Main Logo

Friday 30 June 2017

මේ අන්තිම ලිපිය නො වේ


මේ අන්තිම ලිපිය නො වේ



මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි. එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල් යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට ප්‍රධාන වරදකරුවන් වනුයේ බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය සභාව, ඊනියා පෙරටුගාමීන්, ව්‍යාජ සමාජවාදීන් ද වූ සිවල් සාමාජිකයන්, ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ප්‍රධානීන්, පඬි ජනමාධ්‍යවේදීන්, වෙනත් පඬියන්, පඬි පෝතකයන්, ඒකාබද්ධ විපක්‍ෂය හා ආණ්ඩුව.  මේ භීෂණය බටහිරයන්ගේ ලංකා වසන්තය වේවි.




අප එදා සිට ම කී කරුණ වූයේ මේ ආණ්ඩුව පත් කර ගැනීමට යන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බවයි. ඒ සඳහා අත්තිවාරම දැන් දමා තිබෙනවා. ඊනියා ව්‍යවස්ථා සභාව පිහිටුවන ලද්දේ ඒ සඳහායි. ඒ සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වුණා. පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සභාවක් බවට පත් වූවා. අද එහි වැඩ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතිනවා. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා ව්‍යවස්ථා සභාව පිහිටුවීමේ අදාළ පනතට ඡන්දය දීමත් ඊනියා ව්‍යවස්ථා සභාවේ වැඩ කටයුතුවලට සහභාගි වීමත් වැරදියි. ආණ්ඩුව ජනමත විචාරණයක් ඇතිව හෝ නැතිව හෝ තමන්ට අවශ්‍ය ව්‍යවස්ථාව අසම්මත ආකාරයකින් සම්මත කර ගන්නවා. ඒ සඳහා ආණ්ඩුවට ඉණි මං බැන්දේ ඒකාබද්ධ විපක්‍ෂයයි. ව්‍යවස්ථාව සම්මත කර ගනු ඇත්තේ භිෂණය සුනාමියක් කර ගෙනයි.



භීෂණය විවිධ ආකාරයෙන් එන්න පුළුවන්. එහි දී ආණ්ඩුවට ප්‍රධාන ම ආධාරය ලැබෙන්නේ සයිටම් මගිනුයි. සයිටම් ගැන සාකච්ඡා ඕනෑ තරම් ඇති වී තිබෙනවා. මාත් ඒ සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් ලිපි රාශියක් ම ලියා තිබෙනවා. ඒ ඇතැම් යෝජනා ආණ්ඩුවේ යෝජනාවලත් තිබුණා. ඒත් මේ එකක්වත් නොදන්නා ලෙස ඇතැම් ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ප්‍රධානීන් ඉන්නවා. මා ඒ අයට මගේ ලිපි විද්‍යුත් තැපෑලෙන් යැවීමෙන් පසුවත් ඔවුන් නොදන්නා බව අඟවනවා. මොවුන් අන්තිම කුහකයන්. ආණ්ඩුව කිහිප වතාවක් ම තම යෝජනා ඉදිරිපත් කර තිබිය දී මේ ජනමාධ්‍ය පවසන්නේ ආණ්ඩුව කිසිවක් නොකරන බවයි. සාකච්ඡා නොකරන බවයි. ආණ්ඩුවට විරුද්ධ වූ පමණින් බොරු කියා ජනයා රවටන්න පුළුවන් ද?.



