Main Logo

Sunday 18 June 2017

සිංහල බුද්ධාගම හා ස්වාධීනත්වය


 සිංහල බුද්ධාගම හා ස්වාධීනත්වය


කියුබාව එක්සත් රාජ්‍යයන්හි දොරකඩ ඉඳගෙන ස්වාධීන රාජ්‍යයක් ව පැවතීම ගැන ඇතැමුන් විශ්මය පළ කරනවා. මහා බලවත් රාජ්‍යයක් අසළ කුඩා රාජ්‍යයක් පවත්වාගෙන යෑම ගැන ෆිඩෙල් කස්ත්‍රෝට පසසනවා. කස්ත්‍රෝ මරා දැමීමට සි අයි ඒ සංවිධානය කිහිප වරක් ම උත්සාහ කළ බව  ප්‍රසිද්ධ කාරණයක්. දැනුත් කියුබාවේ නායකයා කස්ත්‍රෝ කෙනෙක්. කියුබාව කොමියුනිස්ට් රාජ්‍යයක් තබා සමාජවාදී රාජ්‍යයක්වත් නො වෙයි. එය කාලයක් සෝවියට් දේශයෙන් ආධාර ලබා ගත්තා.




එකල ට්‍රොට්ස්කිවාදීන්ට ප්‍රශ්නයක් වූයේ කියුබාවේ රාජ්‍යය කුමක් දැයි හඳුනාගැනීම. එහි ඊනියා කම්කරු පංති විප්ලවයක් සිදු වූයේ නැහැ. කස්ත්‍රෝලාට චේලාට අවශ්‍ය වූයේ ප්‍රහාරයකින් බැටිස්ටාගේ රජය පෙරළා දැමීමයි. නැගෙනහිර යුරෝපයේ රාජ්‍ය සමාජවාදී වූයේ ඊනියා විප්ලවයකින් පසුව ද යන ප්‍රශ්නයත් සමහරු ඇසුවා. රතු හමුදාවේ කාර්යභාරය වූයේ විප්ලවය සාක්‍ෂාත් කිරීම ද ආදී ප්‍රශ්න රාශියක් එකල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සාකච්ඡා වුණා. ඒ ප්‍රශ්නවලට අද වැදගත්කමක් නැහැ. ඒ කොමියුනිස්ට් රාජ්‍ය තබා ඊනියා සමාජවාදී රාජ්‍යවත් අද ලෝකයේ නැති නිසා පමණක් නොවෙයි. සමාජවාදය කියන එක ම පුහු ව්‍යාජ සංකල්පයක් නිසා. ඇතැමුන් බුද්ධාගම හා සමාජවාදය අතර සම්බන්ධයක් දකින්නේ සංකල්පීය නිරවුල්බවක් නැති නිසා. බුදුන් වහන්සේ සමාජවාදියකු නො වෙයි. බොහෝ දෙනාට කොමියුනිස්ට් හා සමාජවාදී අතර වෙනස තේරෙන්නේත් නැහැ.  



