Main Logo

Sunday 25 June 2017

ජාතිවාදීන් කවු ද?


ජාතිවාදීන් කවු ද?



මෙරට බොහෝ සිංහල බෞද්ධයන් හා පොදුවේ සිංහලයන් බොහොමයක් හැරෙන්න අනෙක් සියලු දෙනා ම පාහේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් හෝ බව පැහැදිලියි. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂිත තත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙනවා. ඉංගිරිසින් වුවත් ඒ විශේෂත්වයට ගරු කළා. 1815 ගිවිසුමෙන් පමණක් නොව 1892 ආඥා පනතෙන් ද ඉංගිරිසින් මේ විශේෂත්වයට ගරු කළා. ඕල්කට් බෞද්ධයන් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් ලෙස සිංහල බෞද්ධයන්ගෙන් වෙන් වූ පසු සිංහල බෞද්ධයන්ට හිමි ව තිබූ විශේෂත්වය නැති වීමට පටන් ගත්තා.




ඒ ඒ රටේ ඒ ඒ ජාතියේ හෝ ජනවර්ගයේ හෝ සංස්කෘතියට හිමි තැනක් තිබෙනවා. මේ තැන නැති කිරීම ජාතිවාදයක් ආගම්වාදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙරට අනාදිමත් කාලයක සිට පැවතෙන දෙමළ සංස්කෘතියක් නැහැ. දෙමළ සංස්කෘතියක් මෙරට ඇති වීමට පටන් ගත්තේ දොළොස්වැනි සියවසෙන් පසුව. එයත් ඉතා සීමිත වශයෙන්. මෙරට දෙමළ සෙල්ලිපි කීයක් තිබෙනවා ද? මෙරට ලියැවුණු දෙමළ පොතපත කවරේ ද? බොහෝ දෙමළ ජනයා වත්මන් දකුණු ඉන්දියාවේ ලියැවුණු පොතපත දෙමළ පොතපත ලෙස ඉදිරිපත් කරනවා. එය වංචාවක්.



මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව. ඔවුන් පැමිණියේ මලබාර් ප්‍රදේශයෙන්. අරාබියෙන් නො වෙයි. ඔවුන් දෙමළ කතා කෙළේ එබැවිනුයි. එහෙත් දැන් ඔවුන් සිංහල කතා කරන්න පටන් අරන් ඒක හොඳයි. ඔවුනුත් ලියූ පොතපත නැහැ. මෙරට ඉතිහාසය හා සංස්කෘතිය ගොඩ නගා ඇත්තේ සිංහල බෞද්ධයන්. එංගලන්තය ඇංග්ලිකන් ක්‍රිස්තියානි රට වන්නා සේ ම ලංකාව සිංහල බෞද්ධ රට. මුස්ලිමුන් එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානිය යටපත් කිරීමට කටයුතු කිරීම ජාතිවාදීයි. 



සිංහලයන් දෙමළ ජනයාට හෝ මුස්ලිම් ජනයාට හෝ ඔවුන්ට හිමි තැන දීම ප්‍රතික්‍ෂෙප කර නැහැ. දෙමළ හින්දු සංස්කෘතියට හෝ මුස්ලිම් සංස්කෘතියට හෝ අසාධාරණයක් කර නැහැ. සිංහල බෞද්ධයන් සිංහල ක්‍රිස්තියානි සංස්කෘතියට සාධාරණය ඉටු කර තිබෙනවා. එසේ නම් සිංහල බෞද්ධයන් ජාතිවාදී වන්නේ කෙසේ ද? එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂ තැන නැති කිරීමට නම් අනෙක් සියල්ලන් ම මෙන් කටයුතු කරනවා. ආණ්ඩුවත් කටයුතු කරනවා. මෛත්‍රිපාලත් මහින්දත් ව්‍යාජ සමාජවාදීන් පමණයි. ඔවුන් බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තත්වය දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඔවුන් සිංහල සංස්කෘතිය වෙනුවෙන් එකතු වන්නේත් නැහැ.



රන්ගිරි දඹුල්ලට ලැබෙන ආදායම කළමනාකරණය කිරීම ආණ්ඩුවේ  රාජකාරියක් නො වෙයි. ආණ්ඩුවට ඒ සම්බන්ධ ඇඟිලි ගැසීමට බැහැ. මෙරට සංඝයා වහන්සේ ඇත්තේ දේශපාලනඥයන්ට උඩින් බව දේශපාලනඥයන්ට ද අන්‍ය ආගමිකයන්ට ද අමතක වෙනවා. එය සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂිත තත්වය නිසා අනාදිමත් කාලයක් තිස්සේ ඇති වී තිබෙන සම්ප්‍රදායක්. එංගලන්තයේ රජු (රැජන) ඇත්තේ කැන්ටබරියේ ආච් බිෂොප්තුමාට උඩින්. එහෙත් ලංකාවේ එසේ නො වෙයි. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වුවත් කසිකබල් ඇමතිවරුන්ට උඩින් වැජඹෙනවා. එය අශෝක බුද්ධාගමේ කොටසක්. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගැන අකිල විරාජ් දන්නවා ද?