වෛද්‍යවරුන්ගේ සංගමය මෑතක දී කියා සිටියා ඔවුන් මෛත්‍රිපාල සමග පැවැත් වු නිල නොවන සාකච්ඡාවක දී එකඟ වු කරුණු ගැන ජනාධිපති ලේකම්වරයා වැරදි තොරතුරු සපයා ඇති බවත් ඒ නිවැරදි කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර ඇති බවත්. එහෙත් පසුව හෙළිදරවු වූයේ ශිරාල් ලක්තිලක නමැත්තෙක් වෛද්‍යවරුන්ගේ සංගමයට එවැනි ප්‍රකාශයක් කර ඇති බවයි. ඔහු ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු නොවන බවත් කියැවුණා. මාත් අවුරුදු විසිපහකට තිහකට පෙර විශ්වවිද්‍යාල ආචාර්ය සම්ති සම්මේලනයේ ප්‍රධාන ලේකම්/සභාපති ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා. අප කිසි විටෙකත් නිල නොවන සාකච්ඡාවලට සහභාගි වුණේ නැහැ. මා ලේකම් තනතුර දරණ අතර  ජනාධිපති ප්‍රේමදාස සමග උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ගැනත් කතා කළා. ඒ සෑම අවස්ථාවක ම නිල වාර්තා තබා ගැනීමට මා කටයුතු කළා. වෛද්‍ය විද්‍යාලය හා අනෙක් දේ ගැන ප්‍රේමදාස සමග  සාකච්ඡාවකට වඩා තිබුණේ මගේ යෝජනා ඉදිරිපත් කිරීමක්. එයට සහභාගි වූයේ ජනාධිපති ප්‍රේමදාස, ජනාධිපති ලේකම් විජයදාස, කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ප්‍රනාන්දු මහතා හා මා පමණයි. මගේ යෝජනා ජනාධිපති සම්පූර්ණයෙන් පිළිගත් අතර ඒ අනුව සකස් කළ කැබිනට් පත්‍රිකාව පසුදා රාත්‍රියේ ම මට ලබා දී මගේ අනුමැතියෙන් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. ඒ අවසානය  ගැන විජයදාස මහතා මට එවූ ලිපියක් මගේ මුහුණු පොතේ පිටුවේ පළ වී තිබෙනවා.  වෘත්තිය සමිති කාරයන් ආණ්ඩු සමග කටයුතු කළ යුත්තේ නොනිල වශයෙන් නො වෙයි. එහෙත් මා ප්‍රේමදාසගේ නිල ඇඳුමෙන් සාකච්ඡාවට ගියේ නැහැ. එකල ඔහු නීතියක් පනවා තිබුණා ටයි පටි පැළඳ සපත්තු දමා ඔහු හමුවීමට ආ යුතු බවට හා නිලධාරීන් සාමාන්‍යයෙන් ඒ ඇඳුමෙන් සැරසී සිටිය යුතු බවට. ප්‍රනාන්දු මහතා සාකච්ඡාව සඳහා ආරාධනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවේ දී මා ඔහුට කීවේ මා ටයි පටි නොපළඳින බවත් සෙරෙප්පු මිස සපත්තු නොපළඳින බවත් ජනාධිපති තුමාට මා හමුවිය හැක්කේ එලෙස බවත් එයට ජනාධිපතිතුමා කැමති දැයි දැනගෙන එන ලෙසත්. පැය කිහිපයකට පසුව ප්‍රනාන්දු මහතා පැමිණ කීවේ ජනාධිපතිතුමා එයට එකඟ වූ බවයි. සාකච්ඡාවේ දී මා මට අවශ්‍ය ආකාරයටත් ප්‍රනාන්දු හා විජයදාස මහතුන් ජනාධිපතිතුමාට අවශ්‍ය ආකාරයටත් සැරසී සිටියා.  



වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්නය ආරම්භයේ දී සයිටම් ජනසතු කරන/අහෝසි කරනු යන ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ නැහැ. එය පසුව ගෙන ආ ඉල්ලීමක්. එය සම්පූර්ණයෙන් ම වෘත්තීය සමිති නොවන ක්‍රියාවක්. සටනක් පටන් ගත් පසු සටන මැද දී වැඩිපුර අතිරේක ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතුයි. අද වෛද්‍ය නිලධාරී සංගමය කියන්නේ ඒ ඉල්ලීම හැරෙන්න වෙනත් විසඳුමකට තමන් එකඟ නොවන බවයි. ඔවුන් ඊනියා විසඳුම් ඉදිරිපත් කරන්නේ සයිටම් අහෝසිය පදනම් කර ගනිමින්. එසේ නම් සාකච්ඡා කිරීමට ඇත්තේ කුමක් ද? ආණ්ඩුව කියන්නේ සයිටම් අහෝසි නොකරන බවයි. වෛද්‍ය නිලධාරි සංගමය සයිටම් අහෝසිය හැර වෙනත් විසඳුමක් නොපිළිගන්නා බව පවසමින් සාකච්ඡා ඉල්ලන්නේ කවුරුන් රැවටීමට ද? මේවාට රැවටෙනු ඇත්තේ සයිටම් මගින් ආණ්ඩුව පෙරළීමට බලා සිටින ජනමාධ්‍ය ප්‍රධානීන් හා ඔවුන්ගේ ජනමාධ්‍යවේදීන්. මේ ජනමාධ්‍ය ප්‍රධානීන් හා ජනමාධ්‍යවේදීන් මා දැනට නම් කරන්නේ නැහැ. එහෙත් ඔවුන්ගේ ද්‍රෝහිකම හෙළිදරවු කිරීමට මා මැළි වන්නේ නැහැ. අවශ්‍ය වූ විට නම් ගම් සහිතව කතා කරමු.  



