Main Logo

Sunday 11 February 2024

ඉන්දීය නුතනත්ව යටත්විජිතවාදය

 

ඉන්දීය නුතනත්ව යටත්විජිතවාදය 

 

මා එංගලන්තයට ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ගියේ 1969 ජනවාරියේ. සසෙක්ස් විශ්වවිද්‍යාලයට. මා ඇතුල් වූයේ එහි තාරකා විද්‍යා මධ්‍යස්ථානයට. විශ්වවේදය හැදෑරීමට . තාරකා විද්‍යා මධ්‍යස්ථානය අයත් වූයේ ගණිතමය හා භෞතික විද්‍යා පාසලට (School of Mathematical and Physical Sciences). සසෙක්ස් විශ්වවිද්‍යාලය දීනවල පීඨ ක්‍රමය අත්හැර තිබුණා. එමෙන් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල පටිපාටියට වෙනස් ආචාර්ය උපාධි සඳහා ලියා පදිංචි වීමට ඔක්තෝම්බර් මාසය වෙන තුරු බලා ඉන්න කීවේත් නැහැ. මට ජනවාරියේ යන්න ලැබුණේ නිසයි.

 

මගේ උපදේශකවරයා වූයේ මහාචාර්ය ශ්‍රීමත් විලියම් හන්ටර් මැක්‍රේ. සාමාන්‍යයෙන් නම් බිල් මැක්‍රේ. එකල අප පාසලේ තවත් සිංහලයකු සිටියා. ඔහු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ. ඔහුට අපි එඩ්වින් කියමු. අපේ පාසලේ සිරිතට අනුව ආචාර්යවරු පශ්චාත් උපාධි අපේක්‍ෂකයන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය උදේට හා සවසට තේ බිව්වේ එකට. සුද්දන්ට තේ නොබී බැහැ. අපත් තේ බොන්නෙ සුද්දො තේ බොන නිසා. මා සසෙක්ස් යෑමට පෙර මහාචාර්ය මැක්‍රේ තේ බොන අතර එඩ්වින්ට කියා තිබුණා තමන්ට ලංකාවෙන් ශිෂ්‍යයකු ලැබෙන බවත් ලංකාවේ ශිෂ්‍යයන් ලබා ගැනීමට තමන් කැමති බවත් ඉන්දියාවෙන් නම් විශ්වවිද්‍යාලය ගැන දෙවරක් සිතා බලන බවත්. එකල ලංකාවේ විද්‍යා අධ්‍යාපනයක් ලබා දුන්නේ ලංකා විශ්වවිද්‍යාලය පමණයි.

 

ලංකා විශ්වවිද්‍යාලය ගැන එකල එංගලන්තයේ පොදුවේ තිබුණු මතය එයයි. එයින් කියැවෙන්නේ නැහැ ලංකාවෙන් කීර්තිමත් විද්‍යාඥයන් බිහිවුණු බවක්. ලංකා විශ්වවිද්‍යාලය හැකි තාක් දුරකට ලන්ඩන් විශ්වවිද්‍යා‍ලයේ මට්ටම් රැකගෙන තිබුණා. එහෙත් ඉන්දීය විශ්වවිද්‍යාල තමන්ගේ මගක ගොස් තිබුණා. අද වන විටත් අප මට්ටම් රකිනවා. අමෙරිකාවේ ටෙක්සස් විශ්වවිද්‍යාලය වැනි ආයතන තවමත් ලංකාවේ ශිෂ්‍යයන් ඇතුල් කරගන්න කැමතියි. අප තවමත් මට්ටම් රකිනවා. එහෙත් විද්‍යාඥයන් බිහි කරන්නේ නැහැ. මට්ටම් රකිනවා යන්නත් ප්‍රශ්නයක්. කැලණිය හා කොළඹ මොටාවල විද්‍යා පීඨ නම් කිවුවෙ මා මට්ටම් රකින්නෙ නැහැ කියලා.

 

අපේ සමාජයේ කතාවක් තියෙනවා තමුන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියා. අප දිගින් දිගට එංගලන්තය අනුකරණය කර ඊනියා මට්ටම් රකින්න උත්සාහ කළා. අධ්‍යාපනයේ පමණක් නොව දේශපාලනයේ නීතියේ පරිපාලනයේ හැම ක්‍ෂෙත්‍රයක අප හුදු අනුකාරකයන් පමණක් වුණා. අනුකාරකයන්ට ඔය මට්ටම් රකින්න බැහැ.

