Main Logo

Saturday 24 June 2017

සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත  



සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත



සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ ඉල්ලීමක් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගියාට පස්සෙ. එය පැහැදිලි ව ම දේශපාලන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයත් දේශපාලනයක යෙදී ඉන්නවා. වෛද්‍ය සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණයක දී ඇමතිවරුන් ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් ඉන්නවා. එක් ප්‍රධානියකු ජනාධිපති වෙන්නත් බලාගෙන ඉන්නවා. අද ඇහුවොත් ඔවුන් කියාවි එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා.




සයිටම් ඇති කෙළේ පහුගිය ආණ්ඩුවෙන්. එය එස් බී ගේ පනතක් වුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන. එහෙත් එහි වගකීම ඒ දෙදෙනාට පවරා අනෙක් අයට ඇඟ බේරා ගන්න බැහැ. මුළු කැබිනට් මණ්ඩලය ම එයට වග කිව යුතුයි. එදා ඔවුන් එයට විරුද්ධ වූවා නම් ඒ බව රටට කියා ඇමතිකමින් අස්වෙන්න තිබුණා. එහෙත් චම්පක ඇතුළු කිසිවකු එදා අස් වූයේ නැහැ. අනෙක් අතට දිනේෂ්ට අද කියන්න බැහැ ඒක එස් බීගෙ පනතක් තමන් කෙළේ ඉදිරිපත් කිරීම පමණක් කියා. ඔහුත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. සයිටම් ජාතක කෙළේ පහුගිය ආණ්ඩුව. අද ඔවුන්ට සයිටම් උප්පැන්න සහතිකයට පියා ලෙස තම නම නොදී ඉන්නට බැහැ. සයිටම් ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂයත් වග කිව යුතුයි.



සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුල් වූ සිසුනට පහර දීම අනුමත කරන්න බැහැ. එහෙත් ඔවුන්ට එහි බලෙන් කඩා වැදීමට අවසරයක් තිබුණේ නැහැ. රජයේ දේපොළවලට හානි කර බලය ලබා ගැනීම විජේවීරගේ සිට එන බංකොළොත් ප්‍රතිපත්තියක්.  අන්තරේ කැඳවුම්කරු හා පුබුදු ජාගොඩ පරස්පර කතා කියනවා. ඔවුන් කියනවා තමන් බුද්ධි අංශයේ කණින් රිංගා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල් වුණා කියලා. අනෙක් අතට කියනවා සෞඛ්‍ය ඇමති හමුවීමට වෙලාවක් ලබා ගෙන තිබුණා කියා. එසේ වෙලාවක් ලබා ගෙන තිබුණා නම් පොලීසිය දැන හිටින්න ඇති මේ සිසුන් මොකාට ද එන්නෙ කියා. නැතත් බුද්ධි අංශය දැන සිටින්න ඇති. ආණ්ඩුව මෙන් ම අන්තරේ ද බුද්ධි අංශය හෑල්ලුවට ලක් කිරීමට කැමතියි. ආණ්ඩුවත් පෙරටුගාමීනුත් බුද්ධි අංශයට විරුද්ධයි. පුබුදු ජාගොඩට පරස්පර ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔහු තමන් නොදන්නා ක්වොන්ටම් භෞතිකයක් ගැන  පොතක් ලියා එවැනි ම පුද්ගලයකු වූ කාලෝ ෆොන්සේකාගේ ගෞරවයට පාත්‍ර වුණා. අන්තරේ සිංහල  සංස්කෘතිය වෙනුවෙන් පෙළපාලි යන්නේ නැහැ.



කොහොමටත් අන්තරේ කැඳවුම්කරුට පොලීසිය පහර දී නැති පාටයි. ඔහුට බැටන් පහර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර වදින්නේ නැත්තේ ඔහු ගුරුකමක්වත් කරවා ගෙන ද? එහෙත් පෙරටුගාමීන් ඒවා විශ්වාස කරන්නේ නැහැ. අන්තරේ කැඳවුම්කරු පෙරටුගාමියෙක් ද නැත්නම් පසුගාමියෙක් ද? ඔහු පෙරමුණේ ඇවිත් ප්‍රහාරයට ලක්වීමට පෙර පසුබැස අනෙක් ශිෂ්‍යයන්ට පෙරට යෑමට ඉඩ සලසනවා ද? ඔහු අනෙක් සිසුන්ට පොලීසියට මුහුණ දීමට අවස්ථාව ලබා දෙන අන්දමේ නායකයෙක් වෙන්න ඕන! ඔහු ගැන ආණ්ඩුවට ආඩම්බර හිතිල ද කොහෙ ද පොලීසිය ඔහු රක්‍ෂිත බණ්ධනාගාරගත කිරීමට කටයුතු කරලා ඔහු ආරක්‍ෂා කිරීමට. 



