Main Logo

Tuesday 14 November 2023

රනිල් නැත්නම් රටට මොකද වෙන්නෙ?

 

රනිල් නැත්නම් රටට මොකද වෙන්නෙ?

 

රනිල් වික්‍රමසිංහ ඊයේ තම අයවැය කතාව අවසානයේ කියා හිටියා පැය දෙකක් කාලය ගැනීම ගැන කණගාටු වෙන බව. ඔහු විහිළු කරන අන්දම. මට නම් කණගාටුවක් ඇති වුණේ මා පැය දෙකක් නාස්ති කිරීම ගැන. ඔහුගේ කතාවට සවන් දෙන විට මට හිතුණේ ඔහු තම කතාව ඉංගිරිසි අකුරෙන් ලියාගෙන විත් කියවනවා කියා. රනිල්ගේ සාමාන්‍ය සිංහල උච්චාරණයටත් වඩා දුර්වල තත්වයක් මට දැනුනෙ. කොහොම වෙතත් කිසිවකුගේ කිසියම් භාෂා උච්චාරණයක් පහත් යැයි සැලකිය යුතු නැහැ. එහෙත් ඇතැමුන් විශේෂයෙන් ප්‍රවෘත්ති කියවන ජනමාධ්‍යවේදීන් සිංහල වචන ඉංගිරිසි ආකාරයකට උච්චාරණය කිරීම නම් කිසිසේත් අනුමත කරන්න බැහැ.

 

රනිල් ඊයේ බුදුදහමෙන් උපුටා ගත් අදහස් ගොන්නක් කියෙවුවා. මා දන්නේ නැහැ රටකට හිඟයක් ඇති අයවැයක් ඉදිරිපත් කිරීම හොඳ කියා. ආර්ථික විද්‍යාවේ ගැන විවිධ මත ඇති. මා බටහිර ආර්ථික විද්‍යාව හඳුනන්නේ ඒත් අතට මේත් අතට විද්‍යාව කියා. එහි එක් අතකට මෙහෙමයි අනෙක් අතට මෙහෙමයි කියල කරුණු ඉදිරිපත් කරනවා. කුමක් වුවත් ඇන් ඇම් පෙරේරා නම් උත්සාහ ගත්තේ හිඟයක් නැති අයවැය ඉදිරිපත් කිරීමට කියා මට මතකයක් තියෙනවා. මා වැරදි වෙන්න පුළුවන්.

 

අයවැය හැත්තෑ ගණනක් ඊයේ වන විට ඉදිරිපත් කර තියෙනවා. අයවැය යෝජනා කීයක් ක්‍රියාත්මක කෙරී තියෙනවා ? අයවැයට ඉංගිරිසියෙන් බජට් කියාත් කියනවා. බජට් කියන්නේ ඉදිරි කාලය සඳහා ආදායම වියදම ආදිය පිළිබඳ ඇස්තමේන්තුවක් (නිමිතයක්). එහෙත් අපි බොහෝ අවස්ථාවල අයවැය ඉදිරිපත් කරන්නේ පසුගිය වකවානුවක් සඳහා. අපට අයවැය කිවුව නිශ්චිත අදහසක් නැහැ.

 

කොහොම වෙතත් අයවැය යෝජනා හැත්තෑ ගණනක් ඉදිරිපත් කරලත් රටට වෙලා ඇති වගුතුවක් නැහැ. රට එන්න එන්න අගාධයට යනවා. මා යෝජනා කරන්නේ නැහැ අයවැය යෝජනා හැත්තෑ ගණනක් ක්‍රියාත්මක නූණේ ඇයි කියා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න කියා. එය කාලය හා ධනය කා දමා අයවැය හිඟය තවත් වැඩි කිරීමකට තුඩු දේවි. මේ අයවැය නාඩගම වැඩක් ඇති එකක් ? මාසයක් පමණ තිස්සේ නටන නාඩගමෙන් සිදුවන සෙත කුමක් ?

 

රනිල් බුදුදහමට හිත යොමු කරලා. නාට්‍යවලින් උපුටා දක්වනවා. අයවැය කතාව ලිවීමට කී දෙනෙක් හවුල් වුණා ආදිය අනවශ්‍ය ප්‍රශ්න. පාර්ලිමේන්තුවේ අර සුුත්‍රයෙන් මේ සූත්‍රයෙන් කරුණු දැක්වීම සූත්තරයක් බව පැහැදිලි වන්නේ රනිල් ලයිට් හවුස් ගැන කතා කරන විට, කුරුන්දිය කෝවිලක් කිරීමට තැත් කරන දෙමළ ජාතිවාදීන් තුරූළට ගන්නා විට, මඩකලපුවේ දිවුලපතානේ සිංහල ගම්වැසියන් ගමෙන් පන්නා දැමීමට කටයුතු කරන දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය විධියට කටයුතු කරන විට, රනිල්ගේ පොලීසිය ඊයේ දිවුලපතානට  වැඩම කළ භික්‍ෂූන් වහන්සේට ගමට ඇතුල් වීමට ඉඩ නොදෙන විට. කණකොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විට කියල කතාවක් තියෙනවා. රනිල් සමහර විට කතාව දන්නවා ඇති.

