Main Logo

Friday 2 June 2017

ක්‍රිස්තියානිය රාජ්‍යාගම වීම


ක්‍රිස්තියානිය රාජ්‍යාගම වීම



බුද්ධාගම රකින බවට ගිවිසුමකින් පොරොන්දු වූයේ ඉංගිරිසින්. ඔවුන් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් පොරොන්දු වූ ප්‍රධාන කරුණු දෙක වූයේ බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) රැකීම හා සිංහල නීතියට අනුව රට කරවීම. ගිවිසුමේ තිබුණු වචන නිශ්චිත ව නොකීවත් ඉංගිරිසින් එවැන්නක් සිංහල නායකයන්ට ද භික්‍ෂූන් වහන්සේට ද පොරොන්දු වුණා. එහෙත් 1817 දී ම ඉංගිරිසින් ගිවිසුම කඩා දැම්මා. 1840 වන විට මේ වගන්ති දෙක ම ඉතිහාසයට එක් වී අවසන්. 1848 වන විට ටොරිංටන් ආණ්ඩුකාරයා හාමුදුරුවරුන්ට වෙඩි තියන තත්වයට පැමිණ සිටියා.




1815 ට පෙර එවැනි වගන්ති තිබුණේ නැහැ. එයින් කියැවෙන්නේ 1815ට පෙර සිංහල රජවරුන් බුද්ධාගම නොරැකි බවවත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදුන් බවවත් නො වෙයි. අලිඛිත ගැමුණු ව්‍යවස්ථාවට අනුව ඒ සියල්ල ඉටු වුණා. එකල මෙරට රජ වීමට නම් බෝධිසත්වයකු විය යුතු ය යන අදහස තිබුණා. මෙරට අග්බෝ රජවරුන් ම ගණනාවක් සිටියා. නායක්කාර රජවරු ද සිංහල බෞද්ධ රජවරු. ඔවුන්ගේ රාජ්‍යය සිංහල රාජ්‍යය. එය වාංශික රාජ්‍යයක් නො වුණා. නායක්කාර රජවරු ද බෞද්ධ වූවා. ඔවුන් සියමෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කළා.



ඉංගිරිසින්ට එකී වගන්ති දෙක ගිවිසුමට ඇතුළත් කිරීමට සිංහල නායකයන් බල කරන්න ඇති. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ ඉංගිරිසින් කෙරෙහි වූ අවිශ්වාසය. ඉංගිරිසින් ඒ වන විටත් සිංහල නායකයන් රවටා තිබුණා. ඇහැළෙපොළ නිළමෙට රජකම දෙන්න පොරොන්දු වී සිටි නමුත් ඉංගිරිසින් පොරොන්දුව ඉටු කෙළේ නැහැ. ඩොයිලි සහ ඔහුගේ නිලධාරීන් විසින් සිංහල නායකයන්, එනම් උඩරට නිළමෙලා රවටනු ලැබුවා. ඒ වගන්ති දෙක ගිවිසුමට ඇතුල් කිරීමට සිංහල නායකයන් වග බලා ගන්න ඇති. එහෙත් එයින් වැඩක් වුණේ නැහැ. ඉංගිරිසින් ඔවුන්ගේ මහාත්මා ගුණ ලක්‍ෂණ අනුව ගිවිසුම කඩා දැම්මා.



1840 පමණ සිට 1972 දක්වා මෙරට රාජ්‍යාගම වූයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි. එංගලන්ත සභාව (අද ලංකා සභාව) මෙරට බලවත් ම ආගමික ආයතනය වූවා. අප බොහෝ දෙනකුට එය අමතක වෙනවා. 1815 ගිවිසුමෙන් පසු මෙරට රාජ්‍ය නායකයා වූයේ එංගලන්තයේ රජු (රැජන). ඉංගිරිසි රජු ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ නායකයා හා ඒ ආගමෙහි ආරක්‍ෂකයා. 1815 ගිවිසුමෙන් සිද්ධ වූ එක් කරුණක් වූයේ එකී රාජ්‍යාගමික තත්වය ඇංග්ලිකින් ක්‍රිස්තියානියට හිමි නො වීමයි . ඒ ගිවිසුමට එංගලන්තයේ දැඩි විරුද්ධත්වයක් පැන නැංගා. එහෙත් බ්‍රවුන්රිග් හා ඩොයිලි දැන සිටි කරුණ නම් ඒ වගන්ති දෙක නැතිව ඉංගිරිසින්ට කන්ද උඩරට යටත් කර ගැනීමට නොහැකි බවයි.



බ්‍රවුන්රිග් ගිවිසුමට අත්සන් කළ නමුත් ඉංගිරිසින් සිතා සිටියේ ඒ වගන්ති ඉවත ලා තම නීතිය අනුව ඇංග්ලිකන් ක්‍රිස්තියානිය රටේ රාජ්‍යාගම ලෙස තබා ගනිමින් රට පාලනය කිරීමට. ඔවුන් මෙරට පාසල් පද්ධතිය ඇති කෙළේ ම ඇංග්ලිකන් ක්‍රිස්තියානිය රටේ රාජ්‍යාගම ලෙස පවත්වා ගෙන යෑමට. පාසල් පද්ධතියේ ප්‍රධාන පරීක්‍ෂක (අද නම් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජෙනරාල්) වූයේ මෙරට ඇංග්ලිකන් සභාවේ ප්‍රධාන පූජක තැන. 1840 පමණ වන විට ඉංගිරිසින්ට හැකි වුණා 1815 ගිවිසුම කඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම බවට පත් කිරීමට. මෙරට කතෝලික සභාවත් ඇංග්ලිකන් සභාවට ආධාර කළා. මෙරට සිංහල හා දෙමළ ප්‍රභූන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි වූවා. සේනනායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, වික්‍රමසිංහලා  පමණක් නොව රාමනාදන්ලා ද, චෙල්වනායගම්ලා ද, විග්නේස්වරන්ලා ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි  සම්භවයක් ඇති අය.