 

ඉන්දියාව එංගලන්තය අනුකරණය කෙළේ නැහැ. ඔවුන් තමන්ගේ මට්ටම් පවත්වාගෙන යන්න උත්සාහ කළා. එය සියයට සියයක් සාර්ථක නොවන්න ඇති. එහෙත් අද වන විට ඉන්දියාවට තම දේශපාලනයක් අධ්‍යාපනයක් ආර්ථිකයක් පිළිවෙළක් තියෙනවා. අපට ඇත්තේ අවුලක්. අප වැඩි කල් යන්න පෙර ඉන්දියාව අනුකරණය කරනවා. අප එංගලන්තයේ යටත්විජිතයක් තිබී ඉන්දියාවේ යටත්විජිතයක් බවට පත් වීමට ආසන්නයි. යටත්විජිත හේරත් මෝදිදාස් සමග ඉන්දියාවට ගොස් පෙරළා පැමිණීමෙන් සනිටුහන් වන්නේ පෙරළියයි.

 

අප ඉන්දියාවේ විසිනවවැනි ප්‍රාන්තය වෙන එකක් නැහැ. ඉන්දියාව අප නඩත්තු කරන්න කැමති වෙන එකක් නැහැ. ඉන්දියාව අප තමන්ට බරක් කර ගන්න කැමති වෙන එකක් නැහැ. එහෙත් ඉන්දියාව අප යටත්විජිතයක් කර ගනීවි. අවශ්‍ය නම් නූතනත්ව යටත්විජිතයක් කර ගනීවි. ඉන්දියාව අපට බරක් වේවි. අපේ නිෂ්පාදන ඉන්දියාවෙන් කෙරේවි. ලාභ ඉන්දියාවට යාවි.

 

ඉන්දියාවේ ආණ්ඩුකාරයකු මෙහි නවතින්න එන එකක් නැහැ. ඔවුන් අප ඊනියා ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගනීවි. අපේ කියන ජනාධිපති හරි අගමැති හරි දෙදෙනා හරි ඉඳිවි. අපට ඔවුන් පත්කර ගැනීමට හැකි වේවි. සඳහා මුදල් යෙදවීම අපට භාර වේවි. එහෙත් අපේ මැති ඇමතිවරුන්ට පමණක් නොව විපක්‍ෂ නායකයන්ටත් තිරුපති හා දිල්ලි යන්න වේවි. එහි පෙරහුරුවක් දැන් කෙරී ගෙන යනවා. එය දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙනවා.

 

අප මින්පසු පශ්චාත් යටත්විජිතයක් නො වෙයි. අප නූතනත්ව යටත්විජිතයක්. මේ ඊනියා නව්‍ය යටත්විජිතවාදය (neo colonialism) නොවෙයි.  බූතානය නේපාලය වැනි රටවල් සමග අපට එකට ඉන්න පුළුවන් වේවි.    කොයි එකටත් හින්දි ඉගෙන ගන්න එක ඇඟට හොඳයි. හින්දි චිත්‍රපට බැලීමට අපත් සිසුන් හැටියට පුරුදු වී හිටියා. අප බැලුවේ වැඩියෙන් ඉංගිරිසි හා හින්දි චිත්‍රපට. එහි ඇති සම්බන්ධය එකල අප දුටුවේ නැහැ. හොලිවුඩ් වුණා මොක බොලිවුඩ් වුණා මොක ? මෝදිදාස් බොලිවුඩ් ගියේ නැද්ද? මටත් බොලිවුඩ් යන්න බැරි වුණා. හොලිවුඩ් නම් ගිහින් තියෙනවා.

 

ඉන්දියාවේ හරි භාරතයේ හරි අපට අනුකම්පාවක් දැක්වුවා නම් තිදෙනයි. බුදුහාමුදුරුවන් මිහිඳු හිමියන් හා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. ඉන්දියාව බ්‍රාහ්මණ දහමට යට වී බුදුදහම පළවා දැම්මා. අප කෙසේ හෝ මේ වන තෙක් රැක ගත්තා. තව කොපමණ කලකට ?