මේ ප්‍රශ්නය අවුල් කළ අය අතර වෛද්‍ය සභාවේ කාලෝ ෆොන්සේකා මුල් තැනක් ගන්නවා. ඔහුගේ ඇපොතිකරි පියාට වෛද්‍යවරුන් සැලකූ ආකාරය ගැන ඔහුට සැමදාමත් ප්‍රශ්නයක් තිබුණා. ඔහු එස් බී සමගත් ඒ බව කියා තියෙනවා. එතනින් එහාට මා කිසිවක් කියන්නේ නැහැ. එස් බී ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ. කාලෝ වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කෙරුණේ ජනාධිපති රාජපක්‍ෂගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල විසින්. කාලෝ රැල්ලේ පාවෙන ජනප්‍රිය චරිතයක්. මෙරට ජනමාධ්‍යවලට ඔහු බුද්ධිමතෙක්. ඔහු කලක් සයිටම් පක්‍ෂපාති අයෙක්. දැන් රැල්ලත් සමග සයිටම් විරෝධියෙක් වෙලා. ඒත් මේ රැල්ල ඇත්තේ විද්‍යුත් චුම්බක තරංගවල හා පත්තරවල (ජනමාධ්‍යවල) මිස සමාජයේ නො වෙයි. දැන් කාලෝ සයිටම් විරෝධියෙක්.  දින කිහිපයකට ඉහත දීත් මා ඒ ගැන කී විට පඬි පෝතකයකු එයට හේතුව (හේතුවාදියෙකු ද දන්නේ නැහැ) ලෙස කියා තිබුණේ මා කාලෝ ගැන හා වෛද්‍ය නිලධාරීන් ගැන විරසක වීම! මෙරට පඬියන්ට හා පඬි පෝතකයන්ට කිසිම වියුක්ත ප්‍රශ්නයකට වියුක්ත හේතුවක්, හිතළුවක්, කතන්දරයක් ගොතා ගන්න බැහැ. එහෙත් සංයුක්ත ප්‍රශ්නවලට සංයුක්ත කතන්දර දුසිම් ගණනින් හදන්න පුළුවන්.



අද කතාවක් ගෙතෙනවා කාලෝ වෛද්‍ය සභාවෙන් නීත්‍යානුකූල නොවන අන්දමින් ඉවත් කිරීමට යන බවට. කාලෝ අදහස් ඇති පුද්ගලයෙක් නො වෙයි. ඔහු කලින් කී පරිදි රැල්ලට යන්නකු පමණයි. ඔහු වෛද්‍ය සභාවේ සභාපති වුණත් නැතත් භීෂණය වළක්වන්න බැහැ. එහෙත් මේ නීත්‍යානුකූල කතාව ගැන යමක් කිව යුතුයි. මෙය ඉදිරිපත් කෙළේ ක්වොන්ටම් භෞතිකයේ ප්‍රාමාණික උගතකු වූ පුබුදු ජාගොඩ. ඔහු ඒ පිළිබඳ කාලෝගේ සහතික ලැබුවා. අද ජාගොඩ නීතියේත් ප්‍රාමාණික උගතකු වී ඇති පාටයි. වෛද්‍ය ආඥා පනත අනුව වෛද්‍ය සභාවේ සභාපති අදාළ ඇමති නම් කරන අයකු. එහි කොපමණ කාලයකට ද කියා නිශ්චිත ව කියා නැහැ. දැන් මේ ප්‍රාමාණිකයන් තර්ක කරන්නේ කාලය සඳහන් වී නැත්නම් පත් කෙරෙන තැනැත්තාට තමා ඉල්ලා අස්වූයේ නැත්නම් ජීවිතාන්තය දක්වා සභාපති පදවිය දැරිය හැකි බවයි. වෛද්‍ය ආඥා පනතේ කාලය සඳහන් වී නැත්තේ ඇමතිට අවශ්‍ය කාලයකට සභාපති පත් කිරීමට හැකි වීමටයි. එය මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් විය හැකියි. වෛද්‍ය සභාවේ සභාපතිකම රජකම වැනි ජීවිතාන්තයෙන් කෙළවර වැනි වැඩක් කියා ප්‍රාමාණිකයන් කියනවා ද? මෙතෙක් කල් සිටි වෛද්‍ය සභාවේ සභාපතිවරු මැරෙනකම් සභාපතිකම කළා ද? ඔවුන් ඉල්ලා අස්වුණා ද?