කියුබාව පවත්වාගෙන යෑම ගැන කස්ත්‍රෝගේ ගුණ ගැයූ බොහෝ අයට ලංකාව ඉන්දියාව දොරකඩ ස්වාධීන ව පැවතියේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් වුණේ නැහැ. මා කියන්නේ ට්‍රොට්ස්කිවාදීන්ට පමණක් නොවෙයි වෙනත් අයටත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉන්දියාව කියා රටක් රාජ්‍යයක් නොතිබූ බව ඇත්ත. ඒත් ඉන්දීය දේශයක් තිබුණා. එහි විවිධ වාංශික රාජ්‍ය තිබුණා. මෞර්ය රාජ වංශය එක් කලෙක ඉතා බලවත්. සොළී කියන්නෙත් වාංශික රාජ්‍යයක්. සොළීන් බලවත් වූයේ දෙවැනි සියවසෙන් පසුව. ගැමුණු රජු කල සොළී රාජ්‍යයක් තිබුණේ නැහැ. එළාර සොළී  නො වෙයි. සේන ගුත්තිකලා එළාරලා මෙහි පැමිණි වෙළෙන්දන්. ඔවුන් බලය ලබා ගත්තේ මේ රටේ  සිටි ඔවුන්ගේ ගෝත්‍රවල අයගේ සහායෙන් විය හැකියි. එළාරට පර්සියන් සම්භවයක් තිබුණා ය කියා හිතන්න පුළුවන්. අර ඇඳ ළඟ සීනුවේ කතාව පර්සියාවේ කතාවක්. පර්සියාවෙන් (අද ඉරානයෙන්) යක්‍ෂ ගෝත්‍රිකයන් ඉන්දීය දේශයට පැමිණ ඇති බව අජන්තා බිතු සිතුවම්වලින් කියැවෙනවා. මේ කිසිවකින් කියැවෙන්නේ නැහැ යක්‍ෂ ජනතාව එක ම සමජාතීය පිරිසක් කියා.



පුරාණ ලෝකයේ විවිධ රාජ්‍ය තිබුණා. වාංශික රාජ්‍යය, එක්සේසත් රාජ්‍යය, චක්‍රවර්ති රාජ්‍යය, ජනපද රාජ්‍යය, ලිච්ඡවි ආකෘතියේ රාජ්‍ය, ප්‍රාන්ත රාජ්‍යය, කප්පමික (ට්‍රිබ්‍යුටරි) රාජ්‍යය ආදිය ඉන් සමහරක්. එක්සත් රාජ්‍යය කියන්නේ වත්මන් රාජ්‍යයක්. එය සන්ධීය රාජ්‍යයක්. ඇමරිකාවේ ඇති එක්සත් රාජ්‍යය මෙයට හොඳම උදාහරණය. එක්සත් රාජ්‍යයක් සෑදෙන්නේ වෙනත් රාජ්‍ය කිහිපයක් එකතු වීමෙන්. එක්සේසත් යන්න එක්සත් නො වෙයි. පැරණි චීනය බටහිර අර්ථයෙන් යටත් විජිත ගොඩ නැගුවේ නැහැ. එය කප්පමික රාජ්‍ය ගොඩ නැගුවා. කොරියාව වැනි රාජ්‍ය එකල චීනයට කප්පම් ගෙව්වා. යාපනයේ ආර්ය චක්‍රවර්තීන් ගම්පොළ හා කෝට්ටේ රජවරුන්ට කප්පම් ගෙව්වා. ආර්ය චක්‍රවර්තීන් රජූ කියන නාමය යොදා ගැනීමට සිංහල රජවරුන්ගෙන අවසර ගෙන තිබෙනවා. කප්පමික රාජ්‍ය ගැන නිසි අධ්‍යයනයක් කෙරී නැහැ. එක ම ආකාරයක කප්පමික රාජ්‍ය ලෝකයේ තිබී නැහැ. ආර්ය චක්‍රවර්ති රාජ්‍යය හා කොරියන් රාජ්‍යය අතර වෙනස්කම් තිබෙනවා. 



පැරණි ලංකාව ඉන්දීය රාජ්‍යවලට කප්පම් ගෙවූ බවක් කියැවෙන්නේ නැහැ. අශෝක බුද්ධාගමත් සමග මෙරටට මෞර්ය සංස්කෘතිකාංග නම් ලැබී තිබෙනවා. මෙරට ඇතැම් රජවරු මෞර්ය වූයේ ඔවුන් මුරා නමැත්තියගෙන් පැවත ආ නිසා නො වේ. ඒ සංස්කෘතික සම්බන්ධයක්. දේවානම්පිය තිස්ස රජු මෞර්ය අභිෂේකය ලබා ගැනීම නම් තරමක ප්‍රශ්නයක්. මේ සංස්කෘතිකාංගවලට යක්‍ෂ ජනතාව විරුද්ධ වී තිබෙනවා. සිංහලයන්ගේ ජානවල  සියයට විසිපහක පමණ වංග (බෙංගාලි) සම්බන්ධකම් තිබෙනවා. ලංකාව කාලිංගයට හෝ වංගයට හෝ කප්පම් ගෙවූ බවට සාක්‍ෂි නැහැ. එහෙත් කාලිංගයෙන් පැමිණි නිස්සංක මල්ල මෙරට රජකමට පත් වූවා. සිංහලයන්ට කාලිංග වංග සංස්කෘතික සම්බන්ධකම් තිබෙනවා.



