Main Logo

Thursday 15 June 2017

ලංකා විශ්වවිද්‍යාලයට හැත්තෑපහයි

ලංකා විශ්වවිද්‍යාලයට හැත්තෑපහයි

ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවා මේ වසරට අවුරුදු හැත්තෑපහක් වෙනවා. 1921 දී ලන්ඩන් විශ්වවිිද්‍යාලයට අනුබද්ධිිත විද්‍යාලයක් කොළඹ කුමාරතුංග මුනිදාස (එකල තර්ස්ටන්) පාරේ පිහිටුවනු ලැබුවා. ඒ සඳහා යොදා ගත්තේ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිලි. අදත් පවතින සැම්ප්සන් බංගලාව ඒ ඉතිහාසය කියනවා. සැම්ප්සන් එවකට රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පති. ඔහුගේ නිල නිවස සැම්ප්සන් බංගලාව ලෙස හඳුන්වනු ලැබුවා. ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යලයීය ආයතනය පිහිටුවීමත් සමග රාජකීය විද්‍යාලය අල්ලපු වැටට ගෙන ගියා. විශ්වවිද්‍යාලයීය ආයතනය ලංකා විශ්වවිද්‍යාලය බවට පත් කෙරුණේ 1942 දී.


අද ලංකා විශ්වවිද්‍යාලය නැහැ. ඒ වෙනුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය පවතිනවා. මාත් උපාධිය ලැබුවේ ලංකා විශ්වවිද්‍යාලයෙන්. පළමු පත්වීම ලැබුණෙත් ලංකා විශ්වවිද්‍යාලයෙන්. එහෙත් ඒ විශ්වවිද්‍යාලය අද නැහැ. පසුව පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාල දෙකෙහි ම ඉගැන්වීමට තරම් අවාසනාවන්ත වූවා. ඒ විශ්වවිද්‍යාල දෙකෙන් ම පසුව මා ප්‍රතික්‍ෂෙප කෙරුණා. මෙයින් කියන්නේ කැලණිය විශ්වවිිද්‍යාලය ඉස්තරම් කියන එක නො වෙයි. ඒ විශ්වවිද්‍යාලයේ ගුරුවරු මට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලට එළඹුණා. මගෙන් ඉගෙන ගත් බොහෝ දෙනා සිටිනවා. අවුරුදු හැටකට පමණ පෙර පාසලේ හත්වැනි පන්තියේ සිටින විට ගුවන් විදුලි නාට්‍යයක මා ගුත්තිල පඬිතුමාගේ චරිතය නිරූපණය කළා. ගුත්තිල පඬිතුමාට හිටියේ එක මූසිලයයි. මට මූසිලයන් රාශියක් ඉන්නවා. එහෙත් මගේ ආධාරයට සක් දෙවිඳුන් එන්නේ නැහැ. එයින් කියන්නේ මා සක් දෙවිඳු බලාපොරොත්තුවෙන් ඉන්නවයි කියන එක නො වෙයි. මූසිලයන් කොපමණ හිටියත් මට ප්‍රශ්නයක් නැහැ.

ලංකා විශ්වවිද්‍යාලයට අවුරුදු හැත්තෑපහක් පිරීම සමහරවිට පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාල දෙකෙන් ම සමරන්නට ඉඩ තිබෙනවා. එහෙත් ප්‍රශ්නය වන්නේ සමරන්න තරම් දෙයක් තිබෙනව ද කියන එක. කොළඹ හා පේරාදෙණිය ගත්තත් සමරන්න තියෙන්නෙ මොනව ද? ලංකා විශ්වවිද්‍යාලයෙන්, ඉන් පෙර තිබූ විශ්වවිද්‍යාලයීය ආයතනයෙන් හා පසුව ඇති වු පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලින් උගතුන් බිහි වී තිබෙන බව ඇත්ත. එහෙත් ඒ ආයතනවලින් බිහි වූ සංකල්ප හා ප්‍රවාද කවරේ ද? ඒ විශ්වවිද්‍යාලවලින් බිහි කෙරී පිටරට විශ්වවිද්‍යාලවල මහාචාර්ය පදවිලාභීන් අතින් බිහි වූ සංකල්ප හා ප්‍රවාද කවරේ ද?