එදා සයිටම් ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මහින්ද රාජපක්‍ෂ ඇතැම් සයිටම් සිසුන්ට ශිෂ්‍යත්ව පවා ලබා දුන්නා. එදා සයිටම් ලියා පදිංචියට විරුද්ධ නම් ඇමතිවරුන්ට ඊනියා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවෙන් දොට්ට බහින්න පුළුවන්කම තිබුණා. එදා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් නොවූයේ සුදු වෑන්වලට බයේ ද? අද ඒකාබද්ධ විපක්‍ෂය හොරගල් අහුලනවා. ඔවුන්ට සයිටම් දරුවාට උප්පැන්න නොදී ඉන්න බැහැ. එදා එස් බී කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපතිකමට පත්කර ගැනීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලට උපදෙස් දුන්නේ කුමක් සඳහා ද යන්න අද කාලෝවත් එස් බීවත් කියන එකක් නැහැ. කාලෝගේ පියා ඇපොතිකරිවරයෙක්. වෛද්‍යවරු ඇපොතිකරිවරුන්ට සැලකුවේ නැහැ. කාලෝට ඒ ගැන දොස්තරලා සමග කහටක් තිබුණේ නැද්ද? කාලෝ සුපුරුදු පරිදි රැල්ලත් එක්ක යනවා. ඔහුගේ සභාපති කාලයේ අවුරුදු පහ පහුගිය ජනවාරි මාසෙ අවසන් වුණා. ඔහු අද ඉන්නෙ මාස හයක සේවා දිගුවක් සමග. මා ඔහට අභියෝග කරනවා විද්‍යාව ගැන මෙන් ම සයිටම් ගැන ද මා සමග විවාදයකට එළඹෙන ලෙස.



මෙරට බටහිර වෛද්‍යවරුන් ඔය කියන තරමේ බුද්ධිමතුන් නො වෙයි. ඔවුන්ට පුළුවන්ද ඩෙංගු (ඩෙංගි) රෝගයට ප්‍රතිකාරයක් නිර්දේශ කිරීමට. ඔවුන්ට පුළුවන් බටහිර සඟරාවක යමක් තිබුණොත් අපට එය කියා දෙන්න. ඔවුන් කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන කියන්නේ කුමක් ද? එයට ප්‍රතිකාරයක් තබා හේතුවවත් ඔවුන් දන්නවා ද? එහෙත් ඔවුන්ට සමාජයේ වැදගත් කමක් ලබා දී තිබෙනවා. සයිටම් පිළිබඳ රැස්වීමේ දී සයිටම් විරෝධි වෛද්‍යවරයකුට පහර දීලා. පහර දුන්නේ කවුද?



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කියමින් විරුද්ධ වන්නේ කුමකට ද? ඔවුන් පෞද්ගලික ව්‍යවසායන්ට විරුද්ධ නැති බව චැනල් සේවයේ යෙදීමෙන් පෙන්නුම් කරනවා. ආසිරි රෝහලෙන් දැන් පණිවුඩ ලැබෙනවා ඉරිදා පෞද්ගලික වෛද්‍යවරුන් හමුවීමට කැමති ද කියා. සතියේ දිනවල වර්ජනය කර සතිඅන්තයේ පෞද්ගලික ව සේවය කිරීමට වෛද්‍යවරුන් උත්සාහ කරනවා ද? බටහිර වෛද්‍යවරුන්ට අවශ්‍ය හදිසි නීති පනවා ගෙන මැතිවරණ කල් දැමීමට ද? බටහිර වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වලට විරුද්ධ නැහැ. නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ යැයි කියන මා අවුරුදු දහයක් රැකියාව නැතිව සිටිය දී පෞද්ගලික ආයතනයක උගන්වන්න ගියේ නැහැ. අනෙක් අයට එය නොදැණුනත් මගේ දරුවන්ට පමණක් ඒ නිසා කරදර ඇති වුණා.