කාලෝ මෛත්‍රිපාල විසින් පළමු වර නම් කෙරුණේ අවුරුදු පහකට. මා හිතන්නේ ඒ සම්ප්‍රදාය අනුව කියා. ඔහුගේ කාලය 2017 ජනවාරි පළමු සතියේ අවසන් වුණා. ඔහු ඉල්ලා අස්වූයේත් නැහැ. ජීවිතාන්තය තෙක් සභාපති කියා කීවේත් නැහැ. ඒ වෙනුවට රාජිත ඔහුට ජනවාරි මාසයේ දුන් මාස හයක දීර්ඝ කිරීම පිළිගත්තා. ප්‍රාමාණිකයන් එදා එයට විරුද්ධ වුණේ නැහැ. ඔහු ජීවිතයට ම සභාපති කීවේ නැහැ. සේවය දිර්ඝ කිරීම අනවශ්‍ය යැයි කීවේ නැහැ. අද ජාගොඩ ඔහුගේ මට්ටම අනුව තර්ක ගොතනවා. රාජිතට දැන් අවශ්‍ය නම් කාලෝට තවත් මසකට හෝ දෙකකට හෝ (නඩුව අවසන් වන තුරු) සේවය දීර්ඝ කළ හැකියි. නැත්නම් වෙනත් අයකු ඒ සඳහා නම් කළ හැකියි. ජාගොඩ නොදන්නා දේ ගැන කතා කිරීමට මෙතරම් උනන්දු ඇයි? මෙහි දී කිව යුත්තක් නම් පත් කිරීමකට වඩා නම් කිරීම ලිහිල් බවයි. මෙරට නීතියට අනුව යමකු අස් කිරීමේ බලය පත් කරන තැනැත්තාට තියෙනවා. අස් කිරීම නිවැරදි නැත්නම් උසාවි යන්න පුළුවන්. එපමණයි. නම් කිරීම පත් කිරීමට වඩා ලිහිල්. යමකු නම්  කරන තැනැත්තාට අස් කිරීමේ බලය තියෙනවා.



ඒ කුමක් වුවත් මේ සියල්ලන් එකතු වී රට ජාතිය විනාශ කිරීමට යනවා. ජාගොඩලාට පංතියක් මිස ජාතියක් නැහැ. අද ඒකාබද්ධ විපක්‍ෂ නායකයන්, වෛද්‍යවරුන්, ජනමාධ්‍ය ප්‍රධානීන්, ආදීන් ජාගොඩලා සමග එක් වී රට ජාතිය අගාධයට ගෙන යනවා.ආණ්ඩු පෙරළීම කෙසේ වෙතත් මළ සිරුරු පෙරළීමක් නම් වේවි. වෛද්‍යවරුන් සංගමයක් ලෙස රටක් ජාතියක් ආගමක් ගැන කියා ඇත්තේ මොනවා ද? කාලෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව වැඩ කරන්නෙක්. පඬියන් මට මේ කිසිවක් තේරෙන්නේ නැහැ කියාවි. තේරෙන්නේ කාට ද කියා දැන ගැනීමට චතුර අල්විස්, කාලෝ හා පාදෙණිය එක් පැත්තකත් මා තනියම අනෙක් පැත්තෙත් සිටින වාදපිටියක්  සකස් කරනවා ද?  දෙරණ එයට අවසර දෙනවා ද? මා එහි ලොක්කන් හොඳින් ම දන්නවා.   







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 30