බටහිර විශ්වවිද්‍යාලවල අයත් දන්නා කරුණක් නම් අප විභාග සමත් වීමේ දක්‍ෂයන් බව. එහෙත් විභාග සමත්වීමෙන් පසු අප කර ඇත්තේ කුමක් ද? අප නව දැනුම නිර්මාණය කර නැත්තේ ඇයි. එයට හේතුව බුද්ධාගම ද? මෙරට සිංහල ක්‍රිස්තියානින් ද ඒ සම්බන්ධයෙන් විශේෂිත දෙයක් කර නැහැ. ඔවුන් අතින් බිහි වූ සංකල්ප හෝ ප්‍රවාද හෝ නැහැ. එය බටහිර විද්‍යාවට මෙන් ම සමාජයීය විද්‍යාවලටත් පොදුයි. ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුයේ එංගලන්තයේ නේවාසික විශ්වවිද්‍යාල ආකෘතියේ. කොළඹ කාන්තා විද්‍යාලයට ගොස් ලංකා සංස්කෘතික කාන්තාරයක් යැයි කී ජෙනිංග්ස් එහි දී විශාල කාර්යභාරයක් සිදු කළා. අප දැන් නම් සංස්කෘතික කාන්තාරයක් බවට පත්වේගෙන යනවා. පේරාදෙණිය ලෝකයේ මධ්‍යම ප්‍රමාණයේ විශ්වවිද්‍යාල අතර මනරම් ආයතනයක් ලෙස සැලකෙනවා. එහි පරිසරය මනරම්. එහෙත් එහි මනරම් සංකල්ප ප්‍රවාද බිහි වී නැහැ.

බටහිර විද්‍යාවන්හි පරිධියේ කෙරෙන ඊනියා පර්යේෂණවලට ආචාර්ය උපාධි ලබා ගන්න පුළුවන්. එහෙත් ඉන් පසු සිදුවන්නේ කුමක් ද?            ඔවුන්ට බටහිර විශ්වවිද්‍යාලවල මහාචාර්ය පදවිත් ලැබේවි. එහෙත් වැදගත් නිර්මාණයක් කරන්න බැහැ. බටහිර විශ්වවිද්‍යාල ගැන අප දන්නේ ඉන් බිහි වූ ප්‍රවාද හා සංකල්ප සම්බන්ධයෙන්. ඒ බිහි කළ පුද්ගලයන් ගැන. පෙරදිගත් අප දන්නේ සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ පුද්ගලයන් ගැන. දැනුම හැටියට ඔවුන් නිර්මාණය කරන්නේ බොරු. එහෙත් මා ඔවුන්ට ගරු කරනවා. පට්ටපල් බොරු කිව්වත් නිව්ටන්ට අයින්ස්ටයින්ට හියුම්ට මා ගරු කරනවා. එහෙත් ඒ සියල්ලන්ට වඩා මා නාගර්ජුන හාමුදුරුවන්ට ගරු කරනවා. උන්වහන්සේ මෙලොව බිහි වූ ශ්‍රෙෂ්ඨතම දාර්ශනිකයා ලෙස සලකනවා. එහෙත් මා උන්වහන්සේගේ ශූන්‍යතාව ප්‍රතික්‍ෂෙප කරනවා. මට එහි ගැටළුවක් නැති වුවත් මූසිලයන්ට එය ප්‍රශ්නයක්. මූසිලයන්ට තවත් ප්‍රශ්න තිබෙනවා. මේ කොළඹින් හා පේරාදෙණියෙන් බිහි වූ මූසිලයන්.