 

රනිල් අයවැය කතාවෙන් කියන්නේ රට අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ තමන් රට බේරා ගැනීමට ඉදිරිපත් වූ බවත් අන් අය අන්දරේගේ පිළිවෙත අනුගමනය කරමින් මගහැරිය බවත්. තමයි බැලූ බැල්මට පෙනෙ දේ. පඬි නැට්ටන්ට පෙනෙන්නෙත් එහෙම වෙන්න ඇති. එහෙත් කතන්දරය සම්පූ්ණයෙන්  වෙනස්.  දැන් පඬි නැට්ටන් හා ඔවුන්ගේ ගෝලබාලයන් හැරෙන්න අනෙක් බොහෝ දෙනා දන්නවා මෙරට ආර්ථික අර්බුදයට හේතුව 1953 පමණ සිට ණයට කෑම අධිපරිභෝජනය බොරු උගත්කම ප්‍රදර්ශනය කිරීම ඇතුළු බොරු ෂෝක් කිරීම බව. රනිල්ටත් ණයට කෑම ගැන අවබෝධයක් ඇති බව පේන්න තියෙනවා.

 

අපට කොවිඩ් හරහා ඇති වූ ප්‍රශ්න තවත් උග්‍ර කිරීමට බටහිරයන් සමත් වුණා. ඔවුන්ට හැකි වුණා විවිධ පුද්ගලයන් හසුරවන්න. පිටරට සිටින ශ්‍රමිකයන්ට මුදල් එවීමට එපා කියා කෑ ගැසූ අය එක් කොටසක්. ගෑස් පුපුරවපු අය තවත් පිරිසක්. තෙල් නෑව් ගෙන්වා ගැනීම අවුල් කළ අය ප්‍රධාන කොටසක්. මදිවට  මෙරටට ගෙන්ව ගත්ත මහා බැංකු අධිපති ලංකාව බංකොළොත් රටක් බව ප්‍රකාශ කළා. ගෝඨාභයට යන්න වුණා. අගමැති කමටවත් වෙනත් කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ. සමහරවිට ඔවුන්ට වැටහෙන්න ඇති මෙහි වෙනත් යමක් තියෙන බව. ප්‍රශ්නය රනිල් ඉදිරිපත් වුණේ ඇයි යන්න. ඔහු මහා දක්‍ෂයකු නොවේ.  කලින් කිහිප වතාවක් ඔහු අගමැති වෙලා හිටියත් වැඩ පෙන්නලා තිබුණේ නැහැ. ඔහු හදිසියේ වැඩ කාරයකු වුණේ කෙසේ ?

 

ඔහු බටහිරයන්ගේ නියෝජිතයා. ඔහු ලවා කරවීමට බටහිරයන් බලාපොරොත්තු වෙන වැඩ කොටසක් තියෙනවා.ප්‍රධාන කටයුත්ත සිංහල බෞද්ධ ජාතිකත්වය දුර්වල කිරීම. උතුරු හා නැගෙනහිර පළාත් සිංහලයන්ට අහිමි කිරීම. එහි දී ඉන්දියාවත් සම්බන්ධ වෙනවා. අද පවතින ක්‍රිකට් අර්බුදය ඉන්දියාවේ මැදිහත් වීමෙන් කෙරෙන්නක්. ආර්ථිකය ගොඩ නෑංවීමට ඔහු කරන කාර්යය කුමක් ? අද ඔහු ඊනියා ජාතිකත්වයක් ආරුඪ කරගෙන.

 

කටයුතු කර ගැනීම සඳහා බටහිරයන් ණය ගෙවීම පමා කරලා. අද කතා කරන ඩොලර් සංචිතය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අප ණය නොගෙවීම. යම් විධියකින් රනිල් ඉවත් කර වෙන අයකු පත්කර ගත්තොත් බටහිරයන් ඔහුට රට කිරීමට ඉඩ දේවිවි ? ණය ගෙවන්න කියාවි ? රනිල් බව නොදන්නේ ? අනෙක් අයත් මොන පුරසාරම් දෙඩුවත් නොදන්නේ ? අනෙක් අය පීචං කරන හැටි ජුලි චං නො දන්නේ ?

 

අයවැයක්  සඳහා මාසයක් අරන් කරන විගඩම සතපහක ආදායමක් උපයන්නේ නැහැ. විගඩම නවත්වන්නේ නම් අඩු තරමෙන් පාර්ලිමේන්තුවේ වියදම සුළු ප්‍රතිශතයකින් හරි අඩු කර ගන්න පුළුවන්.