Main Logo

Thursday 22 June 2017

සිංහල බෞද්ධයන් හා ඩීල්  




සිංහල බෞද්ධයන් හා ඩීල්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් කියලා ප්‍රසිද්ධියේ කීමට සූදානම් ද? පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් කී දෙනකු සිටිනවා ද කියා කීමට මා දන්නේ නැහැ. ජනගහන අනුපාතය අනුව නම් එකසිය හැටක් පමණ සිටිය යුතුයි. ඒ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් බව ප්‍රසිද්ධියේ කියාවි ද? මේ මන්ත්‍රීවරුන්ගෙන් යම් පිරිසක් එ ජා පක්‍ෂයේ. ඔවුන් නම් ඊනියා සංහිඳියාව වෙනුවෙන් මෙය සිංහල බෞද්ධ රටක් කියලා කියන එකක් නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය පනහක්වත් මෙරට සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න තෙක් මේ රටට සෙතක් වන්නේ නැහැ. දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් සිංහල බුද්ධාගමට විශේෂිත තැනක් දෙනවාට කැමති වෙන්නෙත් නැහැ.




දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් මෙහෙයවනු ලබන්නේ බටහිර රටවල් හා බටහිර ආසියාවේ රටවල් මගින්. ඇතැම් සිංහල බෞද්ධ ඇමතිවරුන් ද ඒ රටවලින් මෙහෙයවෙනවා. මේ රටේ දේශපාලනය ගැන අවබෝධයක් උඩින් පල්ලෙන් ලබා ගන්න බැහැ. සමහර ජනමාධ්‍යවේදීන් උදේ පාන්දර අපට කියා දෙන දේවල් අහන කොට නම් තේරෙන්නෙ අප මහ මෝඩයන් කියා. අපට ඒ අය තරම් හොඳට කල්පනා කරන්න බැරි ඇයි ද කියලත් හිතෙනවා. සමහර වෙලාවට මට හිතෙනවා ජනමාධ්‍යවේදීන් ටික දෙනකුට රට පාලනය බාර දුන්නොත් නරක ද කියලා. ඔවුන්ට ඒ තරම් දැනුමක් මෙන් ම බුද්ධියක් ද තියෙනවා.



ඊයේ සයිටම් විරෝධී ශිෂ්‍යයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වුණා. මෙය පොලීසිය කල් තියා දැනගෙන හිටියෙ නැහැ කියලා හිතන්න බැහැ. එහෙම හිතන්න පුළුවන් ජනමාධ්‍ය පඬියන්ට නම්. ශිෂ්‍යයන් කරන්න යන දේ පොලීසිය කල් ඇතුව ම දන්නවා. ආණ්ඩුවත් මෙය දැන සිටින්න ඇති. ඒත් ඔවුන් ඒ බව කියයි කියලා හිතන්න බැහැ. ඊයේ තිබුණෙ පොලිස් පෙරහුරුවක් පමණයි. ඇතැම් ජනමාධ්‍ය පඬියන් දැන නොසිටියාට සයිටම් ප්‍රශ්නයට විසඳුමක් දීලා ඉවරයි. මේ බව මා කලින් ලිපිවල ද කියා ඇති. එහෙත් ජනමාධ්‍ය පඬියන් ඒ ලිපි කියවන්නේ නැහැ. පඬියන් මා වැන්නකුගේ ලිපි කියවන්නේ අහවල් දෙයකට ද? සයිටම් අහෝසි කරනු යනු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව එකතු කළ ඉල්ලීමක්. පඬියන් විසඳුම කියලා කියන්නෙ සයිටම් අහෝසි කිරීමට. සයිටම් අප කැඳවා ගෙන යන්නේ මර්දනයකට. සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවකට.



මෙරට සිදු වෙමින් පවතින දේ ගැන සිංහල බෞද්ධයකුට සතුටට පත් වීමට හැකි ද? සයිටම් මගින් ආණ්ඩුව පෙරළීමට බලා සිටින ජනමාධ්‍ය නම් සමහර විට සතුටින් ඇති. සයිටම් කෙසේ වෙතත් අවසානයේ දී ඒ ජනමාධ්‍ය නම් අහෝසි වෙන්න පුළුවන්. ඊයේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට ඇප වැලක් ම ලැබුණා. පොලීසිය ඇප දීමට විරුද්ධ වුණෙ නැහැ. අධිකරණය පොලීසියෙන් ප්‍රශ්න කළා ඇප දීමට විරුද්ධ නොවීම ගැන. සති තුනක් ඇතුළත පොලීසිය අවශ්‍ය තොරතුරු සියල්ල හොයා ගත්ත ද? ගලගොඩඅත්තේ හාමුුදුරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය කලින් ඉල්ලා සිටියේ පරීක්‍ෂණ කටයුතු පහසු කර ගැනීමට. පොලීසිය කොහොම හරි පරීක්‍ෂණ ඉවර කරලා. හාමුදුරුවන් වැඩ සිටියේ පොලිස් භාරයේ ද? පොලීසිය ස්වාධීන නැති බව තවත් වරක් පෙන්නුවා. පොලිස් කොමිසම සහ අනෙක් ඊනියා ස්වාධීන කොමිසම් ඇත්තේ කා රැවටීමට ද? ඒවා ව්‍යවස්ථාවට සීමා වූ කොමිසම්.



