Main Logo

Thursday 1 June 2017

ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ


ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ



ට්‍රම්ප් පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කරලා. ඒ පිළිබඳ නිල ප්‍රකාශය ඉදිරි දින කිහිපයෙහි කිරීමට නියමිතයි. ට්‍රම්ප් මොන තරම් වැරදි කළත් ජාතිකවාදියෙක්. ඔහු දේශපාලනඥයකු ලෙස පරිණත නැහැ. ඔහු වැරදි කරන්නේ එබැවිනුයි. එහෙත් ඔහු ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට විරුද්ධයි. ට්‍රම්ප් ප්‍රංශයේ ලෙ පෙන් ආදීන්ගේ දේශපාලනය හුදු ජනප්‍රියවාදයක් නො වෙයි. මොවුන් ඊනියා ගෝලීයකරණයට, ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වන්නේ කරුණු කිහිපයක් හේතුකොට ගෙන. ඒ අතර ආර්ථික හේතු තියෙනවා. පැරිස් සම්මුතියෙන් නිෂ්පාදනයට පහරක් වදින බව ඔහු සිතනවා. ඒ අතර තවත් වැදගත් හේතුවක් තියෙනවා. ඔහු කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි. අද විද්‍යාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි ආගම බවට පත්වෙලා. විද්‍යාඥයන් තමයි පූජකයන්. ඒ් ආගම හා පූජකයන් විවේචනය කරන විට ඒ ආගමිකයන්ට කේන්ති යනවා.  ට්‍රම්ප් ඒ පූජකයන්ට අකමැතියි. ඔහු විද්‍යාවට වෙන් කරන මුදල් කපා හරිනවා.




මා කිසිවකුට සමච්චල් කිරීමට කැමති නැහැ. ඒත් මා බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ කටයුතු කිරීමටත් කැමති නැහැ. එබැවින් මා බටහිර දැනුම තරයේ විවේචනය කරනවා. ඒ අනුගමනය කරන්නන් ද පොදුවේ මගේ විවේචනයට හසුවෙනවා. පසුගිය මැයි මස ජෙරමි ලෙන්ට් නමැත්තකු පොතක් පළ කර තිබුණා. ඒ තේරුම් රටා ගැන. ඔහු සංස්කෘතික පසුබිමක දැනුමට විවිධ තේරුම් දෙන බව පවසනවා. මා තවම පොත කියවා නැහැ. එහි හැඳින්වීම පමණක් කියවීමෙන් මට තේරුම් ගියා ඔහුගේ සංකල්ප හා මගේ  චින්තනය සංකල්පය අතර සමීපබවක් තිබෙන බව. මා ඔහුට විද්‍යුත් පණිවුඩයකින් ඒ බව දැන්වුවා. ඔහු හැරෙන තැපෑලෙන් මට ලිපියක් එවා තිබුණා. ඒ ලිපි ද වෙන ම පළකිරීමට මා තීරණය කළා. අවශ්‍ය අයකුට අන්තර්ජාලයෙන් ලෙන්ට්ගේ පොතේ හැඳින්වීම කියවිය හැකියි.



ලෙන්ට් සාම්ප්‍රදායික උගතකු නො වෙයි. ඔහු එංගලන්තයේ ඉපිද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංගිරිසි පිළිබඳ උපාධියක් ලබා එක්සත් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබා එහි ජීවත්වන්නෙක්. ඔහු විශ්වවිද්‍යාලයක සාම්ප්‍රදායික කථිකාර්යවරයකු නො වෙයි. ඔහු බටහිර චින්තනයෙහි වැරදි දකිනවා. මා ඉතා කෙටියෙන් චින්තනය ගැන කී දේ ඔහුට ක්‍ෂණික ව අවබෝධ වී තිබෙනවා. මෙරට ඊනියා විද්වතුන්ට චින්තනය කියන සංකල්පය අවුරුදු තිහකිනුත් අවබෝධ කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් තරමක්වත් දන්නේ ගුණදාස අමරසේකර ජාතික චින්තනය ලෙස පරිවර්තනය කළ නැෂනල් තෝට් යන්න. ඔවුන් අමරසේකර හා මා කියන්නේ එක ම යැයි සිතනවා. 



මේ සියලු පූර්විකා ගංවතුර හා දෙවියන් භූතයන් ගැන වචනයක් දෙකක් කීමටයි. මා කාලගුණ දෙපාර්තමේන්තුව විවේචනය කරනවා නො වෙයි. එහි කලින් සිටි අධ්‍යක්‍ෂවරුන් හා වෙනත් නිලධාරීන් අතර මගේ විශ්වවිද්‍යාල කණ්ඩායමේ අය ද ශිෂ්‍යයන් ද සිටියා. දැනුත් ශිෂ්‍යයන් සිටිනවා වෙන්න පුළුවන්. මා විශ්වවිද්‍යාලයේ දී ඔවුන් සමහර දෙනකුට කාලගුණ විද්‍යාවට වක්‍ර ව අදාළ තරල ගතිකය උගන්වා තිබෙනවා. ඔවුන් මා කියන දේ පිළිගන්නේ නැහැ. ඔවුන් සමහර දෙනකුට නිව්ටන්ට වඩා කෙරුමකු නැහැ. තම ශිෂ්‍යයන්ගේ වැඩිම විවේචනයට, අගෞරවයට, සමච්චලයට භාජනය වන ගුරුවරයා මා වෙන්න පුළුවන්. ඒ අයට සමච්චල් කිරීමට මා පෙළඹෙන්නේ නැහැ. ගංවතුර ගැලූ විගස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයෙන් අවසන් වූ දින පහේ තද වැසි වහින බවයි. ඒ සඳහා හේතු ද ඔවුන් කිව්වා. මෝරා බංග්ලාදේශය පැත්තට ගිය පසු සුළං නිරිතදිග දෙසින් පැමිණ බටහිර කඳු බෑවුම්වල වැදී නිරිතදිග ප්‍රදේශවලට වැසි වටෙන බව ඔවුන් කීවා.



