹෙන්නේ කෙසේ කියා.  පඬි නැට්ටන් බුද්ධිමතීන් හොඳ තර්කකාරයන්.  

ත්රිකුණාමලයේ අධ්යාපන කාර්යාලයේ සහකාර අධ්යාපන අධ්යක්ෂකවරයකු මෙහෙම අහනවා.
"රනිල් මහින්ද එක්ක පාටි දාල ජාතික චින්තනේ හදයිද"

මේ තමයි රටේ අධ්යාපනයේ සීමාව .