Main Logo

Saturday 3 February 2024

මහින්දපාල හා ජාතික චින්තනය

 

මහින්දපාල හා ජාතික චින්තනය

 

බොහෝ කලක් ඕස්ත්‍රේලියාවේ වාසය කළ එච් එල් ඩී මහින්දපාල මහතා මිය ගිහින්. ඔහු ජාතිකත්වය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ අයෙක්. ඔහුගේ අභාවය ජාතිකත්වයට පාඩුවක්. මා හිතන්නේ නැහැ පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් ආදීන් ඔහු ගැන හොඳින් දැන සිටියා කියා. ඔහු මූළුමනින් පාහේ ලිවුවේ ඉංගිරිසියෙන්. ඔහුගේ පසුකාලීන ලිපි බොහොමයක් පළ වූයේ ලන්ඩනයේ සකස් වූ ලංකාවෙබ් අඩවියේ. මා හිතන්නේ ඔහු ගුණදාස අමරසේකර මහතාගේ සමකාලීනයෙක් කියා. දෙදෙනා පඬි නැට්ටන් ආදීන් විසින් ජාතිවාදීන් ලෙස හඳුන්වනු ලැබුයේ නැහැ.

 

මට මහින්දපාල මහතා ලංකාවේ දී හමු වී නැහැ. ඕස්ත්‍රේලියාවේ දී දෙවතාවක් හමු වී තියෙනවා. මා හිතන්නේ නැහැ ඔහු මා ගැන හොඳ ආකල්පයක් ඇති කර ගත්තා කියා. දෙවතාවේ මට ඔහු හමුවුයේ රංජිත් සොයිසා මහතා සමග. බොහෝ ජාතිකවාදීන් මට කැමති නැහැ. ජාතිකවාදියකු මගේ කෘතියක් විවේචනයට ලක් කර නැහැ. ඔවුන්ට අනුව මා ලියා ඇත්තේ වල්පල් වෙන්න ඇති. ලංකාවෙබ් අඩවිය කලකට පෙර මගේ ලිපි පළ කිරීම නැවැත්තුවේ මා දේශද්‍රේහියකු බුදුදහම විකෘත කරන්නකු ලෙස සලකා. මෙරට සුපිරි ජාතිකවාදීන් මා ප්‍රතික්‍ෂෙඊ කරනවා. මා මහාවංසය අටුවාව ආදී කෘතීන් අකුරක් නෑර විශ්වාස නොකරන නිසා. මෙටාවේ හා මොටාවේ පඬි නැට්ටන් ගැන කියල වැඩක් නැහැ.

 

ජාතිකවාදීන් බොහෝ දෙනකු මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීම ගැන මනාපයක් නැහැ. මා කළුකුහර විශ්වාස නොකිරීම ගැන ජාතිකවාදී න් පඬි නැට්ටන් හිනහවෙනවා. ඔවුන් අතර කීර්තිමත් සංගීතඥයන් ඉන්නවා. ඔවුන් කළුකුහර විශ්වාස කිරීම ගැන මට කරන්න දෙයක් නැහැ. මගේ නම් විශ්වාසය අනුව ඇත්තේ කළුකුහර නොව කළුපෘෂ්ඨ හරි කළු ගෝලීය කබොළු (spherical shells)  හරි කියා. දේ වුණත් තවම අපට සපේක්‍ෂව තැනී ඉවර නැහැ. තවමත් වස්තු අපට සාපේක්‍ෂ කළු පෘෂ්ඨ බවට පත්වෙමින් තියෙනවා. කළු පෘෂ්ඨ බවට පත්වීමට අනන්ත කාලයක් යාවි. අපට කිසි දා දැන ගන්න බැහැ. මහින්දපාල මහතා මා කියන දේ විශ්වාස කළාය කියා මා හිතන්නේ නැහැ.

 

එහෙත් මහින්දපාල මහතා ජාතික චින්තන අදහස් නම් ප්‍රතික්‍ෂෙප කළ බව මා හොඳහැටි දන්නවා. අවුරූදු තිහකටත් එහා ජී එල් පීරිස් ආර් ප්‍රේමදාස වැන්නන්ගේ උදහසට ලක්වෙමින් කොළඹ මොටාවේ ජාතික චින්තනය ගැන කියද්දී අපට වාම අදහස් දැරූ සුවාදීන ශිෂ්‍යයන්ගේ හා  ජෙප්පන්ගේ මෙන් ලිබරල් අදහස් දැරු ගුරුවරුන්ගේ සිසුන්ගේ වාචික ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදු වුණා.  එපමණක් නොව පිටතින් පහර වැදුණා. දිවයින බදාදා අතිරෙකය මෙන් ඉරිදා දිවයින ද අපේ විරුද්ධවාදීන්ගේ ලිපි දිගට හරහට පළ කළා. එහෙත් පත්තර අපේ ලිපි පළ කිරීමට තරම් මැදිහත් සිතින් කටයුතු කළා.