සොළීන් පැමිණ අවුරුදු ගණනාවක් අනුරාධපුරය රාජධානිය කරගෙන රටෙන් කොටසක් පාලනය කළා. එහෙත් සිංහල රජවරුන් ඒ සොළීන් පරාජය කර එළවා දැම්මා. මේ සියළු ආක්‍රමණ හමුවේ අප  රට ස්වාධීන වූවා. අපේ ස්වාධීනත්වය අප පවත්වාගෙන ගියා. පසු කලෙක 1815 ගිවිසුමෙන් අප ඉංගිරිසින්ට රට භාර දෙන අවස්ථාව වෙනකම් අප රටක් ලෙස යටත් වුණේ නැහැ. අපට එදත් අදත් ගිවිසුම් තේරෙන්නේ නැහැ. කස්ත්‍රෝ ගැන කියන්නන් මෙරට රජවරුන් ස්වාධීනත්වය ආරක්‍ෂා කළ ආකාරය කියන්නේ නැහැ. 1815න් පසුවත් සිංහල බුද්ධාගමට හිමි විශේෂිත තැන ආරක්‍ෂා වුණා. 1840 දී ඉංගිරිසින් දළදා මාළිගාවේ කටයුතුවලින් ඉවත්වුවත් 1892 දී තරමත් ආඥා පනතකින් සිංහල බුද්ධාගමේ විශේෂිත බව පිළිගත්තා. මේ තත්වය නැතිවන්නට පටන් ගත්තේ ඕල්කට් බෞද්ධයන්, ඉංගිරිසි ආර්ථිකයේ හා දේශපාලනයේ ආධාරයෙන් ප්‍රභූන් වූ බෞද්ධයන් ආදීන් ඇතිවීමෙන් හා ඔවුන් ලැබූ අධ්‍යාපනය ප්‍රමුඛ සංස්කෘතිය ආධිපත්‍යයට පැමිණීමෙන් පසුව. 1915 දී මුස්ලිමුන්ට හැකි වුණා ඉංගිරිසින් සමග එක් වී සිංහල බුද්ධාගමට හා එකී බෞද්ධ නායකයන්ට ම පහර ගැසීමට. ඇතැම් බෞද්ධ නායකයන්, සිංහල බෞද්ධ නායකයන් ද ඇතුළු ව, සිරභාරයට ගැණුනා. 1972 දී බුද්ධාගමට හිමි විශේෂිතභාවය ව්‍යවස්ථාවට එක් වුණා. එහෙත් එය භාවිතයේ නැහැ.



අප ඉන්දීය දේශයේ විවිධ රාජ්‍ය හමුවේ එහි දෙරකඩ සිටිමින් රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගත්තේ සිංහල බුද්ධාගමට පින්සිදු වන්නට.  එය සාකච්ඡා වන්නේ නැහැ. අපට ගිවිසුම්වලින් නම් ප්‍රශ්න ඇති වූවා. සිංහල බුද්ධාගමට හිමි විශේෂත්වය නැති කිරීමට විවිධ පඬි කතා කියමින් නැති කිරීමට උත්සාහ ගන්නන් අවසානයේ දී කරන්නේ රටේ නිදහසත් ජනයාගේ ස්වෛරිභාවයත් නැති කිරීමයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 18