ලංකා විශ්වවිද්‍යාලය හා එහි අනුප්‍රාප්තික විශ්වවිද්‍යාල කර තිබෙන්නේ බටහිරට අවශ්‍ය අන්දමට ඉගැන්වීම පමණයි. මා ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත් දෙයක් නැහැ. මා ඉගැන්වීමට තැත්කළ දේට කොළඹ විශ්වවිද්‍යාලය විරුද්ධ වුණා. මා දක්‍ෂ ගුරුවරයකු නොවන බව මා දන්නවා. එහෙත් ඔවුන් මට විරුද්ධ වූයේ ඒ නිසා නො වෙයි. ලංකා විශ්වවිද්‍යාලය බුදුදහම ද බටහිරට අවශ්‍ය අන්දමට අර්ථකථනය කළා. ඔවුන් එයට යොමු කරනු ලැබුයේ බටහිරයන් විසින්. මේ බුදුදහම බටහිර බුදුදහම, නූතනත්ව බුදුදහම, ප්‍රතිචීන බුදුදහම ආදී ලෙස හඳුන්වන්න පුළුවන්. බුදුදහම වෛදික බ්‍රාහ්මණයන් අතින් මෙන් ම ධවල බ්‍රාහ්මණයන් අතින් ද විකෘත වී තිබෙනවා. අප එක් අතකින් ධවල බ්‍රාහ්මණයන් අනුකරණය කරමින් අනෙක් අතින් වෛදික බ්‍රාහ්මණයන් පසුපස යනවා.

පේරාදෙණිය සාහිත්‍යය යනුවෙන් හැඳින්වෙන්න පහත් ම මට්ටමේ බටහිර අනුකරණයක් පමණයි. සරච්චන්ද්‍රගේ ගෝලයන් ඔහු ඉහළට ඔසොවා තැබුවා. ඔහු තමන්ට අවශ්‍ය අය ඉහළට ඔසොවා අනෙක් අය පහතට දැම්මා. ඔහු යළි උපන්නෙමි වැනි කසිකබල් කෘතියකට නොබෙල් තෑග්ග දෙන්න කතා කළා. මේ බොහොමයක් කෘති එයට ඉහළ මට්ටමකින් බටහිර පළ වී තිබූ බැවින් ඒවාට නොබෙල් තෑගි හිමිවන්නේ නැහැ.

සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලත් සිංහලයකුවත් ඊනියා ලාංකිකයකුවත් නැහැ. මා නොබෙල් තෑග්ගවත් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයවත් අගය කරනවා නො වෙයි. ඒත් මෙරට උගතුන් එයට ගරු කරනවා. එහෙත් ඒ දිනාගැනීමට බැහැ. රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලත් එකම සිංහලයා අබෞද්ධ. ඔහු වුණත් ඒ දිනාගත්තේ වෛරසයක් හඳුනාගැනීම වෙනුවෙන්. එය සංකල්පයක්වත් ප්‍රවාදයක්වත් නිර්මාණය කිරීමක් නො වෙයි.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපට බටහිර දැනුම ඉගෙනීමට හැකි වුවත් නිර්මාණය කිරීමට බැරි බවයි. අපේ චින්තනය බටහිර චින්තනයට වෙනස්. අපේ දැනුමක් නිර්මාණය කරන්න මෙරට විශ්වවිද්‍යාලවල ඉඩක් නැහැ. මෙහි විශ්වවිද්‍යාල ඇත්තේ දැනුම නිර්මාණය කිරීමට නොව බටහිර දැනුම බෙදා හැරීමට. විශ්වවිද්‍යාල පාසල්වලින් වෙනස්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල දහහතරවැනි ශ්‍රේණියේ සිට ඉහළට ශ්‍රේණි පැවැත්වෙනවා. බොරු පර්යේෂණ කෙරෙනවා. ඒවා හෝටල්වල ඉදිරිපත් කර හෝටල් හිමියන්ට ආධාර කරනවා. අපට සැමරීමට දෙයක් තියෙනවා ද?



මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූනි 15