ගලගොඩඅත්තේ හාමුදුරුවන් ඇප මත නිදහස් කිරීමට පෙර දිනයේ අස්ගිරි සංඝ සභාව ප්‍රකාශයක් නිකුත් කිරීම වැදගත්. මේ හුදෙක් එකිනෙකට සම්බන්ධකමක් නැති අහඹු ස්වායත්ත සිදුවීම් ද? ගලගොඩඅත්තේ හාමුදුරුවන් නිදහස් කිරීමෙන් පසුව දූෂණ විරෝධී පෙරමුණක ප්‍රධාන හාමුදුරුනමක් ගලගොඩඅත්තේ හාමුදුරුවන් වෙනුවෙන් කතා කළා. ඒ දූෂණ විරෝධී පෙරමුණ යහපාලනය වෙනුවෙන් පෙනී සිටියා. ඇප මත නිදහස් වීමෙන් පසු ගලගොඩඅත්තේ හාමුදුරුවන් ප්‍රකාශ කළා මින් මතු විනයධර භික්‍ෂුන් වහන්සේ ප්‍රශ්නය අතට ගනීවි කියා.



උන්වහන්සේ ඒ ප්‍රකාශයෙන් කුමක් අදහස් කළත් අස්ගිරි ප්‍රකාශය සමග දඹුලු විහාරය පවරා ගැනීමක් ගැන කියැවෙනවා. ඒ සඳහා මෙතරම් හදිසියක් මොක ද? දඹුලු විහාරයේ ක්‍රියාකාරකම් ගැන අපට සතුටු වන්න බැහැ. ඒත් ආණ්ඩුවට මේ තදියම කුමකට ද? මෙහි යටි අරමුණ කුමක් ද? දඹුල්ල හා අස්ගිරිය අතර එතරම් සුහදතාවක් තිබුණේ නැහැ. කණ්ඩලම හෝටලය කාලයෙත් ඒ සුහදකම නොතිබූ බව එකල නිතර දඹුලු ගිය අය දන්නවා. අප ජීවත් වන්නේ ඩොයිලිගේ ඩීල් දේශයේ බව අමතක කරන්න බැහැ. ඇතැම් සිංහල බෞද්ධයන් හිතන්න පුළුවන් ආණ්ඩුව අස්ගිරියෙන් පළිගන්න හදනවා කියා.



සයිටම් අවසාන වශයෙන් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවකට මග පාදාවි. සිංහල බෞද්ධයන්ට අද කාගේ පිහිට ද? අස්ගිරි ප්‍රකාශයට කෙතරම් දුරක් යා හැකි ද? භික්‍ෂූන් වහන්සේ දේශපාලනඥයන්ගෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වන්නේ නම් හා ඕල්කට් බෞද්ධකමට නොව සිංහල බෞද්ධකමට කැප වන්නේ නම් රටට නායකත්වයක් දෙන්න පුළුවන්. අස්ගිරි ප්‍රකාශයට ආණ්ඩුව පිළිතුරක් දෙනවා කියලා රාජිත කියනවා.  කවුරුන් ඒ පිළිතුර කෙටුම්පත් කරනව ද කියලා දන්නෙ නැහැ. ඒ කවුරුන් කළත් ආණ්ඩුව පිළිතුරක් දුන්නත් නැතත් මෙරට භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වය නැති කිරීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි. එස් බී අස්ගිරි සංඝ සභාවෙන් සමාව ගත්ත එක හොඳයි. එය හුදෙක් වචනයට සීමා නොකිරීමට ක්‍රියා කළ හැක්කේ භික්‍ෂූන් වහන්සේට ම බව අප අමතක නොකළ යුතුයි.



එංගලන්තය ක්‍රිස්තියානි රටක්. ඒත් එහි ලන්ඩන්, බර්මින්හම්, ලූට්න් වැනි නගර කිහිපයක ම නගරාධිපතිවරුන් ඉස්ලාම් භක්තිකයන්. පසුගිය දා ලූට්න් නගරයේ මුස්ලිමුන් පෙළපාලි ගියේ එංගලන්තය මුස්ලිම් කියමින්. මෙරටත් මුස්ලිමුන් බලවත්. ඒ සිංහල බෞද්ධ නායකයන් මුස්ලිම් ඡන්ද නොලැබුණත් මුස්ලිම් ඡන්ද බලාපොරෙත්තුවෙන් සිටින නිසා. මේ තත්වය නැති කිරීමට ඉන්න සිංහල බෞද්ධ නායකයන් එකතු කළ යුතුයි. එය කළ හැක්කේ භික්‍ෂූන් වහන්සේට. උන්වහන්සේ ඩීල් දේශයේ වැඩ නොවැසිය යුතුයි. සිංහල බෞද්ධයන්ගෙන් තුනෙන් දෙකක් එකට සිටින්නේ නම් ඩීල් කාරයන් පන්නන්න පුළුවන්. 

               





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 22