Main Logo

Friday 16 February 2024

ධර්මපාලතුමා ඕල්කට්තුමා හා සිංහල බෞද්ධයා

 

ධර්මපාලතුමා ඕල්කට්තුමා හා සිංහල බෞද්ධයා

 

පහත සඳහන් වන්නේ අනගාරික ධර්මපාලතුමා ගැන මා කළ කෙටි සටහනකට දැක් වූ ප්‍රතිචාරයක්.  එය කලක් චින්තන පර්ෂද රැස්වීම්වලට නොකඩාව පැමිණි තැනැත්තකුගෙන්. ඔහු දැන් චින්තන පර්ෂදයට පැමිණෙන්නේ නැහැ. මා හිතන්නේ ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක්. අද වන විට චින්තන පර්ෂද රැස්වීම්වලට පැමිණෙන්නේ ඉතා ටික දෙනයි. ඔවුන්ගෙනුත් වැඩි පිරිස මොටාවක පා නොගහපු අය. මොටාවන් බොහෝ දෙනකුට මා කියන දේ ආකර්ෂණීය නැහැ. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මා ලියන්නේ කිසිවකු සතුටු කිරීමටවත් කැමති (ලයික්) පිරිස වැඩි කර ගන්නවත් නො වෙයි. මට ඕන නිසා මා ලියනවා.

 

චාමර ශිරන්ත පසුගිය දා කීවා පිරිස මගෙන් ඈත් වෙනවා කියා. ඔහුත් ඈත් වුණු අයෙක්. කවුරු මගෙන්  ඈත් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ විවාහයට සිටියේ අප ඇතුළුව පස්දෙනකු පමණයි. තව මට ඇත්තේ අවමගුල පමණයි. එයට කිසිවකු නොපැමිණියත් වන විට මියගොස් ඇති මට ප්‍රශ්නයක් වන්නේ නැහැ. මගේ දරුවන් අවශ්‍ය කටයුතු කරාවි.

 

මේ ලිපිවලින් රටට තුට්ටුවක වැඩක් නැති බවත් අති විශාල පිරිසක් මා කියන කිසිවක් නොපිළිගන්නා බවත් ජඩමාධ්‍ය මගේ අදහස්වලට කිසිම ප්‍රචාරයක් නොදෙන බවත් මා දන්නවා. එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් පසුව කිසිම මාධ්‍යයකින්  මට පිළිගැනීමක් ලැබී නැහැ. දෙරණත් උත්සාහ කෙළේ මා කියන දේ නොකරන වංචනිකයකු බව රටට කියන්නයි. ඔවුන් මට බොරු කී අවස්ථා ගණනාවක් තිබුණා. අවසාන අවස්ථාවේ දී මා දේශපාලන අර්බුදය ගැන කළ සාකච්ඡාවක් පටිගත නොවි යැයි කියමින් ප්‍රචාරය කෙළේ නැහැ.

 

ප්‍රතිචාරය

 

අනගාරික ධර්මපාලතුමාගෙන් සනිටුහන් වන්නේ බෞද්ධ නායකත්වය භික්ශුන් වහන්සේගෙන් ගිහියන් වෙත මාරු වීමේ එක් අවස්තාවක්ද? ධර්මපාලතුමා නිකම්ම ගිහියෙක් නෙමෙයි. එතුමා "අනගාරික" සීලය රැකි ඇත්තෙක්. එතුමා අනුව ගිය වලිසිංහ හරිස්චන්ද්‍රතුමාත් බ්‍රහ්මචාරී වූවෙක්. එලෙසින් බ්‍රහ්මචාරී නොවූයේනම් එකල සමාජය එතුමන්ලාව පිළි නොගන්නේද? භික්ශුන් වහන්සේ තරමටම නැතත් යම් උතුරු ශීලයක් මිනිසුන් නායකයන් තුලින් බලාපොරොත්තු වූවාද? අදටත් ගමේ ගොඩේ සීලයක් ගුණයක් ඇති වැඩිහිටි උපාසක මහතුන්ට තැනක් තියනව. නමුත් බොහෝ දුරට නායකත්වය සීලයක් ඇති ගිහියන්ගේ සිට සීලයක් නැති ගිහියන් දක්වා පල්ලම් බැහැල. නායකත්වයක් දරණ භික්ශුවක් දැක්කොත් සීලයක් නැත්තෙක් විය හැකියි කියන සැකයෙන් එතුමන් දෙස බලන තත්වෙට සමාජය වෙනස් වෙලා.”