බටහිර වෛද්‍යවරුන් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධත් නැහැ. අද රටේ ශාන්ත තෝමස් ත්‍රිත්ව කාන්තා වැනි පෞද්ගලික විද්‍යාල තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන්ගේ දූ පුතුන් එහි ඉගෙන ගත්තා, ඉගෙන ගන්නවා. එයට අමතර ව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. බටහිර වෛද්‍යවරුන්ගේ දුවලා පුතාලා ඒවාහි ඉන්නවා. එමෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාව පෞද්ගලික විශ්වවිද්‍යාලවල හැදෑරීමට මෙරටින් පිටරට යනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ දරුවන් ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන බටහිර වෛද්‍යවරුන් වෛද්‍යවරියන් සේවය කරන අයත් ඉන්නවා. ඒ විශ්වවිද්‍යාලවලට සිසුන් යවා කොමිස් ගන්නා අයත් ලංකාවේ ඉන්නවා. ඒ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ආපසු පැමිණ පැරණි ඇක්ට් 16 පරික්‍ෂණයට පෙනී සිටි අයත් මෙරට රෝහල්වල අනිසි ආකාරයෙන් සායනික පුහුණුව ලබා ගත් අයත් ඉන්නවා. අර පරීක්‍ෂණයට සිසුන් පුහුණු කරන පෞද්ගලික විද්‍යාලත් කොළඹ තියෙනවා. බටහිර වෛද්‍යවරුන් ඒ කිසිවකට විරුද්ධ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ සමාජවාදීන්වත් ජ වි පෙ සමාජවාදීන්වත් පෙරටුගාමී සමාජවාදීන්වත් ඒ කිසිවකට විරුද්ධ නැහැ.



මොවුන් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීම පමණයි. සයිටම් ආයතනයේ අනෙක් උපාධිවලටත් ඔවුන් විරුද්ධ නැහැ. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය අඩු නම් එය උසස් කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ආණ්ඩුව ඒ සඳහා එකඟ වී තිබෙනවා. මේ පිළිබඳ මා ලියූ ලිපි බොහොමයි. පෙරටුගාමීන්ටත් වෛද්‍යවරුන්ටත් කාලෝටත් නොතේරුණත් අද ඇත්තේ සයිටම් උපාධිධාරීන්ගේ තාවකාලික ලියා පදිංචිය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණය තීරණය කර ඉවරයි ඔවුන්ට තාවකාලික ලියා පදිංචිය දිය යුතු ය කියා. කාලෝ එයට වීරුද්ධව ඉහළ අධිකරණයට ගිහින්. අපි තීන්දුව එනකම් බලා ඉමු.



අප අමතක නොකළ යුතු කරුණක් නම් රජයේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ට ද ලැබෙන්නේ තාවකාලික ලියා පදිංචියක් පමණක් බව. ඔවුන්ට ස්ථිර ලියා පදිංචිය ලැබෙන්නේ සීමාවාසික ව වැඩිදුර සායනික පුහුණුවක් ලැබීමෙන් පසුව. එතෙක් ඔවුන්ට වෛද්‍යවරුන්  ලෙස සේවය කරන්න බැහැ. එයින් කියන්නේ ඔවුන්ගේ උපාධිය ප්‍රමිතියෙන් අඩු බව ද? සයිටම් උපාධිධාරීන්ගේ සායනික  පුූහුණුව වැඩි කරන්න තාවකාලික ලියා පදිංචිය දීමෙන් පසුව පුළුවන්. එහෙත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඒ පුහුණුව තාවකාලික ලියා පදිංචියට පෙර ම දීමට. මා නම් පෞද්ගලික ව එයට කැමති නැහැ. මගේ අදහස අනුව සයිටම් උපාධීිධාරීන්ට අවශ්‍ය නම්  සීමාවාසික ව අවුරුදු එකහමාරක පුහුණුවක් ලබා දිය හැකියි. සයිටම් සෙද්ධාන්තික පුහුණුව ඉහළ මට්ටමක ඇති බව වෛද්‍ය සභාවේ බොහෝ දෙනා තම වාර්තාවේ පිළිිගෙන තිබෙනවා. වෛද්‍ය සභාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගත්තේ ඔවුන්ට රෝහලක්වත් නැතිව. වෛද්‍ය සභාවේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැන අධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා.



සයිටම් ප්‍රශ්නය දඩමීමා කරගෙන ආණ්ඩුව පෙරළන්න බැහැ. පෙරටුගාමීන් හා ජ වි පෙ සයිටම් හරහා තම පක්‍ෂ ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා. සයිටම් නිසා විය හැක්කේ ආණ්ඩුව හදිසි නැති පනවා මැතිවරණ අහෝසි කර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තවත් නැති කිරීමයි.











මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.





http://www1.kalaya.org





නලින් ද සිල්වා





2017 ජූනි 24