එහෙත් එය එසේ සිදුවූයේ නැහැ. එයට වරදකරුවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නො වෙයි. නිව්ටන්ට හසු නොවන සාධක එහි දී බලපෑමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන් කී විධියට වැසි නොවැටීම ගැන හේතු දක්වාවි. එහෙත් ඒ සිද්ධියට පෙර නොව පසුවයි. සාමාන්‍ය නිරිතදිග මෝසම් වැහි, දුවන වැහි හෙවත් පොසොන් වැහි ගැන ඔවුන්ට පසුව කියන්න පුළුවන්. එහෙත් ඒ දින පහේ ඔවුන් කී ආකාරයට වැසි නොවැටුණේ ඇයි?



නාථ දෙවියන් ගැන කියන විට මෙරට පඬියන් හා පඬි පෝතකයන් මට හිනහවෙනවා. මගේ මිථ්‍යා විශ්වාස ගැන කියවනවා. රත්නපුරේ සමන් දේවාල භූමිය යට වීමෙන් පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අයකු (සමහර විට මා ඔහුට උගන්වා ඇති) මට අගෞරව කිරීම සඳහා කියා සිටියේ සමන් දෙවියන් කොටු වී ඇති බවත් එතුමාට දීම සඳහා ආධාර අපේ නිවසට ගෙන දෙන ලෙසත්.  එය මට කළ අපහාසයක් නොව සමන් දෙවියන්ට කළ අපහාසයක්. සම්‍යයක්දෘශ්ටික දෙවියන් අප අතහැර යෑමත් ඔවුන් දුර්වල වී මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් වීමත් පුදුමයක් නො වෙයි. ඒ පුද්ගලයා සිතන්න ඇති සමන් දෙවියන් පාණදුර රත්නපුර පාරේ ඇවිද යන අයකු කියා. අඩු තරමෙන් පියාසර කළ හැකි කුරුල්ලකුවත් ගංවතුරට කොටු වන්නේ නැහැ. ඒ කොහොම වුණත් කිසිවකු මට ආධාර ගෙනත් දුන්නේ නැහැ.



ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.



දේව මණ්ඩල සමග සංනිවේදනය කරන කණ්ඩායම් ලංකාවේ ඉන්නවා. එහෙත් පඬියන් කරන්නේ ඔවුන්ට සමච්චල් කිරීම පමණයි. මිථ්‍යාදෘශ්ටික දෙවිවරුන් හා භූතයන් බලවත් වීමට හේතු ගණනාවක් තිබෙනවා. මා ඒ සියල්ල විස්තර කරන්නේ නැහැ. සම්‍යක්දෘශ්ටික දෙවිවරුන්ට පාච්චල් කිරීම, තාප්ප උඩින් සෘද්ධීි වන භික්‍ෂූන් වහන්සේ චීවරයට අගෞරව කිරීම, රණවිරුවන්ට නොසලකා මියගිය දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට පහන් පූජා පැවැත්වීම, මිනිසුන් අධාර්මික වීම ආදී කරුණු රාශියක් මෙහි දී අදාළ වෙනවා. මේ එකක්වත් නිව්ටන්ට හසු නොවන බව නිව්ටන්ගේ වැඩ කිඩ ඉගෙන ගත්, ඉගැන්වූ අයකු ලෙස මා දන්නවා. නිව්ටන්ට හසු වන්නේ ඉතාමත් සීමිත සාධක කිහිපයක් පමණයි. නිව්ටන්ට හසු නොවන දේ ගැන කියන විට අපට ඊනියා විද්වතුන් හා විද්වත් පෝතකයන් විරුද්ධ වෙනවා.  ගංවතුරෙන් වඩාත් ම හානි සිදුවූයේ සිංහලයන්ට බව අමතක කරන්න එපා. විපක්‍ෂ නායක ආපදාව ගැන පණිවුඩයක් නිකුත් කළ බවට මට නිච්චියක් නැහැ. සමහර විට නිකුත් කරන්න ඇති. එහෙත් ඒ කිසිවකු ගංවතුර රටේ ප්‍රශ්නයක් ලෙස ගෙන මැදිහත් වුණේ නැහැ. මා මේ සියල්ල කියන්නේ ඔවුන් කෙරෙහි වෛරයක් ඇති කිරීමට නො වෙයි. අප ඔවුන්ට මෛත්‍රී කළ යුතුයි.



මෙවැනි විපත් සිදුවන වාර සංඛ්‍යාව (සංඛ්‍යාතිය) අද වැඩි වෙළා. ඒ අඩු කර ගැනීමට අපට නිව්ටන් පිහිට වෙන්නේ නැහැ. අප ආධ්‍යාත්මික පැත්තට යොමු විය යුතුයි. තම පෞද්ගලික වුවමනා සඳහා බාරහාර වෙමින් දෙවියන් සමග තම ගිණුම හොඳින් පවත්වා ගෙන යන අය රට වෙනුවෙන් ආධ්‍යාත්මික වීමට කැමති නැති වීම තරමක පුදුමයක්. ඔවුන් පඬි බස් අසා දෙවියන්ගෙන් ඈත් වූ අය නො වෙයි. එහෙත් රට වෙනුවෙන් ආධ්‍යාත්මික පැත්තට යොමු  වන්නේ නැහැ.  රටේත් ජාතියේත් නාමයෙන් අප ආධ්‍යාත්මික පැත්තට නැඹුරු විය යුතුයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 01