 

මගේ සටහනේ මා කියා නැහැ ධර්මපාලතුමාගෙන් සනිටුහන් වන්නේ බෞද්ධ නායකත්වය භික්‍ෂූන් වහන්සේගෙන් ගිහියන් වෙතට මාරුවීමේ අවස්ථාවක් කියා. මා මේ සම්බන්ධ ලිපි ගණනාවක් ලියා ඇති නමුත් කිසිම තැනක එවැනි අදහසක් ප්‍රකාශ කර නැහැ. මා හැම විට කියා ඇත්තේ ඕල්කට්තුමා බෞද්ධ නායකත්වය ගිහියන් අතට පත් කිරීමට කටයුතු කළ බවත් එය සාර්ථක වූ බවත් ධර්මපාලතුමා ඕල්කට්තුමා ගැන අවබෝධ කර ගැනීමෙන් පසු ඕල්කට්තුමාට විරුද්ධ වැඩ කළ බවත්.

 

තවත් අයකු මා කතෝලික සභාවෙන් බුදු සසුනට වී ඇති වරද අමතක කර ඕල්කට්තුමාට පමණක් චෝදනා කරන බව කියා කතෝලික සභාවට ඇති බිය නිසා එසේ කරන්නේ කියාත් අසා තිබුණා. මා බය පවු කරන්න පමණයි. කතෝලික සභාව ගැන මගේ විවේචන සමහර විට කාදිනල්තුමා දන්නවා ඇති.

 

ධර්මපාලතුමා සිංහල බෞද්ධයා නමින් පුවත්පතක් ඇරඹුයේ ඇයි යන්න ප්‍රශ්නයක් විය හැකියි. ඊනියා බෞද්ධ පරම විඥානාරථ සමාගම පළ කළ පුවත්පත් වුයේ සඳරැස හා බෞද්ධයා යි. ධර්මපාලතුමා කලක් ඒ් සමාගමේ මෙන් පුවත්ත්වල වැඩ කළා. එහෙත් එතුමාට පසුව අවිඥානික හරි සිතෙන්න ඇති බෞද්ධයා යන්න සිංහල බෞද්ධයා නැති කරන පදයක් කියා. මා නිතර කියා ඇති දෙයක් නම් ඕල්කට්තුමා සිංහලකමක් නැති ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් ඇති කළ බව. ඔවුන්ට මා කියන්නේ ඕල්කට් බෞද්ධයන් කියා.

 

ධර්මපාලතුමා සිංහල බෞද්ධ යන ව්‍යවහාරය යොදා ගත් පළමු තැනැත්තා විය හැකියි. අද පඬි නැට්ටන් නිතර කියන දෙයක් නම් සිංහල බෞද්ධයා යන්න පැරණි සමාජයේ නොතිබූ ව්‍යවහාරයක් බවත් එය දහනවවැනි සියවසේ පළමු වරට යොදා ගත්තක් බවත්. යම් ප්‍රවණතාවකට නමක් දැමීම ප්‍රවණතාවේ ආරම්භයේ විය යුතු නැහැ. මිහිඳු හිමියන්ගෙන් පසු මෙරට සිංහල බෞද්ධයන් නිල වශයෙන් ඇති වුණා. එහෙත් කිසිවකු සිංහල බෞද්ධ නාම පුවරුව ඔසවන්න ගියේ නැහැ. සඳහා අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

 

එහෙත් ඕල්කට්තුමා සිංහල බෞද්ධකම නැති කර ඊනියා බෞද්ධකමක් ඇති කිරීමට කටයුතු කළ විට අර නාම පුවරුව වැදගත් වුණා. ධර්මපාලතුමා එසෙවුවේ නාම පුවරුවයි. එය ඊනියා සමාජ විද්‍යාවේ කියැවෙන්නක් නොවෙයි. ඊනියා සමාජ විද්‍යාව තවත් විද්‍යාවක් කියන ප්‍රශ්නයත් මතු වෙනවා. අපි එය පසුව කතා කරමු. ධර්මපාලතුමා ඕල්කට්තුමාගෙන් කැඩී වෙන ව්‍යාපාරයක් ආරම්භ කළ නමුත් එය සාර්ථක වුණේ නැහැ. වන විට ඕල්කට් බෞද්ධයන් ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනය මගින් බලයට පත් වී අවසන්.