 

ප්‍රේමදාසගේ සහායට පැමිණි ප්‍රධාන පුද්ගලයා ජී එල් පීරිස් නො වේ. ඔහු මොටාවේ දී මට විරුද්ධ ඊනියා චෝදනා සනාතන සභාවටත් පාලක මණ්ඩලයටත් ඉදිරිපත් කළා. අවසනයේ මා මොටාවෙන් එළවා දැම්මා. එහෙත් අපට විරුද්ධ ප්‍රබල විවේචනයක් ගෙන ගියේ ප්‍රේමදාස අනුගාමිකයකු වූ මහින්දපාල මහතායි.

 

මහින්දපාල මහතා එකල ඔබ්සරවර් පත්‍රයේ කතුවරයා.  ලේක්හවුස් පත්තර ගොන්නෙන් අපට වඩාත් පහර එල්ල කෙළේ සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයයි. වරක් සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වුයේ කොළඹ මොටාවේ විද්‍යා පීඨ ආපන ශාලාවේ (ඕපන් කැන්ටිමේ)  කොකා කෝලා නැති වීමයි! එහි වරද පැටවුණේ ජාතික චින්තන කණ්ඩායමටයි. එසේ කොකා කොලා නැති වීම ගැන අවශ්‍ය නම් අද මන්ත්‍රීවරයකු සිටින අනුප පැස්කුවල්ගෙන් අහන්න පුළුවන්. දයාසිරි ජයසේකර ගෙවිඳු කුමාරතුංග චම්පක රණවක මෙන් රතන හිමි ගැන දන්නවා.

 

ඉංගිරිසි පත්තර මගින් කරන ලද දැඩි විවේචන හමුවේ මට නම් ඇති වුයේ හාස්‍යයක්. මෙරට ඉංගිරිසියෙන් ලියන්නන් ඉංගිරිසි කතාකරන්නන් නිකම් නිකම් පිම්බුණු හා පුම්බන ලද පිරිසක් බව මා කුඩා කල සිට දැන හිටියා. ගාල්ලේ නොවෙයි මාතර නොවෙයි කතරගම ඊනියා සාහිත්‍ය උළෙල පැවැත්වුවත් ඔවුන්ගේ හිස් බව වසා ගන්න බැහැ. උජාරුවෙන් ගාලු ගොස් ඒමට අවස්ථාවක් නම් සලසා ගන්න පුළුවන්.

 

එහෙත් සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ ප්‍රහාර ගුණදාස අමරසේකරට නම් තදින් දැනුණා. ජාතික චින්තනයට නරක නමක් පටබැඳී ඇති බව ඔහු සිතුවා. ඇතැම් විට ඔහුගේ මිතුරන් මට දොස් කියන්න ඇති. ඔහු මට යෝජනා කෙළේ ජාතික චින්තනය අත්හැරීමටයි. මා යෝජනාව දැඩි ප්‍රතික්‍ෂෙප කළා. ජාතික චින්තනයට ඉංගිරිසි කතා කරන්නන් විරුද්ධ වීම ස්වාභාවික දෙයක් ලෙසයි මා දුටුවේ. පසුගිය දා උදිත දේවප්‍රිය ජාතික චින්තනය ගැන ඉංගිරිසියෙන් ලියමින් සඳහන් කර තිබුණේ ගුණදාස අමරසේකර හොඳ අදහසකින් පටන්ගත් නමුත් දැන් ගැන හොඳක් කිව නොහැකි බවයි.

 

මහින්දපාල මහතා අප හැර ගොස්. එහෙත් ජාතික චින්තනය අප හැර ගොස් නැහැ. අමරසේකර මහතාගේ යෝජනාවට කන්දෙමින් අවුරූදු තිහකට උඩ දී ජාතික චින්තනය අත්හැර දැමුවේ නම් අපට කුමක් වීමට තිබුණි ? කුමක් වුණත්  මහින්දපාල මහතාෆේ සසර ගමන කෙටි වේවා කියා මා පතනවා.