අකිල විරාජ් කාරියවසම් ඔහුගේ නොදැනුවත්කමට හෝ දඩබ්බරකමට කමට හෝ රන්ගිරි දඹුල්ල පවරා ගැනීමට යනවා. එහි යම් විෂමතා ඇත්නම් ඒ විසඳිය යුත්තේ ආණ්ඩුව නොව සංඝ සභාවයි. අකිලට අවශ්‍ය ම නම් ඒ ගැන සංඝ සභාවේ අවධානය යොමු කරන්න පුළුවන්. එයට වැඩි දෙයක් කරන්න බැහැ. ජනාධිපති ඒ ගැන බකංනිලා ගෙන ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන් උද්ඝෝෂණ නොකරන නිසා ද? මෛත්‍රිපාල දොස්තරලාට මොනව පොරොන්දු වුණා ද කියා දන්නේ නැහැ. ඒ ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මාෆියාව කියන දේ විශ්වාස කරන්න බැහැ. එහි එක් නිලධාරියකුට අනුව සයිටම් ඉවරයි. ඒ කුමක් වුවත් මෛත්‍රිපාල වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඇති තදියම සිංහල බෞද්ධයන් සමග සාකච්ඡා කිරීමට නැහැ.



වෛද්‍ය නිලධාරීන් හා අන්තරේ නොයෙකුත් ප්‍රශ්න ගැන කතා කළත් සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කිරීම යනු රටේ සංස්කෘතියේ වැදගත් ම සංස්කෘතිය ගැන කතා කිරීමයි. දොස්තරලා වැඩියෙන් ආදායම ලබන්නේ සිංහල බෞද්ධයන්ගෙන්. මා හිතන්නේ දොස්තරලාගෙන් බහුතරයත් දැන් සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න ගැන කතා නොකිරීම යනු සිංහල බෞද්ධයන්ට එරෙහිව කතාකරන්නන්ට රුකුල් දීමක්. අද වෛද්‍ය සභාවත් වෛද්‍ය නිලධාරි සංගමයත්  සිවල් සමාජත් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනවා.



අන්තරේ එයටත් එහා. ඔවුන් ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත්තේ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ. එය තිස්ස බාලසූරිය පූජක තැනගේ නිර්මාණයක්. මේ ආයතනය සිංහල බෞද්ධයන්ට තිබිය යුතු විශේෂත්වය ගැන කතා කර නැහැ. ඔවුන් කරන්නේ ඊනියා බහු සංස්කෘතික, අනාගමික කතා කියා සිංහල බෞද්ධ සංස්කෘතියෙට හිමි විශේෂත්වයට අකුල් හෙළීම. පෙරටුගාමීන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් තවමත් සිටින්නේ කිසි දිනෙක වලංගු නොවුණු මාක්ස්වාදී සංකල්පවල. මාක්ස්වාදය හා බුදුදහම අතර කිසිම සමානකමක් නැහැ. බුද්ධාගම හා සමාජවාදය එකතු කිරීමට කතා කරන්නේ නිරවුල් සංකල්ප නැති අය.



සිංහල බෞද්ධයන් උද්ඝෝෂණය නොකරන නිසා මෛත්‍රිපාල, මහින්ද ආදීන් ඔවුන් ගැන නෙසලකා හරිනවා වෙන්න පුළුවන්. රනිල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ නො වෙයි. අද ජාතිවාදීන් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තත්වය නැති කිරීමට කටයුතු කරන වෙනත් සංස්කෘතීන්ට අයත් අය. කුරගල බෞද්ධයන්ට අහිමි කරන්නේත් නැගෙනහිර පළාතේ මුහුදු මහා විහාරය වැනි සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි කිරීමට කටයුතු කරන්නේත් උතුරු පළාතේ බුදුපිළිම වහන්සේ අස්ථාන කරන්නේත් අන්‍යාගමිකයන්, අන්‍ය සංස්කෘතීන්ට අයත් වූවන්.



මෛත්‍රිපාල බටහිර වෛද්‍යවරුන්ට දක්වන සැලකීමෙන් අංශු මාත්‍රයක් සිංහල බෞද්ධයන් වෙනුවෙන් දක්වනවා ද? සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීමට අද දේශපාලනඥයන් නැහැ. සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධයන් අනාථ වෙලා. අස්ගිරි හා රාමඤ්ඤ ප්‍රකාශ ගැන රනිල් හා අකිල කෙසේ වෙතත් මෛත්‍රිපාල අවධානය යොමු කළ යුතුයි.








මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 25