බණ්ඩාරනායක මැතිණිය එක් අතකින් කෙළේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ රාජ්‍යාගමික තත්වය නැති කිරීමයි. 1972 වන තෙක් මෙරට රාජ්‍ය නායකයා ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ නායකයා ද ආරක්‍ෂකයා ද වූ එංගලන්තයේ රජු. මෙරට අග්‍රාණ්ඩුකාරයා ඉංගිරිසි රජුගේ නියෝජිතයා වූවා පමණයි. සෝල්බරි ජෙනිංග්ස් ව්‍යවස්ථාවෙන් ද එංගලන්තයේ රජු මෙරට රාජ්‍ය නායකයා ලෙස පිළිගැණුනා. ඒ සමග ව්‍යවස්ථාවේ නැති වුවත් 1948න් පසුවත් මෙරට රාජ්‍යාගම වූයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගම. බණ්ඩාරනායක මැතිණිය 1972 ව්‍යවස්ථාවෙන් ඒ තත්වය නැති කළා. එහෙත් බුද්ධාගම රාජ්‍යාගම කෙළේ නැහැ. දැන් ලංකාවේ රාජ්‍යාගමක් නැහැ. ඒ වෙනුවට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බවට වගන්තියක් තියෙනවා.



ඇංග්ලිකන් ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම ව පවතින කාලයේ පමණක් නොව ඉන් පසුවත් සිංහල බෞද්ධයන් සිංහල බුද්ධාගමෙන් ඈතට ගියා. අද මෙරට බොහෝ විට දක්නට ඇත්තේ ඕල්කට් බෞද්ධයන්. මේ සම්බන්ධයෙන් මා ලියා ඇති ලිපි වටහා නොගෙන ඉංගිරිසියෙන් ලියන ඇතැමුන් ඕල්කට් බුද්ධාගම ගොම්බ්‍රිච් - ගණනාථ ඔබේසේකර අච්චුවේ ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් බවට පත් කිරීමට වැයම් කරනවා. ඕල්කට් බුද්ධාගම ප්‍රොතෙස්තන්ත බුද්ධාගම නම් මට ඕල්කට් බුද්ධාගම නමින් අලුත් සංකල්පයක් අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රොතෙස්තන්ත බුද්ධාගම යන්න ගණනාථ ඔබේසේකර ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමෙන් ගත් තවත් ප්‍රොතෙස්තන්ත සංකල්පයක් පමණයි. එය ඔහුගේ නිර්මාණයක්වත් නො වෙයි. ඔහුට මෙරට අනෙක් ඊනියා බුද්ධිමතුන්ට මෙන් ම සංකල්ප නිර්මාණය කරන්න බැහැ.  අනෙක් අතට ඇතැමුන් කියන ආකාරයට මෙන් නොව ගුණදාස අමරසේකර ඕල්කට් බුද්ධාගමක් ගැන සංකල්පීය ව යමක් ප්‍රකාශ කර නැහැ.



බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්නෙන් අදහස් කළ යුත්තේ සිංහල බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමයි. ඕල්කට් බූද්ධාගමේ සිංහල යන්න නැහැ. ඕල්කට් බුද්ධාගම ජාත්‍යන්තර බුද්ධාගමක්. පඬියකු අහන්න පුළුවන් බුද්ධාගමට සිංහල කමක් තියෙන්න පුළුවන් ද කියලා. ඔවුන්ට අනුව බුද්ධාගම ජාත්‍යන්තර ආගමක්. මේ ජාත්‍යන්තර බුද්ධාගම අද වන විට බටහිර (ප්‍රතිචීන) බුද්ධාගමක් බවට පත් වෙලා. ඒ පඬියන්ගේ ද බුද්ධාගම. එය ගැමුණු රජුගේ බුද්ධාගම නො වෙයි.



අද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ ඕල්කට් බුද්ධාගමටවත් ප්‍රමුඛස්ථානය නො දීමටයි. රනිල් හා මැතෝදිස්ත භක්තියකු වූ සුමන්තිරන්ට අවශ්‍ය වචන හරඹයකින් ඒකීය බව පමණක් නොව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමත් නැති කිරීමට. එවිට ඉබේට ම නැවතත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගම මෙරට නිල වශයෙන් නොවුණත් රාජ්‍යාගම වෙනවා. රනිල් ඉවත් කිරීම අද දවසේ ප්‍රධාන කාර්යය බවට පත්වීමට එයත් හේතුවක්. එහෙත් දේශපාලනඥයන් මෙහි දී අප රවටනවා. ඔවුන් රනිල් ඉවත් කරන්නේ නැහැ.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 02